කරුණා කරමු සිරිපා

සම්පත් ගුණතිලක

ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි. දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක.


මේ එළැඹ ඇත්තේ ශ්‍රීපාද වන්දනා සමයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද අති මහත් වූ ගෞරවාදරයට බඳුන් වූ මහා කාරුණික ගෞතම බුදුපියාණන්ගේ සිරිපා පියුම වන්දනා කිරීම සඳහා සැදී පැහැදී සිටින වන්දනාකරුවන් උදෙසා මේ ලිපිය ලිවීමට සිත් පහළ විය.

සමන්ත කූඨය තරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නා වූ ජනපි‍්‍රයම මාවත වන්නේ හැටන් නගරයේ සිට නල්ලතන්නිය වෙත පැමිණ ඉන් පසු සමනොළ ගිර දක්වා දිවෙන මාර්ගයයි. ඉතා ජනාකීර්ණ මාවතක් වු මෙම මාවත සිරිපා කරුණා කරන ජනතාවගෙන් විශාලම පිරිසක් භාවිතයට ගන්නා වු ඉතා ජනපි‍්‍රයම මාර්ගයයි. නමුත් අතීතයේදි බෞද්ධ ජනතාව විසින් භාවිතා නොකරන ලද්දා වූද ඓතිහාසික කරුණු කාරනා වලින් හීන වූද ඉතා කෘත්‍රිම මාර්ගයක් වන මෙය වසර 1800 සියවසේදී මෙය හැඳීන්වූයේ මහනුවර මාර්ගය ලෙසයි (විලියම් ස්කීන් නම් ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිළධාරියකු විසින් ලියා ඇති ග්‍රන්ථයක් මෙහි සිතියමක් අඩංගුව ඇත) නමුත් වන්දනාකරුවන්ගේ වැඩි පහසුව නිසා මෙය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.

සිරිපා කරුණා කිරීම සඳහා භාවිතයට ගනු ලබන්නා වූ තවත් මාවතක් වන්නේ රත්නපුර නගරයේ සිට පලාබද්දල දක්වා ගොස් (පලාබද්දල අතීතයේදී පලාපත්දොල යනුවෙන්ද ව්‍යවහාර කෙරිණ) ගිලිමලේ (ගිලීමලේ යනු කඳු අතර ගිලී ගිය ගමක් නිසා මෙනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය. නුවර යුගයේදී රජවාසල සඳහා පුවක් සැපයූ ගමයි) හරහා වැටී ඇති ඉතා ඓතිහාසික වටිනාකමකින් අනූන වූ පැරණි රජදරුවන් පවා භාවිතයට ගනු ලැබූූ මාවතකි. (මේ මාර්ගයට රජ මාවත යනුවෙන්ද ව්‍යවහාර කෙරේ රජවරුන් මේ මාර්ගයේ සිරිපා පියුම කරුණා කළ නිසා එනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය) ඒ මාර්ගයේ ගමන් කරන ඔබට දැක ගන්නට ලැබෙන්නා වූ ඓතිහාසික ස්ථාන මින් පසු විස්තර කෙරේ.

මුලින්ම ඔබට ලිහිණි හෙල නම් වූ ස්ථානයක් මුණ ගැසේ. අතීතයේදී ලිහිණිනම් කාන්තාවක් මේ හෙලෙන් පහලට වැටී ඇති බවත් ඇය සිහිකරනු වස් මෙ නම පට බැඳී ඇති බව ජනප්‍රවාදෙයේ සඳහන්ය. අදටත් සිරිපා කරුණා කරන වන්දනාකරුවන් ‘ලිහිණි අක්කේ අපි යනවා’ යනුවෙන් හෙල දෙසට කෑ ගසා ඇය සිහි කරන බව දක්නට ඇත. ලිහිණි හෙල අසල ඉතා පැරණි අම්බලමක් (අද මෙය දක්නට නැත. ගොඩනැගිල්ලක අත්තිවාරම පමණක් ඇත) ඇත. එය ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා විසින් සාදන ලද්දක් බවද සඳහන් වේ. (අදටත් එය හඳුන්වන්නේ නෝනගේ අම්බලම යනුවෙනි) මනරම් වූ පරිසර පද්ධතීන් ගෙන් අනූන වූ මාර්ගයක් වන මෙය හැටන් පාරේ ඇති කෘත්‍රිම භාවය දක්නට නොමැත.

ඉන් පසු ඔබට දිය බෙත්මද ගෙත්තම් පානද වේ. රත්නපුර පාරේ ගෙත්තම් පාන පිළිබඳ ඓතිහාසික කරුණු රැසක් සඳහන් වේ. එනම් සුමන සමන් දේවාරාධනයෙන් සමන්ත කූඨය මත සිරිපා සළකුණ සටහන් කිරීම උදෙසා වැඩම කළ අප බුදුපියාණන් වහන්සේ මාර්ගයේ තිබුණ දුෂ්කරතාවය නිසා උන්වහන්සේගේ සිවුර ඉරීගිය මොහොතේ කටුවක ආධාරයෙන් එය පිළිසකර කරගත් ස්ථානයයි. (අද ද වන්දනාකරුවන් එම කරුණ සිහි කරමින් මුලින්ම සිරිපා කරුණා කරන (කෝඩු ) අය ලවා ඉදිකටුවක පටලවා ගත් නූලක් ගෙත්තමක ආකාරයෙන් එහි රඳවා තබයි) ඉන් පසු ධර්මරාජ ගලත් හැරමිට පානත් (හැරමිටි පාන යනු බුදුරදුන් සමන්ථකූඨය තරණය කරන අවස්ථාවේදී එම ස්ථානයේදී හැරමිටියක ආධාරයෙන් ගමන් ගත් බැවින් මෙ නම පටබැඳුන බව ජනප්‍රවාදයේ සඳහන්ය) හැර මිටි පානේදී ඔබට විශාල ප්‍රමාණයේ අම්බලම් කීපයක් මුණ ගැසේ. ඒවායෙහි නැවතී ගිමන් නිවාගෙන ඉදිරියට කරුණා කිරීමට පුළුවන. (හැරමිටිපානට සමන්ථකූඨය ඉතා ශෝභමානව දිස් වේ. රාත්‍රියට මෙය සිත පිනවන දසුනකි)

ඉන් පසු ආඬියාවලතැන්න ස්ථානය මුණ ගැසේ. කෝට්ටේ යුගයේදි රජකල පළමුවැනි රාජසිංහ රජු විසින් ශ්‍රීපාදස්ථානය ආඬීන්ට පවරා තිබූ යුගයේදී මිය ගිය ආඬිගුරුන් කෙනෙකු සිහිවීම පිණිස මෙම නම භාවිතා කරන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ ස්ථානයට සිරිපා අඩවියේ ඇති ශෝභාව උපරිමාකායෙන් අත්විදිය හැකිය. බාන සමනොළ (සමහර උදවිය මෙයට බෑන සමනල ලෙසද භාවිතා කෙරේ) කන්දත් නුවරවිළ කන්දත් කුණුදිය පර්වතයත් දැක ගත හැකිය.

මින් පසු එළැඹෙන්නේ ගමනේ අති දුෂ්කර වූ ස්ථානයන්ය. ඇහැළ කරනුව (අතීතයේදී වන්දනාකරුවන් මේ ස්ථානයේදි සුදු පිරුවට ඇද සිරිපා කරුණා කිරීම සඳහා පේ උන බව සඳහන් වේ) මහ ගිරිදඹ (හැටන් පාරේ හමුවන ස්ථානය ඉතා පහසුවෙන් තරණය කිරීමට පහසුවෙන් රත්නපුර පාරේ ඇති ස්ථානය ඉතා වෙහෙස කර ස්ථානයකි. නමුත් සුමන සමන් දෙවියන්ගේ ගුණ සිහිකරමින් උන් වහන්සේගේ කරුණාව යදිමින් වන්දනාකරුවන් මෙම ස්ථානය පසු කරයි. (දඹය නගින අවස්ථාවේදී මහ මළුව ඉතා මනරම් දිස්වේ. හැටන් පාරේ එන වන්දනාකරුවන්ට මෙම අත්දැකීම අත්විදීමට අවස්ථාවක් නැත. මන්දයත් ඔවුන් මළුවට පිවිසෙන්නේ පිටුපසින් බැවින්) හැටන් පාරේ සමනොළ ගිර එතරම් ශෝභමාන බවක් නොවූවද රත්නපුර පාරේ මෙම ස්ථානයේදී පර්වත රාජයා අති මනරම් අයුරින් දිස්වේ. ඉන් පසු මහ මළුවටද සමන් දේවාලයටද, සොලොස් මහෙ පහනටද ගමන් කළ හැකිය.ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි.

දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක. ඉන් පසු පිවිසෙන්නේ වර්ණගල නම් ස්ථානයටයි. මේ ස්ථානයේදී වර්ණගල කඳුවැටියත් (වර්ණග කඳුවැටිය සමනලගිරට නමස්කාර කරමින් එදෙසට නැමී ඇති කඳුවැටියක් බව ජනප්‍රවාදයේ සඳහන්ය.) අතිඅලංකාර වර්ණගල දිය ඇල්ලත් දැක ගත හැකිය.

මෙම මාර්ගය භාවිතා කරනු ලබන්නාවු වන්දනාකරුවන් විසින් ගෙන නොයා යුතු දෙය වන්නේ පානීය ජලයයි. ඔබට ඇවැසි තරම් පිරිසුදු පානීය ජලය එහි ඇත. ඔබ විසින් ගෙන යා යුත්තේ එම ජලය පුරවා ගැනීමට ඇවැසි බඳුන් පමණි. පරිසරයේ ඇති චමත්කාර ජනක අසිරිය විඳ ගනිමින් සමහර අවස්ථාවල කන්ද නගිමින්ද යම් අවස්ථාවන් වල තැන්න පසු කරමින්ද යන නිසා ගතට දැනෙන විඩාව අඩුවේ. එනමුත් ගමන් කිරීමට අපහසු ස්ථාන නැත්තේ ද නොවේ. නමුත් එම ස්ථානයක් පසු කිරීමේදි ඉතා ප්‍රවේශමත් ගමන් කළ යුතුය. ඉතා ළගින් වෙළෙඳ සැලක් පිහිටා නැති බැවින් අවශ්‍ය ආහාරපාන ගෙන යන්නේ නම් මැනවි. පසුව මෙම මාර්ග මා කලින් සඳහන් කළ රත්නපුර පලාබද්දල මාර්ගයට සම්බන්ධ වේ. (හැරමිටිපාන නම් ස්ථානයේදී ) එරත්න සිටම මෙහි විදුලි ආලෝකය සපයා ඇති අතර දැනට භාවිතා කරනු ලබන්නා වූ මාවත් අතර දීර්ඝම මාර්ගය මෙයයි.

ගවේෂණ අයියාගේ ලිපිය මතක් වුණ නිසයි මේ ලිපිය දැම්මෙත්. මෙයත් බුදු සරණ පුවත්පතින් උපුටා ගත්තෙමි. (එහි වරදක් වේ නම් සමාවෙන්න.)


මටත් සිරිපා ගමනක් යන්නට ඇත්ත්නම් ලඟදිම හරි?


Comments (10)

ගයන්ත

11:12 AM, March 26, 2009

මම 6 සැරයක් සිරීපාදෙ කරුණා කරල තියෙනවා.
නමුත් හැම සැරයක්ම හැටන් පාරෙන්.

යන්න ඕනෙ change එකටත් එක්ක රත්නපුරේ පාරෙන්... :D

-බිன்ku-

11:14 AM, March 26, 2009

පස් පාරක් මොඩයෙක් වෙලා මදිවට තව මෝඩකමක් වුණාද මල්ලි එකම පාරේ ගිහිං? (තරහා එපා කිව්වට, විහිලුවට කිව්වේ.)

චින්තක

7:57 PM, March 26, 2009

මම අහල තියෙන විදියට බුදුන් සිරිපා වැඩියෙත් ඔය රත්නපුර හරහා වැටෙන මාර්ගයෙන්! බලන්න දේවල් ගොඩක් ස්ථාන වැඩියෙන්ම අහු වෙන්නෙත් ඒ මාර්ගය හරහා!

ආගන්තුකයා

9:07 PM, March 26, 2009

මම නම් තාම ගිහින් නැත්තේ රත්ගඟ පාරේ විතරයි 8 පාරක් මම ශ්‍රී පාදය කරුණාකරලා තියෙනවා... අපේ තාත්තා 26 පාරක් ගිහින් තියෙනවාලු... හැබැයි මලයා මම නම් ගිය ලස්සනම පාර කුරුවිට පාර...(එරත්න පාර නෙමෙයි ) වර්ණගල ඇල්ල දිගේ උඩට නගින්න ඕනි... පැහැදිලි පාරක් නම් නෑ ඒක නිසා දන්න කෙනෙක් එක්ක තමා යන්න ඕනි... මාර ලස්සනයි තනි කැලෑව... යනවානම් යමු... සටහන නියමයි...

ගවේෂණ

11:51 AM, March 28, 2009

good article. I want to try all these routes...But it'll take a life time to do that i guess.:(

හර්ෂණ අය්යා

10:48 PM, March 28, 2009

මෙම ලිපියේ ඉතාමත් වැදගත් කරුණු රාශියක් සදහන් වී තිබෙනවා.බොහොම වටිනවා ,ඔබට තුති ඉතාම අනර්ඝ ලිපියක්.මම මේ පාරෙන් නම් ගිහින් නෑ,නමුත් මෙය අවාරේ යාමට අදික යැයි අස් තිබේ.යන්න නම් අදහස තිබේ.යාමට කොතෙක් කැම්ති උවත්,පෙර කල පව් නිසා යා නොහැකි බාධක පැමිනේ.
කෙසේ වෙතත් මෙම ලිපිය පළ කල ඔබට තුති පුදමි!

-බිன்ku-

9:39 PM, March 30, 2009

වෙන්න ඇති චින්තක අයියේ,

ආගුන්තක අයියේ,මං ලංකාවට ආව දවසක යමුකෝ අපි සිරිපා කරුණා කරලා.

ගවේෂණ අයියේ, Try out once, you will never regert!

හර්ෂණ, මටත් එකම තමා, එහෙත් දවසක යන්න බැරියැ?

හර්ෂණ අය්යා

12:28 AM, April 04, 2009

ඔව් බින්කු මොනවා කරන්නද ඉතින් අපි ඒවා ගෙවුනු කාලෙක යනවා මිසක් :(

ගවේෂණ

3:15 PM, September 28, 2010

good article. I want to try all these routes...But it'll take a life time to do that i guess.:(

චින්තක

3:15 PM, September 28, 2010

මම අහල තියෙන විදියට බුදුන් සිරිපා වැඩියෙත් ඔය රත්නපුර හරහා වැටෙන මාර්ගයෙන්! බලන්න දේවල් ගොඩක් ස්ථාන වැඩියෙන්ම අහු වෙන්නෙත් ඒ මාර්ගය හරහා!

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.