මිත්‍යාවේ සෙවනැල්ල විසින් ඉතිහාසය අවිනිශ්චය කරනු ලැබීම හෙවත් The Beatlesහි විපල්වය

ලිපිය දිගු බැවින් අකුරු කුඩා කල අතර විශාලන කිරිමට Ctrl බොත්තම සමඟ + එබිම මඟින් විශාලනය කළ හැකිය. සිදුවන අපහසුතාවයට කණගාටුව.

ImageHost.org

1950, 60 සහ70 දශකයන් හි විශාල වාණිජ යතාර්ථයක් බවට ලෝක රොක් සංගීතය(Rock Music නොහොත් රොක් සංගීත විශය ලංකාවේ එතරම් ජනප්‍රිය වුයේ නැත. 70, 80 දශකය තුල ලංකාවේ ජනප්‍රිය වූ Disco, Pop හා පසුව තරමක් දුරට Reagge රැල්ල තුල ලංකාවේ වැඩිහිටි පරම්පරාව තුල තරමක් දුරට හෝ දැනුවත් භාවයක් ඇත්තේ බිට්ල්ස්ට පමණි. එය ද තනිකරම ඔවුන් ලොව පුරා රැඳවූ දැවැන්ත ජනප්‍රිය බව හේතුවෙනි.) තුල අධිනිශ්චය වු බිට්ල්ස් ගායක කණ්ඩායම විදහා දැක් වූ සංගීතමය නිපුණතාවය හා සමාජ තේමාවක් ආශ්‍රය කර ගනිමින් බිට්ල්ස් (Beatles) සම්බන්ධයෙන් ගොඩ නැඟී ඇති මිත්‍යාමය (වාණිජ) සමාජ අවකාශය විසින් බහිස්කරණය වී ඇති සැබෑ රොක් සංගීත ප්‍රවණතාවය ශාස්ත්‍රීය ආකාරයකට නැවත සම්බන්ධකරණ කෙරේ. බිට්ල්ස් විසින් උපයා ගන්නා ලද ජනප්‍රියවාදී සංකේත ප්‍රාග්ධනය හේතුකො‍ට ගෙන එම කණ්ඩායමේ සාමාජිකයන් හතරදෙනා(ජෝන් ලෙනන්(1940 -1980), පෝල් මැකාත්(1942 - ), රින්ගෝ ස්ටාර් (1940 - ) සහ ජොර්ශ් හැරිසන් (1943-2001) එසේ වුවත් මොවුන් සංගීතමය වශයෙන් එතරම් කුසලතා නොදැක්වු බව විචාරකයන්ගේ මතයයි. Piero Scaruffi රචිත History of Rock Music 1950-1990 ග්‍රන්ථය කියවන්න), තරුණ වීරයින් (teen idols) බවට පත්වීමත් එම නිසාම ලොව කිසිම සංගීත කණ්ඩායමකට නොදෙවෙනි ආකාරයේ වාණිජ සාර්ථකත්වයක් සහ සමාජ අවකාශයක් අදටත් ඔවුන් සතු කර ගැනීම නිසා සැබෑ රොක් සංගීත වීරයින් වීමට අවකාශය හා හැකියාව තිබූ අනිකුත් සමකාලීන සංගීතකරුවන් මෙම ප්‍රධාන ධාරාවේ වාණිජ යතාර්ථය තුල බහිස්කරණය වීම නිසා අවම වශයෙන් 50 අග හා 60 දශකය ආරම්භය පමණ වන තුරු සැබෑ රොක් සංගීතයෙහි ව්‍යක්ත විප්ලවීයත්වය ලොව බොහෝ දෙනාට අහිමි විය. දක්‍ෂතාවය, රොක් තේමාවන්ට අනුගතවීම හා එම යුගයේ දේශපාලන සමාජ යථාර්ථයන් ප්‍රතිබිම්භනය කිරීම වෙනුවට වාණිජ ප්‍රාග්ධන අවකාශය විසින් බිට්ල්ස් මධ්‍යම පංතික නිද්‍රාකාරකයක් (middle class tranquilizer)ලෙස ඌණනය කිරීම නිසා අදාල සමාජ යතාර්ථයන් පුපුරායාමට හා ඒ මඟින් වඩා රැඩිකල් නැඹුරුවක් තිබූ යුරෝපීය සමාජ දේශපාලන අවකාශයේ සමාජ විප්ලවීයත්වය ත්‍රීව්‍ර කිරීමේ සමකාලීන වගකීම ඉටු කිරිම පසෙක තබා තමා ගොඩ නැංවූ ව්‍යාජ වාණිජ යතාර්ථයේම සිරකරුවන් බවට පත්වීමත් එම නිසාම තම ජීවිත කාලයෙන් විශාල ප්‍රමාණයක් ‘ළමා-වැඩිහිටියන්’ ලෙස බිට්ල්ස් ට ගත කිරීමට සිදු වූ අලකලංචියත් මෙහි දී සාකච්ඡාවට බඳුන් වේ. ඒ අනුව ඔවුන් දේශපාලනික අර්ථයෙන් රොක් සංගීත ලොවට සත්‍ය ලෙසම අයිති ද යන්නත්, පදමාලා සංසන්දනය කරමින් බිට්ල්ස් අව්‍යාජ අර්ථයකින් ස්වකීය භාවිතාව තුල විප්ලවීය ද යන්න උත්හෝටිකට අසුවෙයි. රොක් සංගීතයේ මූලික ප්‍රභේද හා එහි පරාමිතීන් බිට්ල්ස් හා අනෙකුත් සමකාලීන රොක් සංගීත කණ්ඩායම් වල ආරම්භය, විපරිණාමය කැටුව මාක්ස්වාදය, පශ්චාත්-මාක්ස්වාදය හා ව්‍යුහවාදය මෙන්ම මනෝ විශ්ලේශණය බිට්ල්ස් හා අනෙකුත් සංගීත කණ්ඩායම් වල දේශපාලන භාවිතය අර්ථකතනය කර ගැනීම සදහා භාවිතා කරන දෘෂ්ඨිවාදී හා න්‍යායික ප්‍රවේශ හදුනාගත හැකි වනු ඇත.

රොක් සංගීතය යනු 50, 60 හා 70 දශකයන්හි සංගීත ආධිපත්‍යය දැරූ ලෝක රොක් සංගීත ප්‍රවණතාවය පුළුල් සමාජ-දේශපාලනික-මානසික-මත්ද්‍රව්‍ය- සංගීත අවකාශයක් ලෙස සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට මෙහි දී අදහස් නොකල ද මෙම ලිපියේ අධ්‍යයන පරමාර්ථයට පාත්‍රවිය යුතු හා අදාල දුරින් යම් විශ්ලේෂණයක් කරමු. රොක් සංගීතය යනු ඉලෙක්ට්‍රොනික ගිටාරය, ඩ්‍රම්ස් හා බේස් ගිටාරය මුලික කර ගත් කටහඬ ප්‍රමුඛ වු ජනප්‍රිය සංගීත විශේෂයකි(මෙයින් අදහස් වන්නේ වාණිජ ප්‍රාග්ධනය විසින් නිෂ්පාදනය කරන සමාජ යථාර්තයයි. මෙය මිත්‍යාමය ප්‍රපංචයක් (mythical phenomenon) වන්නේ බුර්ෂුවා වෙළඳපල විසින් තමාට අසම්මත ලෙස සංඥා (signs) හසුරුවන බැවිණි. (ති‍යඩෝර් අඩොනෝගේ The Culture Industry ග්‍රන්ථය බලන්න.)
කෙසේ වුව ද රොක් සංගීතය තුල කොතරම් සංකීර්ණතාවයක් ඇත්ද යන්න තේරුම් ගැනීමට ඒ තුල බිහිවී ඇති උප-විශේෂ (sub-genres) සංඛ්‍යාව දෙස බැලීමෙන් පැහැදිලි වේ. උදාහරණ ලෙස පූර්ව බ්‍රිතාන්‍ය රොක් සිට අධ්‍යතන ‘නව රැල්ල’ (new wave) හෝ පන්ක් රොක් (punk rock) දක්වා මූලික රොක් විශේෂ දහයකටත් වඩා ඇති අතර ඒවාද උප විශේෂ ගණනාවකට බෙදී ඇත. එම ප්‍රධාන ධාරාවේ රොක් විශේෂ නම් කලින් සඳහන් කල බ්‍රිතාන්‍ය රොක් (British rock), ගරාජ් රොක් (garage rock), සර්ෆ් (surf), ජන සංගීතය මිශ්‍රවූ රොක් (folk rock) සයිකෙඩෙලික (නොහොත් ආත්ම මූලික) රොක් (psychedelic rock), ප්‍රොගෙසිව් රොක් (progressive rock), සුගම රොක් (soft rock), දෘඩ රොක් හා හෙවි මෙටල් (hard rock and heavy metal), ඇරිනා රොක් (arena rock), පන්ක් (punk rock), නව රැල්ල (new wave), ග්ලෑම් මෙටල් (glam metal), ඉන්ස්ට්‍රමෙන්ටල් (instrumental) හා ඔල්ටනෙටිව් සහ ඉන්දියානු රොක් (alternative or Indie movement) ය. කෙසේ වුවද මෙම වර්ගීකරණය පිළිබදව ඒකමතිකත්වයක් නොමැති අතර මෙහි සඳහන් කල ‍විශේෂයන්ට පිටින් තවත් බොහෝ වැදගත් ශෛලීන් කිහිපයක්ම අපට ලෝක රොක් සංගීතය තුල හමුවේ. එයට හොඳම උදාහරණය වන්නේ blues rock යන රොක් සංගීතය ‍ශෛලියයි. බ්‍රිතාන්‍ය රොක් විශේෂය තුල එය ස්ථානගත කළ ද එම ශෛලිය දැවැන්ත ලෙස ලොව ජනප්‍රිය වූ මෙන්ම විශාල බලපෑමක් සහිත ගායක කණ්ඩායම් ගණනාවක් විසින් අනුදත් ශෛලියකි. කෙසේ වුවද රොක් හි වර්ගීකරණ සංකීර්ණතාවය ගැන දීර්ඝ ලෙස කථා කිරීම මෙම අධ්‍යයනයේ අරමුණ නොවේ.

රොක් සංගීතය යන්නෙහි නිර්වචනයන් :
  • Advanced Cambridge Dictionary යට අනුව රොක් (රොක් ඇන්ඩ් රෝල්) සංගීතය නිර්වචන කරන්නේ, “(n) නාම පදයකි; (rock ‘n’ roll) සුදු ජාතික කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටන් (Country and Western) සංගීත ආරත් කලු ජාතික රිදම් ඇන්ඩ් බ්ලූස් (rhythm & blues) හා එකට එක් වූ, 1950 ගණන් වල උපත ලැබූ ජනප්‍රිය සංගීත විශේෂයක්” ලෙසය. (බලන්න)
  • මුල් අවස්ථාවේදී, රොක් සංගීතය මුලිකව සරල වු අතර ක්‍රමයෙන් නැටුම පාදක කරගත් රිද්මයක් හා තීරණාත්මක ව කටහඬ (ගායනය) මුල් කරගත් ශෛලියකින් යුක්ත යැයි කිව හැකි වුවත්, සංගීතාත්මක අර්ථයෙන් පමණක් රොක් නිර්වචනය කිරීමට යාම නිශ්ඵල කාර්යයකි. රොක් සංස්කෘතියේ වැදගත්කම තේරුම් ගැනීම සඳහා යමෙකුට එහි සමාජීය භාවිතය ද සලකා බැලිය යුතු වේ. එමෙන්ම එය අවංක බව, නිර්මාණශිලීත්වය, සංගීතමය කවිය, විවාදාපිත බව ද සැලකිල්ලට ගත යුතුය. රොක් හොඳින්ම හඳුනා ගත හැකි සන්දර්භය වන්නේ 1950 හා 60 දශක වල තරුණ පරම්පරාවයි. (බලන්න)
  • විස්තාරණය කරන ලද (amplified) හා කැපී පෙනෙන තාලයකින් සමන්විත ජනප්‍රිය සංගීත ව්‍යුහයක් ලෙස රොක් හැඳින්විය හැක. ප්‍රධාන ශබ්ද මූලාශය වන්නේ ඉලෙක්ට්‍රොනික ගිටාරය යි. (Encyclopedia Americana - බලන්න )
  • All Music Guide වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ 'රොක් යනු, එහි පිරිසිදුම ආකෘතියෙන් ගත් කල සංගීත ‍කෝඩ් (chords) තුනක්, දැඩි බැක් බීට් (back beat) එකක් සමඟ සිත් බඳනා සුළු තාලයකින් සමන්විතයි' යනුවෙනි. මුල් කාලීන රොක් ඇන්ඩ් රොල්, සංගීතධාරා ගණනාවක ආභාෂය ලබා ඇති අතර ඒවා නම් බ්ලුස් (blues), ආර් ඇන්ඩ් බී (R & B), කන්ට්‍රි (country), ගොස්පල් (gospel) සහ සම්ප්‍රදායික පොප් (traditional pop), ජෑස් (jazz) හා ජන සංගීතය (folk) ය. මේ සියලු ශෛලින්ගේ බලපැවැත්විමෙන් හා සුසංයෝගයෙන් ඇති වූ බ්ලුස් (blues) පාදක කරගත් වේගවත්, නැටුම සඳහා පහසුවෙන් භාවිත කල හැකි, සිත් ගන්නා සංගීත ව්‍යුහය (music structure) රොක් ඇන්ඩ් රොල් යනුවෙන් එය තවදුරටත් පවසයි. (බලන්න)
මෙම වෙනස් සංගීත ව්‍යුහයන්හි සුසංගත වීම නිසා ආරම්භයේ පටන්ම විවිධ රොක්‍ විශේෂ නිර්මානය වූ අතර ඒවා අතර ප්‍රමුඛ වන්නේ ලොව ඉතාම ජනප්‍රිය සම්භාව්‍ය රොක් (classic rock), බ්ලුස් රොක් (blues rock), ජන සංගීත ශෛලියේ රොක් (folk rock), ජෑස් රොක් (jazz rock) සහ 70 දශකයේ වඩාත් ජනප්‍රිය වූ හා Beatles මහත් වෙර වෑයමකින් අනන්‍යවිමට උත්සහ කල psychedelic rock ය. මෙම අවසන් ශෛලිය සඳහා කාල මුද්‍රාවක් (time signature) නොපවතී.

ඉහත දැක් වූ නිර්වචනවල හරය සලකා බැලූ කල්හි බැලූ බැල්මට පෙනෙන ප්‍රධානම ලක්‍ෂණය නම් රොක් සංගීතය මුලික වශයෙන් බ්ලුස් හා රොක් ඇන්ඩ් රොල් සංගීත ධාරවන්හි එකතුවක ප්‍රතිඵලයක් වන බව ය. නො‍එසේ නම් රොක් සම්ප්‍රදාය මඟ හැර යා නොහැකි පරදි රොක් ඇන්ඩ් රෝල් හා බ්ලුස් යන සංගීත ධාරාවන්ට අනන්‍ය වන බවත් ඒවායේ බොහෝ ලක්‍ෂණ රොක් තුල ව්‍යුත්පන්නව පවතින බවත් ය. පසුකාලීනව රොක් ඇන්ඩ් රෝල් ශෛලියෙන් රොක් තීරණාත්මකව මුදා ගැනිමේ අවශ්‍යතාවය ලෝක සංගීතයේ ප්‍රභල පෙරලියක් විම දක්වා විතැන් වීම වඩා ප්‍රභල ආත්ම ප්‍රකාශණයක් ලෙසට රොක් සංගීතය ඉස්මතුවීමට බල පෑවේය.

‍ඓතිහාසිකව ගත් කල මෙම නිර්වචනීය අර්ථයන් ඉක්මවා යන සන්දර්භයක් හා ඓන්ද්‍රීය සම්බන්ධයක් රොක් සංගීතය හා වහල්භාවය අතර පවති. රොක් සංගීතය හා කළු වහලුන් පිළිබඳ ඉතිහාසය කොතරම් සමපාතී වේද යන්න පිළිබඳව වඩා අප දෙනෙත් විවර කරන ලිපියක් ලියන ටවුන්ෂෙඩ් නම් විචාරකයා පවසන්නේ 'රොක් ඇන්ඩ් රෝල් තේරුම් ගැනීමට අප ප්‍රථමයෙන් වහල් ක්‍රමය තේරුම් ගත යුතුය. ඇමරිකානු හා යුරෝපීය සංස්කෘතිය පිළිබඳව හසරක් නොදත් කළු ජාතික දූපුතුන් අත් විදි වහල් ක්‍රමය අපට පරිපූර්ණ සබුදිසිකත්වයක් හා විග්‍රහ කිරීමක්, රොක් ඇන්ඩ් රෝල් අනෙකුත් සංගීත ශෛලින්ගෙන් වෙන් විය යුත්තේ මන්ද යන්න පිළිබඳව, නිවරුදිව ගෙන එයි. 'සෑම සංස්කෘතියක් තුලම එම ජන කොටසට වින්දනය ගෙන එන, අභිචාරී විධි, උත්සව හා බැදුණු, ඉතිහාසය සංරක්‍ෂණය කරන හා ප්‍රති-කථනය කරන එකට බැදුණු බලවේගයක් හා කතාන්තර විධියක් ලෙස වූ ජන සංගීතයක් පවතී.' ලෙසයි. මේ අර්ථයෙන් ගත් කල, ජන සංගීත වින්දන අවකාශයකටත් වඩා තම මර්ධනිය ආත්මය ප්‍රභල ලෙස විදාරණය කල හැකි වූ රොක් ඇන්ඩ් රෝල්, නූතන ඇමෙරිකානු ජන සංගීතයයි. (බලන්න)

රොක් ඇන්ඩ් රෝල් හා බ්ලුස් යනු යටත් විජිත අප්‍රිකාවේ තමන්ගේ නිජභූමි වලින් උගුල්ලා දැමු කළු ජාතිකයින් විසින්, තමන් ව නව ලෝකය තුල නැවත ස්ථාපනය කිරිම හේතුවෙන් තමාට අහිමි වී ගිය ස්වකීය භූමිය, සංස්කෘතිය, අනන්‍යතාව, වාර්ගිකත්වය (මෙයින් අදහස් කරන්නේ අප්‍රිකාව තුල විෂම ජාතීයව වාසය කල ඔවුන් බලහත්කාරිව සමජාතිකකරණය නිසා හටගත් බලහත්කාරි වාර්ගික සම්මිශ්‍රණයයි) මෙන්ම ඔවුන්ට විදිමට සිදු වූ ගැහැට, ගුටිබැට, දම්වැල්, තුවාල, අධිකතර ශ්‍රමවැගිරීම, මහන්සිය, හුදකලාව හේතුවෙන් අවිච්චින්නව වසර එකසිය පනහකට වැඩි කාලයක පතුලක් නොපෙනෙන‍ කෝපාග්නිය නම් කලු ආත්මය තුල තැන්පත් වී තිබු ‍ගිණි පුලිඟු ර‍ළු එහෙත් ප්‍රාණවත්, මරණීය එහෙත් හැඟිම්බර, ආත්මීය එහෙත් වේදනා බර ආකාරයකට මහේෂ්ක, ආධිපත්‍යධාරි සමාජය වෙත නැවත මුදා හැරිමයි.
  • ධනේෂ්වර ප්‍රාග්ධන සූරාකෑම, ලෝක යුද්ධයේ කුරිරු බව, පරාරෝපණය, ලිංගික නිදහස, පරම්පරා කෝපය ප්‍රකාශ කිරීමට ප්‍රභල සංගීත අවකාශයක් සොයමින් සිටි තරුණ පරම්පරාව (ධනවාදයට නම් පාරිභෝගිකයින්)
  • සුදු ජාතිකයන් සතු වූ ප්‍රාග්ධනය හා අතිරික්තය: මෙයට මුලින් කළු ජාතිකයින්ගේ ශ්‍රම සුරා කෑම හා වහල් ශ්‍රමය ද ඇතුලත් ය.
  • කළු ජාතිකයන් ස්වකීය පරාරෝපණ ආතතිය හා වි-ප්‍රදේශකරණය නිසා ආත්ම ප්‍රකාශන මාධ්‍යයක් ලෙස රොක්, ඡෑස් හා බ්ලුස් යන තම අප්‍රිකානු නාජබිම් වලින් රැගෙන ආ සම්ප්‍රදායික සංගීතය
මෙම නැවත මුදාහැරිම තුල ඉතා ප්‍රභල ආත්මීය ප්‍රකාශන මාධ්‍යයක් ලෙස වර්ධනය වු රොක් ඇන්‍ඩ් රෝල් සිය වේගවත් බව හා ප්‍රකාශණ ශීලීබව නිසාම, තම ප්‍රාථමික අමුණ තුලම රැඳි සිටියා වුවත්, බ්ලුස් හා ජෑස් යන ශෛලීන් වඩා රොමාන්ටික පුද්ගල අත්දැකිම් විදාරණය සඳහා භාවිතා විය. එම නිසා අභ්‍යන්තර අඩංගුව තුලදී මේ ශෛලීන් එකිනෙකට වෙනස් මාවත් දිගේ වර්ධනය වූ අතර රොක් තරම් ප්‍රභල විරෝධාකල්පිත, නාස්තිකවාදී (nihilistic) හා අවේගාත්මක බවක් එම ශෛලීන් ප්‍රකට නොකළේ පෑස් හෝ බ්ලූස් සතුව තිබූ ආවේණික සීමාකම් නිසා බව අපට පෙනී යයි. මේ අර්ථයෙන් විරෝධාකල්පිත රැඩිකල් තරුණයින්ට තිබූ එකම ඓතිහාසික සංගීතමය අවිය වන්නේ රොක් ශෛලීයයි. මේ ලේඛනය දේශපාලනිකව රොක් දෙසට දිශානත වන්නේ එබැවිනි. රොක් සංගීතය නිර්වචනයට යටින් දිවෙන සමාජ යථාර්තය තවදුරටත් ග්‍රහණය කිරීමේ දී අපට පෙනී යන්නේ rock ‘n’ roll, blues මෙන් ම jazz යන සංගීත අනන්‍යතා වාර්ගික වර්ණ‍භේද, සහසම්බන්ද ප්‍රතිපක්‍ෂ (binary opposition) ලෙස ස්ථාපිත වී තිබූ බවයි. මේ අනුව සංගීත හැකියාව, එහි සැබෑ අයිතිය සතුව තිබුණේ කළු ජාතිකයන්ට වු අතර එහි ජනප්‍රියතාව හා විකිනිමේ හැකියාව (marketability) තිබුණේ සුදු වාර්ගික ජන කොටස් අතර වේ. සත්‍ය ලෙසම වාණිජ අවකාශය සකස් වී තිබුණේ මෙම සහසම්බන්ධ ප්‍රතිපක්‍ෂ අහෝසි වූ මොහොතකටය. වාණිජ අවකාශයට කලු ජාතිකයන් සතු වූ හුදකලා සංගීත කුශලතාවයෙන් ඵලක් නොවු අතර හුදු සුදු වාර්ගික සංගීත ලෝලීයන් අත තිබූ අතිරික්ත ප්‍රාග්ධනය වෙලඳපල අවකාශයක් වෙත ලබා ගැනීමට නම් මෙම අනනතා හිඩැස් අවසන් කල, සුදු-කලු සහසම්බන්ධ ප්‍රතිපක්‍ෂය අවසන් වු පැරදිග්මතික තැන්මාරුවක් නොහොත් පාරමීඩ ඉලිප්පීමක් (paradigm shift) එයට අවශ්‍ය විය. ලෝප්‍රකට මෙම්පසිප්හි (memphis) හි Sun Record අධිපති සෑම් පිල්ප්ස් (Sam Phillip) වරක් සඳහන් කල පරිදි, “මට නිග්‍රෝ රිද්මයට ගායනා කල හැකි සුදු ජාතිකයෙක් හමු වුවහොත්, මිලියන ගණනක් උපයන එක අරුමයක් නොවේ” යනුවෙනි. (ස්කැරුෆි - බලන්න) සාමාන්‍යයෙන් දියුණු ධනවාදය (සුවිශේෂයෙන් වානිජ ප්‍රාග්ධනය) සහසම්බන්ධ ප්‍රතිපක්‍ෂ වාෂ්පීකරණය කරන අතර එම ප්‍රතිපක්‍ෂ බෙදා වෙන් කරන ලිවරය ද අහෝසි කර දමයි.

පශ්චාත් මාක්ස්වාදියකු වන ජීන් බ්‍රෝදිලාද් පවසන්නේ; ‘පාරිභෝගික සමාජය තුල, සමාජ තත්වයන් හැඟවුම්කරණය කරණ වස්තූන් සමාජ ධූරාවලීන් ගෙන් සමන්විත අනෙකුත් සියලු බෙදීම්; උදාහරණ ලෙස පංති, ලිංග හා ජාතීන් විතැන් කර දමන බවයි. (බ්‍රෝදිලාද්: පිටු 17-26). මෙම සහසම්බන්ද ප්‍රතිපක්‍ෂ වාණිජ අවකාශය පහත දැක්වෙන පරිදිය.
  • ධනේෂ්වර ප්‍රාග්ධන සූරාකෑම, ලෝක යුද්ධයේ කුරිරු බව, පරාරෝපණය, ලිංගික නිදහස, පරම්පරා කෝපය ප්‍රකාශ කිරීමට ප්‍රභල සංගීත අවකාශයක් සොයමින් සිටි තරුණ පරම්පරාව (ධනවාදයට නම් පාරිභෝගිකයින්)
  • සුදු ජාතිකයන් සතු වූ ප්‍රාග්ධනය හා අතිරික්තය: මෙයට මුලින් කළු ජාතිකයින්ගේ ශ්‍රම සුරා කෑම හා වහල් ශ්‍රමය ද ඇතුලත් ය.
කෙසේ වුව ද පැවති රොක් ඇන්ඩ් රෝල් අවකාශය තුල කළු ජාතිකයකුට විශාල ජනප්‍රියතාවක් ඇති කර ගැනීම පහසු නොවීය. මෙහිදි විශ්ලේෂණය කරනු ලබන්නේ පුර්ව රොක් අවධියේ සමාජ දේශපාලනය තේරුම් ගැනීමට හා ඒ හා බැඳුනු පශ්චාත් රොක් හි වේදනාව තේරුම් ගැනීමටත්, බිට්ල්ස් හි ආස්ථානය පැහැදිලි කර ගැනීමටත් ය. රොක් ඇන්ඩ් රෝල් ශෛලියෙහි ගිටාරය ප්‍රධානම අවිය බවට පත් කලේ ලොව පහල වූ සුවිශේෂි කළු ජාතික ගි‍‍ටාර් වාදකයකු වු චක් බෙරි (Chuck Berry)ය. රොක් ගිටාරයේ හරය වූ අවරෝහණ පෙන්ටොමැටික ද්විත්ව නැවතුම (descending pentatiomtic double stop) මෙන්ම තහනම් ආදරය, පරම්පරා ගැටුම යන සමාජීය තේමාවන් සෘජුවම කරලියට ගෙන ආවේ ද මොහු ය. ඔහුගේ ගී අතර ‘Sweet Little Sixteen’ සහ ‘Johnny B. Goode’ (1938) යන ගීත ද්විත්වය රොක් ලෝකයේ පුරාවෘත්ත ලෙස ඉතිහාස ගත වී ඇති අතර ඒවා මිලියන ගණනක් සුදු ජාතික තරුණයන් විද්‍යුත්කරණය (electrify) කලේය. සමකාලීන බ්ලුස් ගිටාර් වාදකයෙක් වූ Bo Diddleyද අගනා මෙහෙයක් රොක් සංගීතයට කලේ ය. අවාසනාවකට මෙන්, මොවුන් දෙදෙනාම කළු ජාතිකයන්වීම නිසා කිසිවිටක Sinatra හෝ Presley තරම් ලොව වාණිජ අවකාශය තුල ඉස්මතුවිමට එම වාණිජ ප්‍රාග්ධනයේ හිමිකරුවන් ඉඩ නොදෙන ලදී. නිව් ඕර්ලියන්ස් හි (New Orleans) ජනප්‍රිය වූ සුවිශේෂී පි‍යානෝ වාදකයෙක් වූ ලිට්ල් රිචඩ් (Little Richard), විසින් decadence-rock(පරිහානි නොහොත් නටබුන් රොක්) යනුවෙන් ශෛලියක් සොයා ගත් අතර එම උන්මාදී රොක් ශෛලිය අද දක්වාම (වඩාත් නිවැරදිව punk rock දක්වා) ලොව තුල හිස්ටීරියානු ආදර්ශයක් (hysterian specimen) ලෙස පැවතුන ද ඔහුගේ දෛවය පවා මුලින් සඳහන් කල රොක් කලාකරුවන්ගේ දෛව‍යෙන් වෙනස් වුයේ නැත. මෙයට ප්‍රධාන හේතුව වූයේ කොතරම් දක්ෂ හා නිර්මාණශීලී වුව ද සුදු වාර්ගික ව්‍යුහයක් තුල කළු ජාතිකයෙකුට වාර්ගික ජේදනය අභිබවා ඉස්මතු වීමට නොහැකි වීමයි. මෙම සදර්ශණය රොක් ලෝකයේ පමණක් බල නොපෑ අතර පසුගිදාක මියැදුණු මයිකල් ජැක්සන්ද තම ජනප්‍රියත්වය හිමිකර ගැනීමට මෙම උපක්‍රමය භාවිතා කල අතර මාටිං කිං ලුතර් හා මොහොමඩ් අලිට තම කළු ජාතිකත්වය නිසාම වන්දි ගෙවන්නට වුණමේ අනුව එල්විස් ප්‍රෙස්ලි (Elvis Presley), ශ්‍රී ලාංකිකයින් වන අප විසින් දැනගෙන සිටීමත් චක් බෙරි නොදැන සිටීමත් අහම්බයක් නොවන්නේ එබැවිනි.ලංකාවේ අ.පො.ස. (සා/පෙ) ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා Lennon හා McCartny ගේ Elenor Ragby යන ගීතය ඇතුලත් කර තිබේ. උසස් පෙළ සඳහාද Michael Jackson ගේ Heal the World ගීතය ද ඇතුලත් කර ඇති මුත් වෙනත් රොක් හො රේගේ ගායකයන්ගේ පදමාලා ඇතුලත් නැත.

පෙර සඳහන් කල Sun Recording හි සෑම් පිලිප්ගේ සිහිනය මල්ඵල ගැන්වුයේ ඔහුට එල්විස් ප්‍රෙස්ලි මුණ ගැසුනු දිනයේ දී ය. තවත් දශක ගණනක මූලාදර්ශය (prototype) බවට පත් වූ, රොක් ඇන්ඩ් රොල් හි ප්‍රථම ඇස්බැන්දුම්කරු (හෝ වංචනිකයා) ලෙස සැලකිය හැකි Presley, සැම් පිලිප්ස් විසින් රොක් ඇන්ඩ් රෝල් ලෙස වෙස් ගන්වා තමාට කිසිදු එකට එකේ සම්බන්ධයක් නොතිබු බාල අපරාධකරුවෙකු(Juvenile delinquent) යන ලේබලය ද සහිතව පෙර සඳහන් කල වාර්ගික-කළු-සංගීතමය සහ සුදු අතිරික්ත වාණිජ ප්‍රාග්ධන අවකාශය වෙත විසිකර දමන ලදී. එතැන් පටන් වාර්ගිකව දෙගොඩ ගැසී තිබුණ ඇමෙරිකානු එක්සත් ජනපද වාණිජ අවකාශය තුල ප්‍රෙස්ලි අමු අමුවේ කළු ජාතිකයන් විසින් නිර්මාණය කර තිබූ විශිෂ්ඨ ගනයේ ගීත මංකොල්ලකන්නට වූ අතර ඔහු විසින් කොපි කල ගීත අතර ආතර් කූඩප් (Arthur Crudup)ගේ ‘That’s All Right Mama’ (1954) { නියම පිටපත / කොපි පිටපත } හා රෝයි බ්‍රවුන්ගේ (Roy Brown) ගේ ‘Good Rocking Tonight’ (1955)ද විය { නියම පිටපත / කොපි පිටපත }. එමෙන් ම Carl Perkins හා Mae Axtom මෙන්ම Lieber හා Stollerගේ ගීත කිහිපයක් ද ගැයු ඔහු අවසානයේ ඉතාලි ජාතික ගීත කිහිපයක් ද කොපි කරන ලදී. එයින් ‘Love me Tender’ (1956) හා ‘Can’t Help Falling in Love’ (1961) යන ගීත දෙක ලොව පුරා ඉතා ජනප්‍රියත්වයට පත්විය. කළු ජාතික සුවිශේෂ වාර්ගික අනන්‍යතාවයක් හා වස්තු විෂයන් තිබූ ගීත, දහස් ගණනක් වූ සුදු ජාතික තරුණ පරපුර අතර ජනප්‍රිය කිරීමේ ‍ඵෙතිහාසික වැදගත්කම ප්‍රෙස්ලිට හිමිකර දිය යුතු වුවත්, තම සංගීතයට, එහි භාවයන්ට, විශේෂයෙන් රොක් සතුවූ එයටම අවේණික අශ්ශිල හෙවත් වියරු ස්වභාවයට සාපේක්‍ෂව ගත් කල්හි සමකාලීන සුදු ජාතික රොක් සංගීතකරුවකු වූ Jerry Lee Lewis තරම් රොක් සංගීතයට අවංකවීමට හෝ අනන්‍යවීමට හැකියාවක් දැවැන්ත වාණිජ සාර්ථකත්වයක් සහිත වූ ප්‍රෙස්ලිට කිසි දා නොවීය. (බිට්ල්ස් ට භාවිතා කළ හැකි වන්නේ ද මෙම ප්‍රෙස්ලීකරණය වූ වටපිටාවයි) අප බීට්ල්ස්හි විප්ලවයට ගමන් කිරීමට ප්‍රථම සඳහන් කල යුතු අනෙක් වැදගත්ම සමකාලීන වර්ධනය නම් ටෙක්සාස් හි උපන් බඩී හොලී (Buddy Holly) නම් තරුණ රොක් ගායකයා රොක් සංගීතයේ පැවති බාහිර මුහුණුවර රැඩිකල් ආකාරයට වෙනස් කිරීමයි. ඔහු රොක් සංගීතයේ වේදිකා මුහුණුවරට පාසැල් නිල ඇඳුම් හා කණ්නාඩි සහිත ‘ළඳරු’ පෙනුමක් ද (ප්‍රෙස්ලිට ප්‍රතිපක්‍ෂ), රොක් හි අශුභවාදයට සුභවාදී තේමාවක් ද, ළමා හඬට සමාන්තර වූ ධ්වන්‍යානුකරණයක් ද(Onomatopoeia), මො‍්ඩ පහේ පුනරුක්තිය ද, ඉක්කාව ද, විස්මය ජනක පෙනුම ද, ළමා ගිත ද, අත්පුඩි ගැසීම ද රැගෙන ආ අතර එම ගීත පාසැල් වයසේ ගැහැණු ලමුන් (මෙන්ම පිරිමි ලමුන් ද) අතර විශාල ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත් විය. බඩී ලොව ප්‍රථම වරට රොක් ගායනය හා ගීත ලිවීම යන අංග දෙකම එකට කල සංගීතඥයා වේ. ඔහුගේ Buddy Holly & Cricketers* ලොව ප්‍රථම රොක් සංගීත කණ්ඩායම ලෙස සැලකිය හැකි අතර(මෙය විවාද සම්පන්නය. Rocket 88 (1951) හා Blue Caps (1956) යන ගායක කණ්ඩායම මුල්ම රොක් ගායක කණ්ඩායම ලෙස මතයක් පවතී.) රොක් සංගීත ප්‍රමිතියට වංචාකල පලමුවැන්නා ද වේ. ඔහු පවත්නා වාණිජ යතාර්ථය සමඟ වසඟකාරී (seductive) ආකාරයට අනන්‍යකරණය වීමට දැරු උත්සාහය මෙමඟින් ස්ථුටයි.

*නිල අඩවිය : http://www.buddyhollyonline.com/

දැන් බිට්ල්ස්හි ආගමනයට පෙර පැවැති සමාජ, දේශපාලනික භූමිකාව සලකා බලමු. බිට්ල්ස් සඳහා වූ ප්‍රාග්ධන-සංස්කෘතික අවකාශය ගොඩ නැගෙන්නේ මීට පෙර සඳහන් කල වාර්ගික ඡේදනය තුල ගොඩ නැඟුණු කළු සංගීත රිද්මයට අවශ්‍ය වූ සුදු ජාතික ශරීරය තුලයි. 1950 දශකය අග වන විටත් වාර්ගික කළු ජාතිකයින් සංගීතයෙන් පලවා හැරීමට අවශ්‍ය වාණිජ ප්‍රාග්ධන-සංස්කෘතික පසුබිම ගොඩ නැඟී තිබුණි. ප්‍රෙස්ලි සහ බඩී හොලී වැනි ජනප්‍රියවාදි චරිත යොදා ගනිමින් සැබෑ රොක් ගායකයන් වාණිජ අවකාශයෙන් පිටමන් කිරීම අවශ්‍යතාවයක් ලෙස තවදුරටත් කළු ජාතිකයන් හා ඔවු‍න්ගේ දේශපාලන අභිප්‍රායන් තර්ජනයක් ලෙස සිතු, එවකට අධිපති ප්‍රාග්ධනය අයත් සුදු ජාතිකයන් කල්පනා කළේය. මේ වන විටත් විශාල වාණිජ සාර්ථකත්වයක් තිබියදිත් රොක් ඇන්ඩ් රෝල් විරෝධී සමාජ-දේශපාලනික ප්‍රපංචයන් තුනක් ස්කැරුෆි හඳුනා ගනී. ඒවා නම්;
  • දේශපාලන බලවේගය - සමාජවාදී කඳවුරේ නැග්මත් සමගම විරෝධාකල්පික දේශපාලන තේමාවන් සහිත එමෙන් ම යම් ආකාරයක ලබ්ධියක් බවට පත්වෙමින් තිබූ රොක් ඇන්ඩ් රොල් සතුවූ විප්ලවිය සමාජ දේශපාලන ව්‍යාපාරයක් මතුකර ගැනීමට අවශ්‍ය ගතිකය සැඟ වී පැවතීමත් එහි දැවැන්ත ජනප්‍රියවාදි බව නිසාම එය අනන්‍ය කර ගැනීමට තරම් මිලියන ගණනක තරුණ පරම්පාරාවක් ඒ වන විටත් සිටීමත්ය. එම නිසා රොක් ඇන්ඩ් රොල් සම්පූර්ණයෙන් අවසන්කර එහි ජීව ගුණය විනාශ කර එහි ක්‍රම විරෝධී, සංස්ථාපිත විරෝධී බව මකා දමා සරල වින්දන මාධ්‍යයක් බවට කප්පාදු කල යුතු විය.
  • ආගමික බලවේගය - යම් යම් වැඩිහිටි සමාජ කොටස් අතර තව දුරටත් වික්ටෝරියානු සුචරිතවාදි ආකල්ප බලපැවැත්වුනු අතර ව්‍යුහයක් ලෙසට ‍බොහෝ වැඩිහිටියන් රොක් ඇන්ඩ් රෝල් හි දෘඩ, මත්ද්‍රව්‍ය ලෝලී, නිදහස් ලිංගික හා විදී පාතාල භාවිතය, නොරිස්සුවේ ය. ඒ වෙනුවට ඔවුන් තවමත් ප්‍රාර්ථනා කලේ තම දරුවන් තමන් මෙන්ම පල්ලියට යැවිමට ය. මෙම ප්‍රපංචය බරපතල ලෙස බටහිර සමාජයහි පරම්පරා වෙනස තුල නව තරුණ තරුණියන් ගෘහමය ස්ථාපිතයෙන් වෙන් කිරීමට බල පෑ ප්‍රභලම සාධයක් විය.
  • වාර්ගික බලවේග - කළු ජාතික උරුමයක් හා හැඟිම් ප්‍රකාශනයක් වූ රොක් ඇන්ඩ් රෝල් භාවිතාව සුදු මධ්‍ය පන්තිකයන් විසින් නොඉවසීය. ඇ‍මෙරිකානු එක්සත් ජනපදය තව දුරටත් වාර්ගික ඡේදනයක් මත ගොඩ නැගී තිබුණු අතර වාණිජ ප්‍රාග්ධනයේ හිමිකාරිත්වය හා අධිපතිත්වය තව දුරටත් සුදු ජාතිකයින් අතර තිබිණි. රොක්හි, දැක්ම, ප්‍රකාශනය හා අරගලකාරි විරෝධාකල්පික බව කෙතරම් ප්‍රභලවි ද යත් පෙර කී මධ්‍යම පන්තිය තම සුදු ජාතික දරුවන් මෙම විප්ලවකාරී භාවිතාව සමඟ අනන්‍ය වෙනු කිසිදා කිසිම විටක නොඉවසීම සුදු ජාතිකයින්ගේ ඇසින් ගත් විට තේරුම්ගත හැකි යථාර්තයක් විය.

මෙම කරුණු වලට සමාන්තරව 1950 ගණන්වල අග භාගයේ දී රොක් ඇන්ඩ් රෝල් හි කේන්ද්‍රය එක්සත් ජනපදයේ සිට ලන්ඩනයට විතැන් වෙනු අපට දැක ගක හැකි ය. එක්සත් ජනපදය තුල පැවති රොක් ඇන්ඩ් රෝල් විරෝධී වෛර සහගත වට පි‍ටාවත් එමෙන් ම එයට තිබූ වාණිජ අවකාශය හීන වීමත් (මෙය ස්වාභාවිකව සිදු වුවක් නොවේ) මෙයට බලපෑවේය. අනතුරුව ලන්ඩනය තුල දිස් වුයේ සුදු ජාතිකයින් විසින් කළු ජාතිකයින් සතු වූ සංගීතය (රොක් ඇන්ඩ් රෝල් මෙන් ම Jazz ද) වාණිජ අවකාශය තුල මතු කරවන ආකාරයයි. මේ කාලයේ Alexis Korner, Lonnie Donegan හා Chris Barber වැනි අයගේ වේගවත් Jazz සංගීතය නැටුමට අවශ්‍ය වන ආකාරයෙන් රොක් ඇන්ඩ් රොල් සමඟ සම්මිශ්‍රව හා හුදකලාව ඉස්මතු විය.

1955 පසුව 1964 වන තුරු කාලය රොක් ඇන්ඩ් රෝල් හි ‘අඳුරු යුගය’ ලෙස සමහර විචාරකයන් හඳුන්වයි. ඒ රොක් ඇන්ඩ් රෝල් සංගීතමය භාවිතාවක් ලෙසත් දේශපාලන ප්‍රකාශණය මාධ්‍යයක් ලෙසත්, ජිවන ශෛලියක් ලෙසත් අත්කර ගෙන තිබූ අධිකාරිමය තත්වය වාණිජ ප්‍රාග්ධනයේ හැසිරීම සමඟ සම්පූර්ණයෙන් ම සමාජ කොටස් අතරින් අතුරුදහන් විමයි. වාණිජ ධනවාදය ඉඩකඩ ලබා දුන්නේ ‘ළමාකරණය’ වු රොක් හි සැබෑ ආත්මීය බව සාරයක් ලෙස අහිමි කල පශ්චාත්-‍ප්‍රෙස්ලිකරණ Buddy Holly, The Everly Brothers, Simon & Garfunkel වැනි ජන සංගීතය රොක් ඇන්ඩ් රෝල් සමඟ සම්මිශ්‍රණය කර ගත් ජන සංගීත රොක් (folk rock) අවකාශයයි. ගැඹුරු තේමාවන් සුසංයෝග කල හැකි අවකාශයක් ලෙස (folk rock) අවධිය ද (මෙයට හොඳම උදාහරණය ඇතැම් Garfunkel හා Everly Brothers ගීත සහ ලොව සුවිශේෂි folk rock සංගීතවේදියෙකු වූ Bob Dylan ගේ ගීතයි.) විකාශනය වූ නමුත් ශෛලියක් ලෙස ගත් විට එය නිශ්චිත වශයෙන්ම කලින් පැවති රූට් රොක් (root rock) නොවේ.

බිට්ල්ස්හි ආගමනය ඔවුන්ගේ දේවෝප්තික වාසනාව : 1960 එංගලන්තයේ ලිව(ර්)පූල් හි ආරම්භ කල පොප් -රොක් ගායක කණ්ඩායමක් වන බිට්ල්ස් රොක් සංගීතයේ ‘​බ්‍රිතානය ආක්‍රමණය’(British Invasion) යන්න මුලින් ජනමාධ්‍ය විසින් භාවිතා කරණ ලද පසුව ක්‍රමාණුකූලව පාරිභෝගිකයින් අතට මාරුවූ බ්‍රිතාන්‍ය සංගීතකරුවන් එක්සත් ජනපදය තුල (පසුව ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ) ජනප්‍රිය වීම සම්බන්ධයෙන් පාවිච්චි කල වචනයකි.) ලෙස හඳුනා ගැනෙන, 1960 දශකයේ මැද භාගයේ එක්සත් ජනපදය තුල වාණිජ ආධිපත්‍ය හිමිකර ගත් ලොව අතිශයින් ම ජනප්‍රිය වූ පොප් රොක් සංගීත ශෛලියේ සමාරම්භකයන් ලෙස හඳුනා ගත හැකිය. ඔවුන් 1950 දශකයේ ජනප්‍රිය වූ රොක් ඇන්ඩ් රෝල් ශෛලියේ හා ස්කිෆල් (skiffle) යන ධාරාවන්ගේ සුසංයෝගයෙන් තමාටම සුවිශේෂී අනන්‍යතාවක් වාණිජ අවකාශය තුල ගොඩනගා ගත් තම ඇඳුම් මොස්තර, තමා විසින් නිකුත් කළ පුවත්පත් නිවේදන හා ජීවන ශෛලිය විසින් ද පසුව තමා තුලම ගොඩනැගුණු සමාජ -දේශපාලනික අවබෝධය ද හේතු කොට ගෙන සමකාලීන සමාජය මත සමාජ-සංස්කෘතික විප්ලවයක් ඇති කල ගායක කණ්ඩායමක් ලෙස ද දැක්විය හැකිය. 1970 දී මෙම කණ්ඩායමේ සාමාජිකයින් වෙන් වී ගොස් තමන්ගේ තනි පුද්ගල සංගීත ජීවිත පටන් ගැනීම නිසා එහි පැවැත්ම අවසන් වුව ද ඔවුන් රොක් සංගීතය හා පොදුවේ සමාජය තුල කළ බලපෑම අදටත් ශේෂව පවතී
මීට පෙර සඳහන් කල වාර්ගික ඡේදන අවකාශය (ethnic segregate space) තුල නිර්මාණය වූ වාණිජ කළු-සුදු නිර්-ප්‍රතිපක්‍ෂයට අමතරව පහත සඳහන් කාරණා ද බීට්ල්ස් හි ජනප්‍රියතාවයට බල පෑ සාධක ලෙසද ගණනය කල හැකිය.

  • ලන්ඩනය තුල පශ්චාත් කාර්මික විප්ලව මහේෂ්ක නගරයක් ලෙස අත්ව තිබූ කාර්මික නිෂ්පාදන අවකාශය විසින් පුද්ගලයින් විශේෂයෙන් තරුණ පරම්පරාව දැවැන්ත ලෙස පරායත්තකරණයට හා පරරෝපණයකට ලක්කර තිබීම ලන්ඩනය නාගරිකකරණය හා නිෂ්පාදන ප්‍රාග්ධනය විසින් පුද්ගලයන් මත ඇති කරන ලද බලපෑම යුරෝපය තුල ප්‍රථමයෙන්ම අත් කරන ලද නගර කිහිපයෙන් එකකි. පවුල යන සමාජ ඒකකය තුල ඇති වූ බරපතල වෙනස්කම්, දෙමාපිය ආදරය අහිමිවිම, කම්කරු ශ්‍රම සුරා කෑම, අඩු වැටුප් තත්වය, කාර්මික උපකරණ හා යන්ත්‍ර සුත්‍ර විසින් මිනිස් ශ්‍රමය විතැන් කිරීම, විරැකියාව, පුද්ගලියින් ජිවත් වූ ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට ප්‍රාග්ධන අවශ්‍යතා බලහත්කාරීව මත පලවා හැරීම හෝ පලා යාමට බල කිරීම, ආචාර ධර්මයන්ගේ පිරිහීම, පුද්ගල අනන්‍යතාව අහිමිවීම, අසමානතාව, ළමා ශ්‍රමය, සාක්‍ෂරතාවය හීනවීම, සිරගත කිරීම හා දඬුවම්, ජනගහන වර්ධනය හා ආහාර හිඟය හා යුධ තත්වය. යුරෝපීය පුද්ගල ජිවිතය මත ධනේෂ්වරය කරන ලද බලපෑම මින් පෙර අප සඳහන් කල අප්‍රිකානු වහල් ශ්‍රමිකයන් මත පුර්ව කාර්මිකකරණ යුරෝපීය සුදු පීඩකයන් විසින් කරන ලද බලපෑම තරම් ම ප්‍රභලය. නිෂ්පාදන නිමේෂයන් දෙකක දී කළු ජාතිකයන් හා සුදු ජාතිකයන් ‍යන දෙකොට්ඨශය මතම කරන ලද මානසික හා කායික බලපෑමත් ඒ හා බැඳුනු පරාරෝපණය හා පරායත්තතාවයත් දෛවෝපගත සාංද්‍යෂයක් පෙන්වයි.
මේ කාරණය නිසාම ඔවුන්ට තම සංවේදනයන් ප්‍රකාශනය සඳහා වේගවත් තාලයන් සහිත, ඝොෂාකාරී, පොළඹවන සුළු, සාමුහිකව එක්විය හැකි සංගීතයක් අවශ්‍ය විය. මේ අවශ්‍යතාවය මුලින් සෑහෙන දුරකට සැපයුවේ Jazz හා Blues සංගීතයෙනි.
  • සන්තාපය හා ඉඡචාභංගත්වය (Angst & Frustration) ප්‍රකාශණය සඳහා අමෙරිකාවේ මෙන් ‘තනි පුද්ගල වීරයන්’ වෙනුවට ලන්ඩනය තුල ‘කණ්ඩායම්’ ඉස්මතු විම.
  • 1940 හා 1950 දශකවල දී සාන්දෘෂ්ධිකවාදය ඉතා ප්‍රභල ලෙස අනුදත් සංස්ථා විරෝධිත්වය හා බැඳුණු ශිෂ්‍ය දේශපාලනයේ ඉස්මතු විම සහ එම දේශපාලන ප්‍රපංචය විසින් ප්‍රභල ලෙස වියට්නාමය තුල අමෙරිකානු මැදිහත්විම් නිශේධනය කිරීම.
  • ස්කැරෆිට අනුව මේ අවධිය වන විට රේඩියෝව ප්‍රභල සන්නිවේදන උපකරණයක් ලෙස ඉස්මතු විම හා ගීත පටිගත කිරිමේ සමාගම් රාශියක් වෙළඳපල තුල සැරිසැරීම. (Sun recording, EMI, Atlantic මින් සමහරකි.)
  • පශ්චාත් යුධ ප්‍රපංචය විසින් වියෝවීම, විතැන්වීම, වි‍-ප්‍රදේශගතකරණය, කාංසාව හා ආතතිය අමතක කිරීමේ තේමාවක් ලෙස ‘රොක් ඇන්ඩ් රෝල්’ ප්‍රචලිත විම නිසා ශිෂ්‍යයන් තුලට එම මතවාද කාංදු වීම.
  • මාක්ස්වාදය අනුදත් ප්‍රභල ‍විවේචකයින් සිටියදීම පරාරෝපණ ගැටලුව සම්බන්ධයෙන් මාක්ස්වාදී අර්ථකතනය අභිබවා සාන්දුෂ්ටිකවාදී අර්ථකතන යුරෝපය තුල ඉස්මතු වීම හා සාන්දුෂ්ටිකවාදී සාහිත්‍යය ඇකඩමිකරණය වීම නිසා ශිෂ්‍යයන් තුලට එම මතවාද කාංදු වීම.
  • සංස්කෘතික ප්‍රතික්‍රියා කණ්ඩායමක් (counter-culture) ලෙස හිපි සංස්කෘතිය හා මත්ද්‍රව්‍ය යුරෝපීය තරුණ-තරුණියන් තුල ප්‍රභල බලපෑමක් ඇති කිරීම. මෙය සංස්ථා විරෝධී ශිෂ්‍ය දේශපාලනයේ හා අත්වැල් බැඳගත් අතර එය තව දුරටත් යුරෝපය තුල පැවති දෙමව්පිය ආධිපත්‍යය හා වික්ටෝරියානු සුචරිතවාදී සංස්ථාපිතයන් හා ආකල්ප අභියෝගයට ලක් කිරීම. යෞවන-යෞවනියන්, පවුලෙන් විදියට බැස ලිංගිත්වය, මත්ද්‍රව්‍ය හා මෝස්තර සමඟ අනන්‍ය වීම. මෙම මෝස්තර හා අනන්‍යකරණය කොතරම් ප්‍රභල වි ද යත් තවත් දශක ගණනක් යන තුරු ‍හොඳින් මැදිහත්, පිරිසිදු, දිලිසෙන ඇඳුම් සමාජය තුල අධිනිශ්චය නොවීම. (අදටත් ඇමෙරිකාව තුල නිල් ඩෙනිම පාසැල් ඇඳුමක් ලෙස පිළි ගැනීම).
  • මේ සියල්ලම අබිභවා යන පරිදි බිට්ල්ස්හි සංගීත නිෂ්පාදකයා වූ George Martin සතු වූ වාණිජ ප්‍රාග්ධනය හා සංගීතය එකට ගැටගැසීමට තිබූ මනා හැකියාව ඔවුන්ගේ සාර්ථකත්වයේ පදනම විය. ජනප්‍රිය කල හැකි වන ආකාරයේ සංගීතයක් බීට්ල්ස් ලවා ගායනා කරවන්නේ කෙසේ ද යන්න ඔහු දැන සිටීයේ ය. එ‍තෙක් ජනප්‍රියව තිබූ Merseybeat සංගීතයට සරල තනු යොදා සරල පදමාලා සහිතව, ඔවුනට පෙර රොක් ඇන්ඩ් රෝල් සංස්කෘතිය එක්තරා දුරක‍ට 'ලමාකරණය' කර තිබු බඩි හෝලි ගේ රූපය එකට එකතු කර වාණිජ පරමාර්ථයට ගැලපෙන පරිදි රොක් මුහුණුවර වේශ නිරූපනය කලේ George Martin විසිනි.
  • පශ්චාත් යුධ තත්වය වඩා කේන්ද්‍රියව එංගලන්තය දැනීම. ලෝක යුධ තත්වය හා යටත්විජිතකරණය යන කාරණාවලදි කේන්ද්‍රියව එම ප්‍රපංචයන්ට සම්බන්ධව සිටි එංගලන්තයට පශ්චාත් යුධ ක්ෂිත්මය අත්දැකිමෙන් මිදිමට ඇමෙරිකාවට තරම් වේගයෙන් නුපුළුවන් විය. මෙම රටවල් දෙකෙහි වඩා අධිපතිත්වය ගත් ප්‍රාග්ධන මාදිලිය මෙයට බලපෑ සාධකයක් විය. ඇමරිකාව තුල වෙළඳ ප්‍රාග්ධනයට අධිපතිත්වය දරණ අතර එංගලන්තය තුල අධිනිශ්චය වූයේ නිෂ්පාදන ප්‍රාග්ධනයයි.
කෙසේ වුවද, බිට්ල්ස් හි ජනප්‍රියත්වය ලොව තුල සමකාලීන ලෙස කොතරම් අධිනිශ්චය වී තිබුනා ද යන්න සදහා ඉදිරපත් කල හැකි හොදම උදාහරණය නම් බීට්ල්ස් හි ප්‍රධාන ගායකයෙක් වූ ජොන් ලෙනන් විසින් කරන ලද ප්‍රකාශයකි. ඔහු වරක් කියා සිටියේ බීට්ල්ස් ජේසුස් වහන්සේටත් වඩා ජනප්‍රිය බවකි. මෙම ප්‍රකාශය ලොව විශාල ආන්දෝලනයක් කල අතර පසුව ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීමට පවා ඔවුනට සිදුවිය (බලන්න). එමෙන්ම බොහෝ විචාරකයින් ගේ සමකාලීන මතය වූයේ ඔවුන් එවකට සිටි ජනාධිපතිවරුන්ටත් වඩා ජනප්‍රිය වූ බවකි. කෙසේ වුවද ජනප්‍රියතාව යම් සංගීතාඥයෙක්ගේ නිපුණතාව මණින හොදම මිනුමක් නොවන වගට බිට්ල්ස් හොඳ උදාහරණයක් වෙයි. දෘෂ්ඨිවාදී කෙතරම් දුප්පත්වුව ද බිට්ල්ස්ගේ ජනප්‍රියතාවයට ඔවුන් විසින් සිය ගීතවල රැකගත් විශිෂ්ඨ ගීතවත් බව හේතු වූ බවට සැක නැත.

බිට්ල්ස් නිර්මාණය කරන ලද සමාජ, දේශපාලනික හා සංස්කෘතික පසුබිම අපි ඉහතින් සඳහන් කල අතර එම යුගයේ ප්‍රකාශකයා විමට බිට්ල්ස් ගායක කණ්ඩායමට හැකි වුව ද යන්න අප මෙතැන් පටන් සාකච්ඡා කරමු.
රොක් සංගීතය යනු සමාජ ව්‍යාපාරයක්, ජිවන ශෛලියක් හා සංස්කෘතියක් ද බොහෝ කොටම දෘෂ්ධිවාදයක් ද වන බව අප මුල් නිර්වචනයේ දී සාකච්ඡා කලෙමු. එමෙන් ම රොක් සංගීතය එයටම අවේණික විප්ලවිය, අරගලකාරී දේශපාලනික ප්‍රකාශයක් ද වන බව කලින් සඳහන් කල ටවුන්ෂෙඩ් නම් රොක් විචාරකයා සදහන් කරයි. ‍එමෙන් ම ස්කැරුෆි සඳහන් කරන්නේ; “මුලික ‍රොක් පරාමිතින්, නිවැරදි හෝ වැරදි යන ආචාර ධාර්මික නිශ්චයන් පසෙක ලු විට, අවශ්‍යයෙන් ම මනෝ විද්‍යාත්මක පසුබිමක් සහිත අඛ්‍යානමය, සංස්ථා විරෝධී උපහාසය, දේශපාලනික ප්‍රතිශෝධනය, මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය හා මරණ ආශ්‍රය හා සුසංවාදී තේමා සහිතය" යන්නය.

බිට්ල්ස් ලොව ජනප්‍රිය ම හා ශ්‍රේෂ්ඨතම රොක් සංගීත කණ්ඩායම යැයි කියන බො‍හෝ විචාරකයන් ‍එසේ කියනු ලබන්නේ බිට්ල්ස් සත්‍යවාදී ලෙස ම එම සංගීත සංස්කෘතිය හා අනන්‍ය වූ නිසා නොව ඔවුන්ගේ වාණිජ ජනප්‍රියතාවයෙන් අන්ධ වී බව ඉහත දැක් වූ ස්කැරුෆි තව දුරටත් පෙන්වා දෙයි. බිට්ල්ස්හි ජනප්‍රියතාවය කොතරම් ඉහල තලයක තිබේද යත් විකිපීඩියාවට අනුව ගත්විට බිට්ල්ස් අද දක්වා අලෙවි කල ඇල්බමයන් සාපේක්‍ෂව ආසන්න වශයෙන් බිලියනකි.

ඔවුන්ගේ ජනප්‍රියත්වය, තවත් අතකින්, එවකට ජනප්‍රිය වූ ‘බිට්ල් මේනියා’ (Beatlemania) යන තත්වය සමඟ ද ගැට ගැසී තිබිණි. බිට්ල්මේනියා යනු බිට්ල්ස් ගායක කණ්ඩායමේ අතිශය ජනප්‍රියතාවය නිසා සමකාලීන තරණ පරපුර අතර පැතිර ගිය උන්මාදී සමාජ සංස්කෘතික මෙන්ම වෙළඳපල අවකාශයයි. මෙම වචනය 1960 ගණන්වලදී සංගීත රසිකයින් විශේෂයෙන් ම තරුණ ගැහැණු ළමුන්, බිට්ල්ස් ජනප්‍රියත්වයේ හිණී පෙත්තේ සිටින යුගයේ, ඔවුන්ගේ ගීත හා පොදුවේ එම සාමාජිකයින්හට දැක් වූ අධිකතර ප්‍රේක්‍ෂක උන්මාදය සඳහා යොදන කෙටි නමකි. බීට්ල්ස් (විශේෂිත නාමය) හා මේනියා (උන්මාද - පිස්සුව) යන උපසර්ගය එකතුවෙන් ජනිත වූ මෙම නාම පදය මුලින්ම භාවිතා කලේ 1963 වසරේ ඇන්ඩි ලෝතියාන් (Andy Lothian) නම් ස්කොට්ලන්ත ජාතික සංගීත නිෂ්පාදකයා විසිනි. මෙය කොතරම් සුවිශේෂි ද යත් සංගීත රසිකයින් විසින් උන්මාදීව පැවැත්වු ඝෝෂාව නිසා බිට්ල්ස් සහභාගී වු බොහෝ සංදර්ශන වලදී ඔවුන්ගේ හඬ නැසී යන තරම් විය. එසේ වුවත් මෙම බිට්ල්මේනියාව ඇත්ත වශයෙන් ම සමකාලීන වාණිජ සංස්කෘතික නිර්මිතයක් ලෙස පැවති බිට්ල්ස් රසිකයින් විසින් දැක් වූ උන්මාදනීය ප්‍රතිචාරය නොගැඹුරු රැල්ලක් මිස එය ඔවුන්ගේ සංගීතමය නිපුණතාවය හා නිර්මාණශීලීත්වය පදනම් කර ගත් යමක් නොවීය. බිට්ල්ස්ට වඩා අර්ථවත් හා සමකාලීන සමාජ යථාර්තයන් නිරූපිත ගීත ගායනා කල සංගීත කණ්ඩායම් බොහෝමයකට මෙවැනි රසික ප්‍රතිචාරයක් නොවිම වාණිජ රසිකයින්ගේ අන්ධවිමේ ප්‍රතිඵලයක් විනා අන් යමක් නොවේ.

මීට පෙර සඳහන් කල ලෙසම බිට්ල්ස් ප්‍රථමයෙන්ම කලේ සැබෑ රොක් සංගීතකරුවන්ගේ බාහිර ස්වරුපය වෙනස් කරමින් වඩා මධ්‍ය පන්තිකයන්ට දිරවා ගත හැකි පරිදි වසඟකාරි සිනහවකට තම රූපය, බාහිර පෙනුම රූපාන්තරණය කිරීමයි. මෙම වේෂ නිරුපණය පිටුපස සිටියේ එක් අතකින් පවත්නා ධනේෂ්වරයට පක්‍ෂපාතී විරෝධාකල්පික රොක් සංස්කෘතිය තර්ජනයක් ලෙස දුටු අනෙක් අතින් සම්ප්‍රදායික වික්ටෝරියානු මත තවමත් තම හිස තුල පුරවා ගත් වැඩිහිටි වාණිජ මධ්‍යම පංතියි. කළු ජාතිකයන් තම ‍ඓතිහාසික වේදනාව කියා පෑමට යොදා ගත් වෛර සහගත, විරෝධා කල්පික, තියුණු රිද්මය වෙනුවට සරල රේඛීය සුමධුර බටහිර තණුවක්; රාගික නිග්‍රෝ ආකල්පය වෙනුවට හුරුබුහුටි ලමා-සිනහවක් වාණිජ වෙළඳ ප්‍රාග්ධනය විසින් කරළියට රැගෙන ආවේය. තර්ජනයක් රහිත එහෙත් යම් සමාජ-විවේචනයක් ද සහිතව කරළියට ආ මෙම ‘නව නිර්මාණය’ වාණිජ මධ්‍යම පංතියේ ‘වරදකාරී විංඥාණය’ වසා ගැනීමට ද උපකාරී විය.

කෙසේ වුව ද, සමකාලීන රොක් සංගීතඥයන් බොහොමයක් තම නිර්මාණ අභිබවා බිට්ල්ස්ගේ නිර්මාන වඩා ඉස්මත්තට පැමිණිම ගැන‍ බොහෝ විට පුදුම විය. එය ඔවුනට සිතා ගත හැකි වු කාරණයක් නොවුයේ බැලු බැල්මට ම ඔවුන් බිට්ල්ස් පරයායන නිර්මාණ ඒ වන විටත් කර තිබු බැවිණි. සම්ප්‍රදායික රොක් සංගීතකරුවන් ඊට දශකයකට පමණ පෙර වුව ද බිට්ල්ස්ට වඩා ඉතා අග්‍රගණය නිර්මාණ එලි දක්වා තිබුණි. කලින් සඳහන් කල ස්කැරුෆි සඳහන් කරන්නේ “බිට්ල්ස් සංගීත කණ්ඩායමේ ඇල්බමයක් විශාල ලෙස අලෙවි වුයේ ඒවා සරල ලෙස අලෙවි කල හැකි පරිදි තනා තිබු නිසා මිස ඔවුන් සතු වූ විශිෂ්ඨ සංගීත හැකියාව නිසා නොවේ. බිට්ල්ස් සතුව තාක්‍ෂණික නව සොයා ගැනීමක් වත්, නිර්මාණශිලී ගැඹුරක්වත් නොවීය. බිට්ල්ස් යනු මිනිත්තු තුනේ, පහසුවෙන් මතක තබා ගත හැකි ගීත රචනා කල, ඡායාරූප වලට ලස්සනට පෙනී සිටි නඩයක් විය. 1963 වසරේ දී ‘බිට්ල්මේනියා’ යන්න කවුරුන් හෝ සොයා ‍නොගත්තේ නම්, යමෙක් තම ජිවිතයෙන් විනාඩි පහක් බිට්ල්ස් නම් නොසලකා හැරිය යුතු තරමේ සංගීත කණ්ඩායම ගැන කියවීමට මිඩංගු නොකරනු ඇත.” යනුවෙනි.

කළු ජාතිකයන්ගේ පරායත්තාව හා පරාරෝපණයත් ධනවාදය විසින් සුදු ජාතික තරුණයන් තුල ජනිත තර තිබු ආතතිමය කාන්සාවත් ගැන යුරෝපීය මධ්‍යම පන්තිය නොදැන සිටියා නොවේ. ඇකඩමික ආකාරයටත්, සමාජීය ආකාරයකටත් ඔවුන් මේ සම්බන්ධව දැන සිටි අතර පශ්චාත් යුධ පරාරෝපණය සම්බන්ධයෙන් 1940 ගනන් වල සිට ම යුරෝපීය ඇකඩමියාව තුල බොහෝ අධ්‍යයනයන් මේ සම්බන්ධයෙන් කර තිබු අතර සාන්දෘෂ්ඨික වාදය ද ඉතා ප්‍රභලව යුරෝපය තුල ඉස්මතු ව තිබු කාලයයි මේ. නමුත් ඇකඩමික සවිඥාණකත්වය හා විරෝධය අබිභවා රොක් සංගීතකරුවන් ‘රොක්වලට අවේණික පාතාලමය ස්වරූපයකට’ පැවති රේඩියෝ හා එළිමහන් සංදර්ශනවල දී(alternative space(මෙම සංදර්ශන බොහෝ විට මත්ද්‍රව්‍ය සහිත නොදැමුණු තරුණයන්ගෙන් සැදි ‘විකල්පීය අවකාශයයි’) පවත්නා සමාජ සංස්ථාපනය ප්‍රභලව ප්‍රශ්න කල අතර එය සමාජය හෙල්ලුම්කන තරමට ප්‍රභල විය. මේ හේතු‍ව නිසා අරමුණු වශයෙන් ගත් විට අවශ්‍යයෙන්ම රොක් හා දේශපාලනය එකට කේන්ද්‍ර ගත විය. 1960 දශකයේ විරෝධාකල්පිකයන්ගේ ප්‍රධානම ප්‍රකාශන මෙවලම බවට පත් වුයේ මේ අයුරින් රොක් සංගීතයයි. තමාට හොදින් ම ඥාණනය කර ගත හැකි සමාජ ප්‍රපංචයක් ගැන ගොලුවතින් සිටි මධ්‍ය ම පන්තියට තම නිහඩතාව ගැන වරදකාරීත්වයක් තමන් තුලම තිබුණු අතර බිට්ල්ස් විසින් නිවෙස තුල සිරගතව සිටි මෙම මධ්‍ය ම පන්තියට නිවෙස් තුලම සිට තම විරෝධය රසවිදිය හැකි ‘අලුත් මඟක්’ සොයා දුන්නේ ය. ඒ තම සංගීතය නම් නිද්‍රාකාරකයයි (Tranquilizer). මෙමගින් තම විරෝධය ගෘහියමය, අන්තරාවර්තී, කිසිවකුට කරදරයක් නැති, තම ඇඟට ද වෙහෙසක් නැති හුදු සනීප මානසිකමය විරෝධයක්, මනස තුල විප්ලවියත්වයක් බවට ඌනනය කර ගැනීමට මධ්‍යම පන්තියට ඉවහල් වුවෝ බිට්ල්ස් ය. මේ කාරණාව නිසා ම ඇතැම් බිට්ල්ස් පදමාලා ඇකඩමික අධ්‍යයනයන් සඳහා ද යොදා ගත් අතර කිසිවිටක දැඩි අරගලකාරිත්වයක්, නොසන්සුන් බවක් හා අව්‍යාජ බවක් පල කල The Who, Velvet Underground හෝ Rolling Stones ගේ පදමාලාවලට මේ ‘ගරු කටයුතු සැලකිල්ල’ මධ්‍ය ම පන්තික බුද්ධිමතුන් අත්කර දුන්නේ නැත. මේ අනුව සමකාලීනව පැවති විරෝධය අරගලයක් බවට පත් කරනවා වෙනුවට Beatles කලේ එම විරෝධය වාණිජ වශයෙන් ලාභ උපරිම කර ගත හැකි ‘වි‍නෝදයක්’ ලෙසට ඌනනය කිරීමයි.

තව දුරටත් අධ්‍යයනය කිරිමේ දී පෙනී යන්නේ සමකාලීනව වර්ධනය වෙමින් පැවති Hippie සංස්කෘතිය හා ශිෂ්‍ය අරගලකාරිත්වය යන ප්‍රපංචයන්ට ද ඔවුන් සාවධාන නොවු බවකි. ශිෂ්‍ය අරගලකාරිත්වය සමඟ Bob Dylan ගේ ගීත අනන්‍ය වු අතර ඔවුන්ගේ අරගලකාරි තේමා Dylan ගේ ගීතවලට පසුබිම විය. එමෙන් ම හිපි සංස්කෘතික දේශපාලනය බොහෝ ලෙසම සමකාලීන Velvet හා The Who යන සංගීත කණ්ඩායම් වල තේමා විය. පසුව හිපි සංස්කෘතියේ සෘජු ගායක කණ්ඩායම් ලෙස Grateful Dead හා Jefferson Airplane වැනි රොක් හා Punk සංගීත කණ්ඩායම් මතුවන තුරුම එම සංස්කෘතීන්ගේ ප්‍රකාශකයා වුයේ විය යුතු පරිදි බිට්ල්ස් නොව ඔවුන් තරම් ලොව තුල ජනප්‍රිය නොවූ හා කිසිසේත්ම සමකාලීනව කිසිවෙක් දැන නොසිටි රොක් ඉතිහාසය තුල ලොව නිර්මානශිලී බවින් ශ්‍රේෂ්ඨතම රොක් ගායක කණ්ඩායමක් වු Velvet Underground ය.

මෙම The Who සහ Velvet Underground යන සංගීත කණ්ඩායම් දෙකම වියට්නාම යුද්ධය හා එය අතුරුඵල ලෙස ඇමෙරිකාව තුල ඇති වූ සමාජ විපර්යාසය, පරම්පරා ගැටුම, දේශපාලන ආතතිය, මත්ද්‍රව්‍ය සංස්කෘතිය හා සෘජුවම අනන්‍යවුවෝ වෙති. ධනවාදයේ අතුරුඵල ලෙස ඉතිරි වන පාතාලය හා එම ආර්ථිකය, මර්ධිත ලිංගිකත්වය, වාර්ගික බහිස්කරණය හා ආතතිය ඔවුන්ගේ සැම ගීතයකට දක්නට ලැබෙතත් මේ කිසිවක් (යාන්තමින් යුද්ධය හැරුණු කොට එය ද වාණිජමය පෙළඹවිමක් මත) බිට්ල්ස්ගේ ඓන්ද්‍රිය මාතෘකා නොවුවා පමණක් නොව ඔවුන් එම කළු, අදුරු පාතාල ගත ධනේෂ්වර බහිස්කරණය ගැන කිසිවක්ම දැන සිටියේ ද නැත.
නමුත් සමකාලීන හාඩ් රොක් (hard rock) හා සම්භාව්‍යය රොක් (classic rock) යන විශේෂයන් තම මත්ද්‍රව්‍යලෝලී, නපුරු සිහිනයන් ගෙන් පිරුණු, අධියතාර්ථවාදී අත්දැකීම් ප්‍රකාශණය සඳහා ප්‍රමාණවත් නොවේ යැයි සිතූ Velvet, ඉන්දියානු මන්ත්‍ර, අප්‍රිකානු ග්‍රොත්‍රික සංගීතය හා වෙනත් සංගීත විශේෂයන්ගේ (උදාහරණ ලෙස සම්භාව්‍ය සංගීතයේ) ආභාෂය ලබමින් විවිධ අත්හදා බැලීම් කිරීම දක්වා දුර දිග ගියේය. මේ අර්ථයෙන් ඔවුන් ලොව නිර්මාණශීලිම රොක් ගායක කණ්ඩායම බවට පත්විය.

ආධිපත්‍යධාරි ධනවාදය හා එහි දේශපාලන අධිකාරිත්වය කෙරෙහි දැක් වූ විරෝධාකල්පික, ප්‍රචන්ඩ, දෝෂාරෝපිත (accusatory) වදන් වලින් සන්නද්ධ යුධකාමී (militant) රොක් ගායනය වෙනුවට ලමා ගී සාහිත්‍යයක් රොක් සඳහා එකතු කල වුවෝ බිට්ල්ස් ය.

මී‍ටත් අමතරව, හිපි හා ශිෂ්‍ය දේශපාලනය සමඟ 1960 දශකයේ යුරෝපය තුල මතුව ආ තවත් වැදගත් ප්‍රවණතාවයක් වුයේ මත්ද්‍රව්‍ය හා තරුණ සංස්කෘතියත් ඒ හා බැඳුණු ලිංගික විමුක්තිය පිළිබඳ සංකල්පනාත් ය. ගායක කණ්ඩායම් තුලට ද මෙය ඉතා ප්‍රභල ලෙස දැණුනු අතර බොහෝ රොක් ගායකයන් විශාල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටියේ ය.එම තත්වය මාක්ස්වාදී හා සාංදෘෂ්ඨිකවාදී අවකාශය අර්ථ නිරූපනය කෙරෙන බව සැලකේ. මත්ද්‍රව්‍ය උන්මාදය නිසා බොහෝ ගායක ගායිකාවන් ඉතාම තරුණ වියේ දී අකාලයේ මරු වළඳ ගැනීම ද සංස්කෘතියක ලක්‍ෂණයක් ලෙස මතුව ආයේ ය. ලොව විශිෂ්ඨතම රොක් ගායකයන් මෙන්ම වාදකයන් ද වු Brain Jones, Tim Morrison, Jimi Handrix හා Cate Cobian මේ සඳහා හොඳ උදාහරණ වේ (ටවුන්ෂන්ගේ Changing the World: Rock 'n' Roll Culture & Ideology) . මත්ද්‍රව්‍ය බොහෝ විට තම මව්බිමෙන් ඈත්ව සිටි ඇමෙරිකානු යුධ භටයන් සඳහා තායිලන්තයෙන් හා අනෙකුත් පෙරදිග හා අප්‍රිකානු ‍ර‍ටවලින් ආනයනය කල අතර ඇමෙරිකානු සෙබලුන් අතර මෙය ඉතාම ප්‍රභලව පැතිර ගියේ ය. මත්ද්‍රව්‍ය හා බැඳුණු මරණ ආශ්‍රය (death drive) කුළු ගැන්විමේ පෙළඹුම් කාරකයක් ලෙස ද රොක් මේ යුගයේ දී හඳුනාගත හැකි විය. බිට්ල්ස් හි ගීත තුල හා භාවිතය තුල එවන් ගතිකයන් හා තේමාවන් රැදී නැත. ඔවුන්ගේ පදමාලා තුල ඇතැම් විට අඩංගුව පැවති විරෝධාකල්පිත, වාමවාදී, සංස්ථාපන විරෝධි දෘෂ්ඨිමය පෙළඹවිම් බොහෝ විට මෝස්තරමය ස්වභාවයකට වඩා දුර නොගියේ ය. ඔවුන්ගේ පුවත්පත් නිවේදන සම්බන්දයෙන් ද කිව යුත්තේ මෙයමයි. නමුත් ඔවුන්ගේ ජනප්‍රියත්වය හේතු කර ගෙන එම ආකල්ප සඳහා ලැබුණ ජනප්‍රියත්වය හා ප්‍රචාරය එම යුගයේ මතවාදය සකස්වීමේ දී ප්‍රභලව බලපෑ බව අප පිළිගත යුතුවේ. එමෙන් ම අද දවස තුල පවා එම යුගයේ මතවාද හා භාවිතාවන් සම්බන්ධව ඇති අතීතකාමී කුතුහලය (nostalgic curiocity) ජනනය කිරීම සඳහා එම ජනප්‍රියතාව ඇති කල බලපෑම මෙයින් අවතක්සේරු නොවේ. නමුත් යුගයේ තරුණ කො‍ටස්වල, ශිෂ්‍ය දේශපාලනයේ හා වාමවාදී බලවේගයන්ගේ, යුධ විරෝධී හිපියන්ගේ, ලිංගික නිදහස ප්‍රමුඛ කරගත් රැඩිකල් කොටස්වල මතවාද‍යන්ගේ සත්‍ය ප්‍රකාශකයා විමට බිට්ල්ස්ට නොහැකි වු බව මෙහි සඳහන් කල යුතුයි.

බිට්ල්ස් ගායක කණ්ඩායමේ ඉතාම කතාබහට හා ජනප්‍රියතාවයට පත් වූ කිසියම් රැඩිකල් බවක් අඩංගු යැයි හැගෙන පදමාලා කිහිපයක් සමකාලීන රොක් සංගීත කණ්ඩායම් වූ The Who, The Velvet Underground හා The Rolling Stones හි පදමාලා සමඟ මෙහි දී සංසන්දනය කෙරේ. සංගීත කණ්ඩායම් තම තමන්ට අවේණික අනන්‍යතා සහිතව ස්වකීය තේමාවක් ඉදිරිපත් කිරිම තුලින් තම සුවිශේෂි බව ගොඩ නගා ගත් බව සිහි කරමින් ම එම නිසාම යම් යම් සාන්ද්‍රශ්‍යයන් ඉදිරිපත් කිරිම එක්තරා දුරකට අසාධාරණ යැයි සිතිය හැකි වුවත්, එම සුවිශේෂී අනන්‍යතා අභිබවා යමින් සමකාලීන සමාජ අත්දැකිම් නිරූපණයෙ හි ලා මෙම කණ්ඩායම් වල දෘෂ්ඨිවාදය හා පොළඹවන සුළු බව මෙන්ම අරගලකාරිත්වය කොතරම් දුරකට මෙම පදමාලා තුල අන්තර්ගත ද යන්න හා එම ගායක කණ්ඩායම් කොතරම් දුරකට එම අන්තර්ගතයට හා දෘෂ්ඨිවාදයන්ට ඵෙන්ද්‍රිය ද යන්නත් මෙහීදී සලකා බලමු

මුලින් ම අප බිට්ල්ස්ගේ Love Me Do හා Hello Goodbye යන ස්ත්‍රීය හා ආදරය සම්බන්ධයෙන් වු ගීත දෙක හා Velvet Underground ගේ Venus in Furs (ලොම් හැඳි වීනස්) යන ගීතය හා විමසා බලමු.
මෙම සියලු ගීතවල මුල් ඉං ග්‍රීසි පදමාලා සඳහා නාමයේ ඇමුණුම් කර ඇති ලින්කය බලන්න.

Beatles ගේ Love Me Do (මට ආදරය කරන්න) ගීතයේ පද මාලාව ( අසන්න )
ආදරය, මට ආදරය කරන්න
ඔබ දන්නව මම ඔබට ආදරය කරන වග
මම හැම විටම සත්‍ය ගරුකයි
කරුණාකර මට ආදරය කරන්න
කාටහරි ආදරය කරන්න
කා‍ටහෝ ආදරය කරන්න
ආදරය, මට ......
රචනය - Lennon & McCartney
Love Me Do (1962) ඇල්බමයෙන්

බිට්ල්ස්ලාගේ Hello Goodbye (හලෝ ආයුබෝවන්) ගීතයේ පද මාලාව ( අසන්න )
ඔබ ඔව් කියයි
මම නැහැ කියයි
ඔබ නවතින්න කියයි
මම යන්න කියයි, යන්න, යන්න
ඕ නැහැ,
ඔබ සමුදෙන්න කියයි
මම ආරාධනා කරයි
හලෝ හලෝ
මම දන්නේ නැහැ
ඇයි සමුදෙන්න කියන්නේ
මම ඇයි ඉන්න කියන්නේ
මම ‘හායි’ කියයි
Magic Mistery Tour (1967) ඇල්බමයෙන්

මීලඟට පහත දැක‍්වෙන්නේ Velvet Underground ගායනා කල Venus in Furs (ලොම් ඇඳි වීනස්) නම් ගීතයේ පද මාලාවයි. ( අසන්න )

ලොම් හැඳි වීනස්
දිලිසෙන, දිලිසෙන හම් බුට් සපත්තු
ඉක්මනින් ඇවිදින ගැහැණු කෙල්ලක් කරුවලේ
සීනු හඬවා එයි, ඔබ සේවක
සමාව නොදෙන්න, පහර දෙන්න
කාරුණික ප්‍රියාව ඔහු හදවත සුවපත් කරන්න
විසිතුරු නගර ආලෝකයේ පහත් පව්
අද ගැල්විය යුතු විලවුන් හඹායයි
අර්මයින් සම් මහේශාක්‍ය ලෙස පොරවා
සෙවරින් ඔබ එනතුරු බලා සිටී
මට වෙහෙසයි, මට මහන්සියි
වසර දහයක් හෝ මට නිදාගත හැකියි
වෙනස් වෙනස් පාට සහිත කඳුලු
සිහින දහසක් මා අවදි කරයි
සිප ගන්න, දිලිසෙන, දිලිසෙන, දිලිසෙන
සම් සපත්තු අඳුරේම,
කසයේ දිව, ඔබ වෙනුවෙන් බලා සිටින
සම් පටිය, පහර දෙන්න
කාරුණික ප්‍රියාව, සුවපත් කරන්න ඔහු හදවත
සෙවරින්, සෙවරින් මදුව තෙපලන්න
සෙවරින්, නැමුණු ඔ‍බේ දන හිස් මත
කසයේ මිහිර විදින්න
සැහැල්ලුවෙන් නොදෙන ආදරය
කසයේ මිහිර විඳින්න
මා වෙනුවෙන් ආයචනා කරන්න
මට මහන්සිය, මට වෙහෙසයි
මට දහස් වසරක් ....

රචනය: Lou Reed හා John Cale
Velvet Underground හා Nico (1967) ඇල්බමයෙන්

බිට්ල්ස් විසින් රචිත ඉතාම ජනප්‍රියත්වයට පත් වූ (විශේෂයෙන් රේඩියෝ චැනල වල නිරන්තරව ප්‍රචාරය විමත් සමාන්‍යයෙන් බිට්ල්ස් කළමනාකරණය සැම විටම විශ්වාස කල ප්‍රචාරණයත් නිසා) ඉහත ගීත දෙකම ඔවුන්ගේ මුල් කාලීන ඇල්බමයන්ගෙන් උපුටා ගැනුන අතර ඒවා සරල ස්ත්‍රී-පුරුෂ රොමෑන්ටික ආදරය ගැන කතා කරන ගීත දෙකකි. හුදකලා පිරිමියෙක් විසින් ගැහැණියකට ඇගේ ආදරය ලබා දෙන ලෙස ආයාචනය කරන Love me do ගීතය ඉතාම මිහිරි, සරල සහ කන්ක‍ළු එකක් වේ. ආදරයේ දී සත්‍යවාදී බව මෙන් ම යමෙක් යමෙකුට ආදරය කල යුතු බව කියවෙන ස්වභාවයක් ද මේ තුල පවතී. කෙටි හා පුනරුක්තිය සහිත පදමාලාව ඉතාම පහසුවෙන් මතක තබා ගත හැකි අතර එය මෙම ගීතවල ජනප්‍රියත්වයට ද හේතු වුවාට සැක නැත. එමෙන් ම ඔවුන්ගේ Hello goodbye ගීතය ආදරය තුල ඇති ආතතිමය ස්වභාවය එහි ප්‍රතිවිරුද්ධතා සමගම ආදරය ගොඩනැගීම පිළිබදව ප්‍රතිශේධනාත්මක සංකේතීය බවක් ගීතයේ ගැබ්ව පවතී. ආදරයේ ප්‍රකාශනය හා විෂයෙහි අවිනිශ්චිත බව, අසන්නාට කියන්නාගේ ව්‍යුහයෙන් නොඇසීම වැනි කාරණා ද මෙම ගීතය තුලින් මතුකර ගත හැකි අතර ආත්ම ප්‍රකාශණයෙහි ලා ප්‍රථම ගීතයට වඩා සංකීර්ණ බවක් මෙම ගීතය තුල සටහන් වී ඇති බව කිව හැකි වුවත් මෙම ගීත ද්විත්වය ඉහත දැක් වු ‘Venus in Furs’ යන ගීතය හා සසඳා බැලීමේ දී ඉතාම නොපැසුණු සරල බවක් සමකාලීන සමාජ විපරිණාමයේ සංකීර්ණත්වයට සාපේක්‍ෂව දැක ගත හැකිය.

මේ යුරෝපය තුල පශ්චාත් කාර්මික වාණිජ ප්‍රාග්ධනය විසින් සමාජ ව්‍යුහයන් නැවත සකස් කිරිම ආරම්භ කල අවධියයි. නිෂ්පාදන ආර්ථිකය, සේවා ආර්ථිකය ලෙසට පොලා පැනීම ආරම්භ වන්නේ මේ අවස්ථාවේ දීය. දැවැන්ත යුධ අත්දැකීම් රැසකට හා වියට්නාම යුද්ධය යුරෝපය තුල වෙනස් සමාජ පරාමිතීන් සඳහා සමාජ ඉඩකඩ විවර කල යුගයයි. යුරෝපීය සමාජය හා ඇකඩමියාව තුල නව වටිනාකම් ආරෝපණය කර ගත්, සංස්ථාපනයන් දෙස අවංඥා සහගතව බැලීමට හුරු වු යුගයයි. කෙටියෙන් කිවහොත් සමාජ මතවාදය ප්‍රංශ සාන්ද්‍රෘෂධිකවාදය හා ජර්මන් ප්‍රකාශණවාදය විසින් තීරණය කල යුගයයි. සමාජ විපරිණාමය හා එයින් ජනනය කල ආතතිය තව දුරටත් යතාර්ථවාදි ක්‍රමයකට තේරුම් ගැනීමට නොහැකි වු යුගයයි. මනුෂ්‍ය විෂය වෙන කවරදාකටත් වඩා අර්බුදකාරීත්වයකට ගමන් කල අවධියයි.

Velvet හා අප පසුව සලකා බලන The Who ගායක කණ්ඩායමේ ගීත යනු මෙම යුගය තුල නාස්තිකවාදී, සංශයවාදී හා විනාශකාරී (nihilistic, sceptistic and subversive) බව නිරූපණය කල ගීත වේ. පවත්නා අධිපති සාන්ද්‍රෘෂ්ධිකවාදය හා ප්‍රකාශණවාදය අබිභවා යෑමට Velvet ගත් සම්භාව්‍යවාදී උත්සහය අප ඉහත ගීතය තුලින් තෙරුම් ගැනීමට උත්සාහ කරමු.

‘ලොම් හැඳි විනස්’ ගීතයේ දී Velvet ඉතාම ලාබාල (ලොලිටාකරණය වූ) වසඟකාරී, විපරිතකාමී (pervert) පරපීඩක ගණිකාවක්ගේ රූපකය වෙත අප ඇස ගෙන යයි. විපරිත බව හා පරපීඩිත බව හැඟවුම්කරණය කරන සපත්තු (බුට්) දිලිසෙන හම් පටි, (ලිංගික සිනමාව තුල වර්තමාන fetish යන විශේෂයට අයිති) පරපීඩක ලෙස පහරදීම හා එය සුවපත් කිරිමේ shock treatment එකක් ලෙස පාවිච්චි කිරිම හා ගැහැණු පිරිමි ‍රොමැන්ටික ආදරය වෙනුවට වසඟකාරි, විනාශකාරී, පරපීඩක සැඩෝමැචෝසටික අවකාශයක් තුලින් තම නිර්මාණය සමාජයට ලිබිඩෝමය මුදාහැරිමක් ලෙස, බිට්ල්ස්ගේ (හා තවත් අයගේ) සර්ව සුභවාදයට ප්‍රතිපක්‍ෂව අශුභවාදි ආකාරයකින් නිරාවරණය කරයි. සියල්ලටම කිරිමට බල කෙරෙන පාපය හා එම පාප ශෝධකය ලෙස ගැහැණිය විෂය තුල ජනනය කරන ලිබිඩෝමය මුදාහැරීම, එනිසාම ඇතිවන මහන්සිය, ශෝකය හා ආතතිය සමඟ නිරුපණය කරන සදාකාලික නින්ද හා මෙලොවින් ස්වප්නමය ලෙස පලායාමට ඇති ආසාව නිරූපනය කරන,
‘වසර දහසක් හෝ මට නිදාගත හැකියි
වෙනස් වෙනස් පාට කඳුලු
සිහින දහසක් මා අවදි කරයි.’
යන පදමාලාව බිට්ල්ගේ සරල ප්‍රකාශණාත්මක බවට සාපේක්‍ෂව කොතරම් විශිෂ්ඨ දැයි බලන්න. මායාමය වසඟකාරි ගැහැණියට ඇතිවන අවිඥාණික බැඳීම එයින් පලා යා නොහැකි බව එහි තාවකාලික මිහිර හා පාපශෝධනය ලෙස ඇ‍‍‍ගේ භූමිකාව කිසිලෙසකින් හෝ බිට්ල්ස් සමඟ සංසන්දනය කල හැකිද? මෙම ගීතය මෙන්ම Velvet ගේ අනෙකුත් ගීත වල ද අධිපති විෂම ලිංගිකත්වය වෙනුවට අධියථාර්තවාදී සමලිංගික, ලෙස්බියානු, සංක්‍රාන්ති ලිංගික (trans-sexual) සැඩෝමැචෝසටික (sadomachostic) පරපීඩක හා ස්වපීඩක පාතාලමය ස්වභාවය ඉතා සම්භාව්‍ය අකාරයට නිරූපණය වී ඇත. එමෙන් ම ඔවුන්ගේ ගීතවල ඇති කාව්‍යමය බව අන් කිසිදු රොක් ගායක කණ්ඩායමක අන්තර්ගත නොවන වග ද මෙහි දී සදහන් කල යුතුය. ඔවුන් සමකාලීන සමාජ ආතතිය හා විනාශකාරිත්වය අධියථාර්තවාදී ආකාරයකට වීර කාව්‍ය ලෙස නිරූපනය කලෝ වෙති. ඔවුන්ගේ ගීත කිසිම විටක සෞන්දර්යාත්මක ගීත නොවේ. මන්දයත් මත්ද්‍රව්‍ය මුලික කරගත් සවප්නමය තරුණ ලෝකය තව දුරටත් සෞන්දර්යාත්මක හෝ යථාර්තවාදී එකක් නොවිමය.

ආදරය සම්බන්ධයෙන් Velvet සමඟම බිට්ල්ස් හා සමකාලීනව පැවති Rolling Stones ගායක කණ්ඩායමේ ඇතැම් ගීත ද නිසැකවම බිට්ල්ස්හි ගීතවලට වඩා පුළුල් තේමාවන් කතා කල සංකීර්ණතාවයක් පාදක කර ගත් ඒවා විය. ඔවුන්ගේ I can get no (satisfaction) ගීතය මෙයට හොඳ උදාහරණයකි. යුද්ධය, ද්‍රරිද්‍රතාව හෝ අයුක්තිය යන කිසිවක් ගැබ් නොවුනු මෙම ගීතයේ ස්පර්ශීය බව, Mick Jagger (මෙම ගායක කණ්ඩායමේ ප්‍රධාන ගායකයා) ගේ රළු, ප්‍රචන්ඩ හා විප්ලවීය ගුණය හා මුසු වු විට අන් කිසිදු ගීතයකටත් වඩා නැවුම් බවක් හා අවංක බවත් අද දිනටත් ජනනය කරයි. තරුණයින් ලෙස බලාපොරොත්තු රහිත බව, පැරණි පරම්පරාවේ වංචනික හා කුහක බවට දක්වන විරෝධය, මර්ධිත ලිංගිකත්වය හා පරිකල්පනය කිරිමට නොහැකි බව සම්ප්‍රදාය විරෝධී ආකාරයකට නිරූපණය කරන මෙම ගීතය මධ්‍ය පන්තික සමාජ සංස්ථාවට එල්ල කරන ලද මරු පහරකි. එබඳු වු එකඳු ගීතයක් හෝ නිර්මාණය කිරිමට හා නිරූපණය කිරිමට ස්වකීය සමස්ත ජිව කාලය තුලම බිට්ල්ස් ට කිසිදා හැකි නොවිය.

තම පරම්පරාව නිවැරදි ආකාරයට නිරූපණය කිරිමට ඉතාම රැඩිකල් රොක් ගායක කණ්ඩායමක් වු The Who සමත් වුවේය. ඔවුන්ගේ My Generation ගීතය සලකා බැලුවිට තම පරම්පරාව සම්බන්ධයෙන් ඔවුන් තුල වූ හැඟිම ඉතාම නිර්ව්‍යාජ ආකාරයට ප්‍රදර්ශනය කල බව අපට දැක්විය හැකිය. තම පරම්පරාවේ නැගිටීම වෙනුවෙන් ඔවුන් දිගින් දිගටම තම ධජය ලෙලවිය. මෙහි මුඛ්‍ය උදාහරණ දෙක නම් ඉහත සදහන් My Generation (1968) හා We won’t get ‍fooled again (1971) යන ගීත ද්විත්වයයි. ඔවුන්ගේ My Generation ඇල්බමයෙහි හි එන “People try to put us down, talking about my generaion” ගීතය තුලින් තම පරම්පරාව යටපත් කිරිමට හා හෙලා දැකීමට තමාට පුර්ව පරම්පරාව උත්සහ කරන ආකාරය ඉතාම ප්‍රගතිශීලි දෘෂ්ඨියක් සහිතව එහෙත් යම් ඉච්ඡාභංගත්වයක් ද සහිතව නිරූපනය කරයි. ඔවුන් නිසැකවම සමකාලීන පරම්පරා ගැටුම තුල තමන්ගේ පාර්ශවය වෙනුවෙන් කොන්දේසි විරහිත පෙනී සිටීමක් කල අතර ඔවුන් තම පරම්පරාවේ තත් රූපය ප්‍රකාශ මාන කල සෘජු නියෝජිතයින් වුහ. මෙවන් පරිණත බවක් ප්‍රකාශනවාදි බවක් හෝ නියෝජනයක් බිට්ල්ස් අතින් කිසි දා එම බලාපොරොත්තු විරහිත තම පරම්පරාවට සිදු වී නැත.

සමාජ යථාර්තය සමඟ දෘෂ්ඨිවාදි පොරබැදිම කොතරම් සජීවි ව, තියුණුව සමකාලීන අනෙකුත් රොක් ගායක කණ්ඩායම් කලේ ද යන්නට හොඳම උදාහරණය Velvet Underground හි Sunday Morning යන ගීතයයි. අපි එම ගීතය බිට්ල්ස්ගේ ‘A Hard Days’ Night යන ගීතය සසඳා බලමු. එවිට දිනපතා ජිවිතය සමඟ ඔවුන් දැක් වු දෘෂ්ඨිවාදී සම්බන්ධය එළිදරව් කර ගැනීමට අපට හැකි වේ.

A Hard Day’s Night (කටුක වූ දිනයක රාත්‍රියයි) යන ගීතයේ පදමාලාව (අසන්න)
වෙ‍හෙසකර දිනයක රාත්‍රිය යි
සුනඛයෙක් සේ වැඩකරමින් සිටියෙමි
වෙහෙසකර දිනයක රාත්‍රිය යි
ලී ‍කොටයක් මෙන් මා නිදාගත යුතුයි.
එසේ වුවත් මා ආපසු ඔබ ලඟ
බව කරනා දේ දුටුවිට
මා නැවතත් පෙර පරිදිම සුවෙනි,
දිනය පුරා මා වෙහෙසෙන අයුරු ඔබ දනී,
ඔබ වෙනුවෙන් දේ ගැනීමට මුදල්
ඇසුමත් වටීවි ඔබ කියනා විට
ඔබ මට සියල්ල සපයතැයි කියා
මොන එහෙකට මට දුක්විය යුතුවෙද
ඔබ පමණක් මා හිමිකර ගත් විට
ඔබ දනිමි මා සුවෙන් යැයි කියා.
සියල්ල සතුටින් මා පවසන විට
තදින් ඔබ මා වැළඳ මා පවසන විට
තදින්, තදින් ඔව්,
වෙහෙස කර දිනයක රාත්‍රිය යි
දිනය පුරා මා වෙහෙසෙන අයුරු ඔබ දනී
(A Hard Day’s Night- 1964 ඇල්බයෙන්)

බිට්ල්ස් ස්වකීය A Hard Day's a Night නම් ගීතය තුලින් දිනයක් පුරා වෙහෙසකර ලෙස වැඩ කිරීමෙන් ඇතිවන තෙහෙට්ටුවත් එම නිසාම නිදා ගැනීමට ඇති ආශාවත් තුලින් කාර්මික සාමාජයේ නිෂ්පාදන ඒකාකාරිත්වය තුලින් මිනිසා තෙහෙට්ටු කිරීමත් එම නිසාම මිනිසාගේ පරාරෝපණයත්, නිෂ්පාදන දැවැන්තකරණය ඉදිරියේ ඔහුගේ කුඩා බවත් (belittle) මේ සියල්ලට ප්‍රතිපක්‍ෂව ඔහු සුවපත් කිරීමට 'නිවස' කරා ආපසු පැමිණීමෙන් ලබාගත හැකි මෝක්‍ෂයත් ප්‍රකට කරවයි. ඔහුගේ සුවපත් වීම පරිපූර්ණ වන්නේ ඇය ඇයට අවශ්‍ය සියලු දේ ගැනීමට මුදල් ඔහු උපයනවායයි ඇසූ මොහොතේය. ඇය සතුටු කිරීමෙන් ඔහු ලබන තෘප්තිය ගීතයට නැගීමේ වරදක් නැතත්,
'සියල්ල සතුටින් මා නිවසෙහි විට
තදින් ඔබ වැළඳ මා නිවසෙහි විට
තදින්, තදින් 'ඔව්'
යන ඉහත ගී ඛණ්ඩය තුලින් ගැහැණිය සමඟ නිවසෙහි සිට සියල්ල අවසන් කල හැකි බවත් එම තෘප්තිය පවුල් ගත කිරීමෙන් තමා විඳවන, තමා පෙලෙන ආර්ථික හා දේශපාලන යතාර්ථයත් කෙරෙහි මෙම තේමාව දිගු නොකිරීමට බිට්ල්ස් වග බලා ගනී. ඔහුගේ තෘප්තිය ඇගේ වචනය අබිභවා සමාජීය කිරීමේ ‍ ඓතිහාසික වගකීම බිට්ල්ස් මඟහැර ඇති සෙයකි.

එසේ වුවද Velvet Underground ගායක කණ්ඩායමේ Sunday Morning ගීතය කොතරම් ව්‍යක්ත හා අරුත්බර දැයි පහත ගී පදමාලාව දෙස බැලීමෙන් ඔබට ඒත්තු ගැන්වෙනු ඇත.

Sunday Morning (ඉරිදා උදෑසන) යන ගීතයේ පද මාලාව (අසන්න)
ඉරිදා උදෑසනයි, පාන්දරම තුති කරන්න
මට ඇත්තේ විරාමයක් නැති හැඟුමක්
උදේ පාන්දරම, ඉරිදා උදෑසන
සමීපවම පිටුපස ඇති
ගෙවුණු වසර ගනනක් වේ
බලාගෙනයි, ඔබ පිටුපස ඇති ලෝකය
ඒ වුනාට, ඔබ ලඟ ඇති කවුරුන් හෝ
'එහි ඇති කිසිවක්ම නැතැයි' කියයි
සෑම විටම
ඉරිදා උදෑසනයි, මම ඇඳ වැටෙමින්
මට තිබේ හැඟීමක්, මම දැනගත යුතු
නැතැයි කියා
හිමිදිරි පාන්දර, ඉරිදා උදෑසන
වැඩි ඈතක එහෙම නොවෙයි
ඔබ පසු කල මේ මාවත
මට තිබේ හැඟීමක්,
මම දැනගත යුතු
නැතැයි කියා
හිමිදිරි පාන්දර, ඉරිදා උදෑසන
වැඩි ඈතක එහෙම නොවෙයි
ඔබ පසු කල මේ මාවත
බලා ගෙනයි, ඔබ පිටුපස ඇති ලෝකය
ඒ වුනාට ඔබ ලඟ ඇති කවුරුන්හෝ
'එහි ඇති කිසිවක්ම නැතැයි' කියයි
බලාගෙනයි ඔබ පිටුපස ඇති ලෝකය
(Velvet Underground and Nico-1967 ඇල්බමයෙන්)
රචනය -Lou Reed හා John Cale

ඔවුන් ස්වකීය ගීතය ආරම්භ කරන්නේ ඉරිදා උදෑසනෙණි. බටහිර ක්‍රිස්තියානි සන්දර්භය තුල ඉරිදා, දිනය ආගමික මෙහෙයක් අතින් ගත්තත් යම් සුවිශේෂිත්වයක් දරයි. දිනයට ස්තුති කර ගීතය පටන් ගන්නා ඔවුන් එය සම්බන්ධ කරන්නේ තම නිමක් කොණක් නැති ශූන්‍ය, අවිනිශ්චිත මෙන්ම හැඟවුම් කරණය නොවූ (unsignified) නාස්තිකාරී (Wasted) බවටයි. ඔබ ගෙවා දැමූ නිශ්චිත අරමුණකින් අර්ථවත් නොකල වසර ගණනක කාලයත්, ඔබ සංවේදී නැති තමා පිටුපස ඇති, වහා සැලකිල්ලට භාජනය විය යුතු ලෝකයත්, එම ලෝකය සමඟ විෂය මූලිකව සම්බන්ධවීමට, අනුභූතිමය ලෙස විෂය බද්ධව එහි ඇති අසාධාරණය, අසමානතාව හා වේදනාව ගැන සංවේදී වීමට හා වෙනස් කිරීමට යමෙක් ඒ දෙස බලන විටම තවත් යමෙක්, 'ඒ තුල කිසිවක්ම නැතැයි' යන නාස්තික මෙන්ම නොසැලකිලිමත් බවක් පළ කිරීමට Velvet දක්වන විරෝධය මෙම ගීතය පුරාවට ගැබ්ව පවතී. මිනිසුන් තුල ඇති දෘෂ්ඨිවාදයන් විසින් හෞතික ලෝකයෙහි ඇති යථාර්ථය අමතක කරවීමට ඇති පෙළඹුම,
'ඉරිදා උදෑසනයි, මම ඇද වැටෙමින්
මට තිබේ හැඟීමක්, මම දැනගත යුතු නැතැයි කියා'.
යන බාර බාහිර ලෝකය පිළිබඳව කියවෙන සංශයවාදී ශූන්‍යතා ප්‍රකාශයෙන් ඔවුන් මොනවට පිළිඹිබු කර ඇත. යතාර්ථය පය හැපෙන දුරින් ඇති බව Velvet අපට මතක් කර දෙයි.
'වැඩි ඈතක එහෙම නොවෙයි
ඔබ පසු කල මේ මාවත'.
යතාර්ථය කෙරෙන් විෂය මෑත් කිරීමට, නිවසට ගෙනවිත් නිද්‍රාකරණය කිරීමට, වීදියේ ඇති සත්‍යය ගැබ් වූ සැබෑ ලෝකය මනසින් ගොඩනගන පරිකල්පනයෙන් වසා දැමීමට එරෙහි වන Velvet ගේ මෙම ගීතය ආගමික මිත්‍යාව මෙන්ම දෘෂ්ඨිවාදී පාරභෞතිකයන් මෙන්ම යතාර්තයෙන් පලායෑමට විෂය තුල ඇති කැමැත්ත සහසම්බන්ද ප්‍රතිපක්‍ෂමය ආකාරයකට නිරූපනය කළ ලොව ඉතාම විශිෂ්ඨ ගණයේ රොක් ගීයක් වේ. ගීතය තුල ඇති සම්භාව්‍යමය, ව්‍යක්ත බව මෙන්ම දෘෂ්ඨිවාදී පොහොසත් බවත් මිනිසා නිවස තුලට ගාල් කරමින් ඒ තුල ගැහැණිය ගේ උකුලේ විමුක්තිය සොයන්නට උඩ ගෙඩි දෙන මධ්‍ය පංතික දුක් ගීයට වඩා කොතරම් පොහොසත් දැයි ඔබට වැටහෙනවා ඇත.

බිට්ල්ස්ගේ තවත් ජනප්‍රිය ගීතයක් වන 'Let It Be' (එසේ වුවා වේ) ගීතය Velvet Underground ගේ Femme Fatale (දෛව ස්ත්‍රීය) ගීතය සමග මීලඟට අප සලකා බලමු.

බිට්ල්ස් හි Let It Be යන ගීතයේ පරිවර්තනය (අසන්න)
කරදරයක මා සිටිනා විට
මේරි මාතාව මා අසලට ඒ.
ප්‍රඥාවේ වදන් තෙපලමින්, එසේ වූවාවේ,
මේ අදුරු පැයේ දී
මා අබියස ඈ සිටගෙන සිටීවි.
ප්‍රඥාවේ වදන් තෙපලමින්, එසේ වූවා වේ.
එසේ වූවා වේ, එසේ වූවා වේ.
ප්‍රඥාවේ වදන්
සිත් බිදුන මිනිසුන්, ලොව එකඟව ජීවත් වී
තිබේවි පිළිතුරක් , එසේ වූවාවේ.
වෙන් වුනත් ඔවුන් ඇතැම්විට, තවදුරටත්
වාරයක් තිබේවි, තිබේවි පිළිතුරක්, එසේ වූවා වේ.
රාත්‍රිය වලාකුලෙන් බර වූ විට
තවදුරටත් මා මත දිලෙනා එළියක් වී
මා හෙට වන තුරු ජීවත්වී, එසේ වූ වාවේ.
සංගීතයේ හඬට මා අවදිව
මේරී මාතාව මා අසලට ඒ
ප්‍රඥාවේ වදන් තෙපලමින්, එසේ වූවාවේ,
(බිට්ල්ස් ගායක කණ්ඩා‍යමේ Let It Be- 1987 ඇල්බමයෙන්)

Let It Be ගීතය ආරම්භ වන්නේ ආගමික මුහුණුවරක් සහිතව මේරී මාතාවට කරන වන්දනීය මෙන්ම තමා පරාරෝපණයමය ලෙස එකඟතාවයකින් යුක්තව කරන නිරීක්‍ෂණයකිනි. අප මුලින් සඳහන් කල ධනේෂ්වර නිෂ්පාදනයේ අතුරුඵලයක් ලෙසින් පුද්ගල පරාරෝපනය හා හුදකලාභාවය මෙම ගීතය තුලින් බිට්ල්ස් මතු කළ ද එය පෙරළා ආගමික හැඟවුම්කරණයක් සමඟ බද්ධ කිරීම ගීතයේ විෂය මූලික අර්බුදයයි. කථකයා කරදරයක සිටින විට ප්‍රඥාවේ වඳන් තෙපලමින් එන මේරී මාතාව ඔහු දැන් ගත කරන අදුරු පැයේ දී ඔහු අබියස සිටගෙන සිටී. ‘එය එසේ වූවාවේ’, යනුවෙන් කියන බිට්ල්ස් එම ආගමික තෘප්තිමත් බවින් මිදී මිනිසුන් විසින් තම ලෝකය නිර්මාණය කර ගැනීමටත් එම ලෝකය දෙස සබුද්ධික හා භෞතිකවාදී බවකින් (rationalistic) බලා එයට මැදිහත් විය යුතු ආකාරයත් ගැන කිසිදු සඳහනක් නොකරයි. කෙසේ වුවත් සිත් බිඳුණ, අපේක්‍ෂා භංගත්වයට පත්වූ මිනිසුන්ට බලාපොරොත්තුවේ එළියක් 'තිබේවි පිළිතුරක්' යන වැකියෙන් ජනනය කිරීමත් හෙට දිනයේ යම් ආලෝකයක් මතුවිය යැකි බවට කරන ඉඟියකුත් නිසා ගීතයේ සප්‍රාමාණික බව මෙන්ම සජීවී බව ද රැදී තිබෙන බව කිව යුතුය.

Velvet Underground ගේ “දෛව ස්ත්‍රීය” ගීතයේ පරිවර්තනය (අසන්න)
ඇය එනවා ඔන්න, ඔබ ප්‍රවේශමෙන් පය තැබුවොත් හොඳයි
ඇය ඔබ හඳවත දෙපළු කරයි, එය ඇත්තයි
හිතා ගන්න අපහසු නැහැ
බොරුපාට ඇගේ ඇස් දෙස බැලු විට
ඈ ඔබව ගොඩ නඟයි
ඔබව විනාශ කිරීමට
කෝනංගියා, මොකද

හැමෝම දන්න නිසා (ඈ දෛව ස්ත්‍රීයයි)
ඔබ සතු‍ටු කිරීමට ඈ කරනා දේ (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ විහිළුවක්ය (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ ඔබව මුලා කරයි (ඈ දෛව ස්ත්‍රීයයි)

බලන්න ඈ පිය නඟනා හැටි
අසන්න ඈ කතා කරන හඬ
ඔබගේ නම ඇගේ පොතේ සටහන් ව ඇත
බලන්න ඔබේ අංකය 37 නේද?
ඈ සිනා වන්නේ ඔබව රැවීමයි
කෝනංගියා
පොඩි කොල්ලෝ
ඈ එන්නේ මහ පාරෙන්
ඔබ පටන් ගන්න පෙරම
ඔබ තලා දමයි

ඈ ඔබව මොඩයෙක් කරයි
හැමෝම දන්න නිසා (ඈ දෛව ස්ත්‍රීයයි)
ඔබ සතු‍ටු කිරීමට ඈ කරනා දේ (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ විහිළුවක්ය (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ ඔබව මුලා කරයි (ඈ දෛව ස්ත්‍රීයයි)
(Velvet Underground ගේ ‘Velvet Underground and Nico’ (1967) ඇල්බමයෙන්)

නමුත් මේරී මාතාව වෙනුවට ස්වයං පීඩක හා පරපීඩක අර්ථයෙන් සමකාලීනව විපරීත ලිංගික යතාර්ථයන් මෙන්ම ගැහැණියකගේ ෆැන්ටසිය (fantasy) දරා සිටීම තුල එම වස්තුවට ඇති සවිඥානයික යටත් වීම (සාමාන්‍යයෙන් මෙම යටත් වීම අවිඥාණයිකයි) ප්‍රකට කරන තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස Famme Fatale නොහොත් දෛවය ස්ත්‍රීය ගීතය හදුන්වා දිය හැක. ඇයගේ වසඟකාරී පරපීඩකත්වය භාවශෝධනයක් ලෙස (cathartic) මතුව ඒ. එය කලින් ගීතයේ මෙන් මාතෘමය කරුණාවක් හෝ ප්‍රඥාවක් දරා ගෙන නොවේ. පසු නූතන මොහොත තුල හමුවන්නේ මිනිස් ශරීරයයි. ඒනම් 'යථ' යි. ඔබගේ ආශාව ගොඩ නගන ඇය එම ආශාවේ වස්තුව හමුවීමට සැලැස්වීමෙන් එම ආශාව දරා සිටින විෂය මරා දමයි. ඇය ඔබගේ ආශාව බවට පත්වේ. ඇය සරදමක් ය. මහා අනෙකා මෙන්ම සංකේතීය පියාගේ මරනයෙන් උපන් ඇය නූතන පිරිමියාට සරදම් කරයි. නූතන පිරිමිකම ඇය ඉදිරියේ කෝනංගියෙක්, බහුබූතෙයක් බවට රූපාන්තරණය වෙයි. ඇය ඔබ සමඟ සෙල්ලම් කරණ බව අපිට Velvet පවසයි.

වාණිජ ප්‍රාග්ධන අවකාශය තුල වියැකි යන පිරිමි ලෝකය හා නීතියේ බිඳවැටීම තුල මතුවන විපරිත ලිංගිකය හා ඒ හා බැඳුණ ස්ත්‍රීය හා වසඟකාරී, පරපීඩක සැඩෝමැචෝසටික අවකාශය නිර්සෞන්දර්යකරණය කිරීමක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. මත්ද්‍රව්‍ය අවකාශය තුල මෙම ගීතයට දැඩි අධි යථාර්ථවාදී බවක් එක් කළ ද මෙම ගීතය සමකාලීන සමාජ සංස්කෘතික හා ලිංගික යථාර්ථයන් පිළිඹිඹු කිරීමේ දැඩි පොහොසත්කමක් දක්වන ගීතයකි. සමාජය තුල පැවැති අඳුරු පාතාලමය ස්වරූපය හා විපරීත ෆැන්ටසිමය ස්වරූපය තුල නිමග්න වෙමින් වඩා යහපත් ලොවක් සඳහා වූ දැක්ම බීට්ල්ස් හි සියලුම ගී අබිභවා යන සුළුය.

අප විසින් මෙතෙක් සලකා බලන ලද බිටිල්ස් විසින් ගායනා කරන ලද 'Love Me Do' 'Hello Goodbye', 'Its a Hard Days Night' , 'Let It be' ගීත හතෙරහි සඳහන් ආදරය හා ආතතිය පදනම් කරගත් ගීත මීට සමකාලීන රොක් සංගීත කණ්ඩායමක් වු The Who නම් සංගීත කණ්ඩායෙම් 'Behind Blue Eyes' (නිල් පාට ඇස්වලට පිටුපසින් ) යන ගිතය හා සලකා බලමු.

The Who ගායක කණ්ඩාමේ 'Behind Blue Eyes' ගීත
යේ පරිවර්තනය (අසන්න)
කිසිවෙක් නොදනී, නිල්පාට නෙත් පිටුපසින්
ඇති නරක මිනිසා කෙබදුදැයි කියා.
කිසිවෙක් නොදනී, වෛර කිරීමත් දෛවෝපගත වීමත් කෙබඳුදැයි කියා,
එසේ වූවත් මා සිහින ශූන්‍ය නොවේ,
මා සිහිය මෙන්.
ඇත මා හට හුදකලා පැය ගණන්
මා ආදරය වෛරයයි,
නොමිදුනු,
දැනීම මේ සිතුවිලි
මට මෙන් කෙබදුදැයි කියා
මා ඔබට දෝෂාරෝපනය කරමි.
තම කෝපය දෙස කිසිවෙක් නොබලා වි
මේ තරම් තදින්
මා ශෝකය හා වේදනාව කිසිවක් නොපෙන්විය හැකියි.
මා සිහින ශූන්‍ය නොවී
ඇත මා හට හුදකලා පැය....
මා අත මිටි කරනා විට
දිග හරින්න එය
මා කෝපවී පහර දීමට පෙර
මා හිනහෙන විට, කියන්න මට නපුරු දේ
මෝඩයෙක් සේ මා සැනසීමට පෙර
මා නපුරු දෙයක් ගිල දැමූ විට
ඔබ ඇඟිල්ල මා උගුරෙහි රුවන්න
මා වෙව්ලන විට , දෙන්න ඔබ බැලැන්කට්ටුව
උණුසුම් කරන්න මා, දෙන්න ඔබ කබාය.
(The Who ගායක කණ්ඩායමේ Who Are You, 1978 ඇල්බමයෙන්)

ආදරය වෙනුවට වෛරය ආදරය ලෙස සලකන මෙම ගීතය ඉතා උද්වේගකර, ගිණි ඇවිලෙන සුළු හා අරගලකාරී බවකින් යුක්තය. මෙම ගීතය තුලින් The Who මිනිසාගේ මතුපිට දෘෂ්‍යයට ඇතුලතින් ඇති වේදනාත්මක හුදකලාව හා වෛරය මතුපිටට ගෙනන අතරතුරේ ම මිනිස් විෂය තුල ඇති බලාපොරොත්තුව හා සිහින මරා නොදැමීමට වග බලා ගනී. තමා තුලම තමා පුපුරායෑම නිසා මනුෂ්‍ය විෂය මානව විරෝධීවීමට ප්‍රථම, තමාගෙන් බාහිර අනෙකාගේ මැදිහත් වීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමට තරම් මෙම ගීය බුද්ධිමත් ය. එමෙන්ම නපුර පිළිබදව ඇති ස්වයං සවිඥානවිකත්වය ද සියල්ල බිඳ වැටීමෙන් ගොඩනැගෙන ශූන්‍යභාවය හා මෝඩ තකතිරු බව තමා තුලම විනාශ කිරීමට ඇති ආශාවක් ද මෙම ගීතය ජනනය කරයි. තම ප්‍රේක්‍ෂකයා දෙසට මෙන්ම සමකාලීන සමාජයට ද දෝෂාරෝපණය කරන The Who තම ප්‍රේක්‍ෂකයා සතුටු කිරීමට, නිද්‍රාකරණය කිරීමට, ඔවුන් ස්වප්නමය මායා ලොවකට රැගෙන යනවා වෙනුවට මා 'ඔබට දෝෂාරෝපනය කරමි යි' කියමින් තම කෝපය හා බලාපොරොත්තු රහිත බව මහා සමාජය දෙසට විතැන් කරයි. The Rolling Stones, The Who මෙන්ම Velvet Underground යන 60 හා 70 දශකයේ කීර්තිමත් සියලු රොක් ගායක කණ්ඩායම් තම රසිකයින් ඔවුන් සමකාලීනව ගත කල මානසිකත්වයෙන් හා බුද්ධියෙන් ඔසවා තැබුවා විනා කිසිවිටක 'හුරතල්' කලේ නැත. මෙය බිට්ල්ස් හා අනෙකුත් රොක් කණ්ඩායම් අතර ඇති මූලිකම වෙනසකි.

Velvet තරම් දුරට නැතත් ඉහත කී ඉච්චාභංගත්ව‍යෙන් සිටි පරම්පරාවට සෘජූවම ගීත ගායනා කල රොක් සංගීතයේ ද උරුමකරුවන් බවට බොහෝ විචාරකයින් එකඟතාවයට පලකරන Rolling Stone ද ඉහත කී මත්ද්‍රව්‍ය ලිංගික අවකාශය හා බොහෝ කොටම අනන්‍ය වූ ගායක කණ්ඩායමකි. ඔවුන් විසින් ගායනා කළ Satisfaction ගීතය එම පරම්පරාවේ අතෘප්තිමත් බව හා කෝපය වීර කාව්‍යමය ආකාරයකින්, දැඩි දැවෙන සුළු බවකින් හා ප්‍රචන්ඩ ආකාරයකින් සමකාලීන රසිකයින්ට සම්ප්‍රේෂණය කිරීමට සමත් වූ ගීතයකි. රොක් සංගීතය හා ඉලෙක්ට්‍රොනික ගිටාරය සත්‍ය ලෙසම ඒකිනෙකට බද්ධ කෙලේ ඔවුන්ය. කොතරම් උත්සාහ කළ ද එම පරම්පරාව සමාජීය හා ආත්මීය තෘප්තිමත් බවෙන් ඈත්වීමත්, සියලු මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටෙන සුළු බවකින් විෂයෙන් ඈත්වීමත්, ආදරය වෙනුවට වසඟය (seduction) තමා කරා පැමිණීමත්, නිෂ්පාදන අවකාශය තුල පරරෝපණකරණය මෙන්ම හුදකලාවත් සංයුක්තව ගත්විට එක් නමකින් හැඳින්විය හැකි ‘පරම්පරාමය ක්ෂිතිය’ (generational trauma) සැබැ ලෙසම නියෝජනය කළේ ඔව්හුය. ඔවුන් ගායනා කළ Paint it, Black, Get off of my Cloud, Dead Flowers, Under my Thumb, She's a Rainbow හා තවත් බොහො‍් ගීත අමරණීය මෙන්ම රොක් සංගීතයේ මූලිකම (fundamental) ගීත ලෙස හදුනා ගත හැකිය. බීට්ල්ස් සරල, සුගම සංගීත තනු ගායනා කරන අවදියේම Rolling Stone ඒම සංගීත විශේෂය තුලම වෙනස් ලොවක් නිර්මාණය කල බව කලින් සඳහන් කල ස්කැරුෆි නම් විචාරකයා පවසියි. මීට අමතරව කලින් සඳහන් කල ටවුන්ෂෙඩ් නම් විචාරකයා පවසන්නේ, ‘වාණිජ සාර්ථකත්වය හා ජනප්‍රියතාවය මත ඇති වූ හදිසියත්, ඇස ගිණිකරණා වැටීමත්, හිස තෝන්තු වීමත් නිසා 'බිට්ල්ස්' තම ආරෝහනයේදී තමා විසින් රැගෙන යා යුතුව තිබූ ලෝකය හා ඔවුන්ගේ පරම්පරාව අවාසනාවන්ත ආකාරයෙන් හැර දමා ගියේය. ඔවුන් විසින් වංචනික ලෙස හැරදමා ගිය තරුණයා වත්තම් කර ගත්තේ Stone විසිනි’ යනුවෙනි.

එම විචාරකයාම නැවත පවසන්නේ 'Jagger (The Rolling Stones හි ප්‍රධාන ගායකයා) ගෙන් පසු තරුණයාගේ විප්ලවීයත්වයට තව යායුතුව තිබුණේ කෙටි දුරක් බවත් ඔවුන් (The Rolling Stones) වංශවතුන්ගේ සුමුදු, සුවපහසු සංවේදනයන්ට හා ස්වයං ප්‍රීති ප්‍රකාශකත්වයට මරු පහරක් ඒල්ල කෙලේය' යනුවෙන්ය.


ඔවුන්ට වෙනස් කල යුතුව තිබුණේ දේශපාලනයවත්, අදහස් වත් නොව වටිනාකම්ය. ඔවුන් ප්‍රශ්න කළේ ඉංග්‍රීසි සමාජය විසින් අධිනිශ්චය කර තිබූ (over –determined) සිවිල් මිනිසා පිළිබඳ රූපකයයි. තම පරම්පරාවේ වටිනාකම් සම්බන්ධෙයන් Rolling Stone කල වෙනස 'දැවැන්ත වෙනසක්' (momentous shift) ලෙස අද දවසේ දී අප පසු ආවර්තිතව බලන කල පෙනී යයි. කෙස් වුව ද අද දවසේ ඔබ දකින යුරෝපීය තරුණයා Rolling Stone හි විප්ලවීය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යුත්පන්න වූවකි. ඔවුන් සමාජ යටත්කරණය හා අනුරූපකරණය, ආයතනික සංස්ථාපනීකරණය තීරණාත්මක ලෙස ප්‍රශ්න කළ නමුත් එම උරුමය ඔවුන්ට පෙර සත්‍ය ලෙසම හිමිකර ගැනීමට ශක්‍යතාවය මෙන්ම අවකාශය තිබූ බිට්ල්ස්ට එය කිරීමට නොහැකි වූයේ ඔවුන් වාණිජ ප්‍රාග්ධනයට තමන් හැසිරවීමට කැමැත්තෙන් ම ඉඩ දී තිබීම නිසාවෙනි.
කෙසේ වුවද ඉහත සඳහන් කළ ගායක කණ්ඩාමේ ද මීට අමතරව Jefferson Airpalne හා Grateful Dead යන හිපි සංස්කෘතික අවකාශය හා ප්‍රති - සංස්කෘතික විරෝධාකල්පික අවකාශය සඳහා ගීත ගායනා කල ගායක කණ්ඩායම් ද වාණිජ අවකාශය තුල ගිලි යනු අපිට දැකගත හැකිය. Velvet හැර අනෙකුත් සියලු රොක් ගායකයින් විශාල ලෙස මුදල් ඒකරාශී කර ගනු අපට දැකගත හැකිය. Velvet පවා වාණිජ අවකාශය වෙත රැගෙන එන්නේ Andy Warhol විසිනි. රොක් සංගීතය තුල තිබූ විප්ලවීයත්වය සැබෑ ලෙසම පංති පරතරය අහෝසි කරන සුළු, පූර්ණ විප්ලවීය ගතිකයක් නොව වාණිජ ව්‍යාජ විප්ලවීයත්වයක් ද යන්න පිළිබඳව අපට කුකුස් උපදී. රොක් සංගීතයේ අවසානය දක්වා සමකාලීන රොක් ගායකයින් කොතරම් විප්ලවීය ජීව ගුණයකින් යුක්තව තම ගීත ගායනා කල ද ඔවුන් එම ගීත ගායනා කළේ තම පාරිභෝගකයින් හට මිස මිනිසුන්ට නොවේ. අද්‍යතන මිනිසා කවරෙක්ද (පොදුවේ මහජනයා) යන්න පිළිබඳව වඩා දාර්ශනික මානයක් බ්‍රෝද්‍රිලාද් අප වෙත ගෙන එයි.
"මහජනයා විසින් සියලු සමාජ ශක්තීන් තමා වෙතට උරාගන්නා නමුත් කිසිවක් ඔවුන් පරාවර්ථනය නොකරයි. ඔවුන් සෑම සංඥාවක්ම මෙන්ම සෑම අර්ථයක්ම අවශෝෂණය කරගනී, නමුත් කිසිවක් පරාවර්තනය නොකරයි. ඔවුන්ට ඉදිරිපත් කරන සෑම ප්‍රශ්නයකටම බහු අර්ථ ජනනය කරමින් චක්‍රිය, වෘත්තාකාර ප්‍රතිචාරයක් අප වෙත රැගෙන එයි".

රොක් සංගීතය තුලින් ජනනය කරන අර්ථ සමුදාය හා විරෝධය අප ඉහත සඳහන් කළ මහජන අවකාශය‍ට මුදා හැරිය ද ඔවුන් කෙරෙන් සමස්ත ක්‍රමය වෙනස් කිරීම සදහා වූ රැඩිකල්, විප්ලවීය ප්‍රතිචාරයක් පෙරළා ලබා දුන්නේ නැත. පාරිභෝජනය කළා මිස සමාජයක් ලෙස, රොක් සංගීතය විසින් විදාරණය කළ සමාජ වටිනාකම් සමඟ සුසංවාදී වෙමින් පූර්ණ විප්ලවයක් සදහා ජවසම්පන්න ලෙස නැගී සිටීමක් 60, 70 හා 80 දශකයේ යුරෝපීය සමාජ ව්‍යුහයක් විසින් නොකළේ ය. එසේ වූයේ බොහෝ විට බ්‍රෝද්‍රිලාද් කියන පරිදි ;
"සමාජය නොපවතී. පවතින මිනිසුන් ද නිෂ්ක්‍රීය කරනු ලැබ ඇත. ඔවුන් මනුෂ්‍ය හෝ දේශපාලන නාමයකට වඩා පාපන්දු තරඟයක් සදහා උද්යෝගී වෙයි. ඔවුන් සතුන් තරම් බිහිරිය. ඔවුන්ගේ නිශ්ෂබ්දතාවය සතුන්ගේ නිශ්ෂබ්දතාවයට සමානය. "

සමාජය පාරිභෝගික ධනවාදය විසින් නිශ්ශබ්ද කරණු ලැබ තිබේ. පොදු සමාජීය ක්‍රියාවන් (common social acts) තවදුරටත් වලංගු නොවන තැනක රොක් සංගීතය කුමන විප්ලවීය ගුණයකින් යුතු වුවත් එහි සංඥා පද්ධතිය සමාජය විසින් විනෝදය සඳහා පමණක් අර්ථ සම්පාදනය (mean) කර ගන්නේ නම් එම සංඥා පා‍රිභෝගික යථාර්තය තුල වැලලී යයි. රොක් විසින් අපට උගන්වන පාඩම එයද?

නිර්වචනීය ලෙස ගතහොත් රොක් සංගීතය හා එහි මූලික පරාමිතීන්, ආචාරවාදී පරාමිතීන් පසෙක ලූ විට, අවශ්‍යයෙන්ම මනෝ විද්‍යාත්මක පසුබිමක් සහිත ආඛ්‍යාන (psycho-narrations), සංස්ථා විරෝධී උපහාසය, දේශපාලන ප්‍රතිශෝධනය, මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය, සංස්ථා විරෝධිත්වය සහ‍ අනුරූපකරණ විරෝධීත්වය හා මරණය යන තේමා හා ව්‍යක්ත ලෙස සුසංවාදී වූ අතර සමකාලීන බොහෝ සංගීත කණ්ඩායම් 50, 60 හා 70 දශකයන් පුරාවට ඒම තේමා හා අනුගත වෙමින්, තම වානිජ සාර්ථකත්වය හා ජනප්‍රියත්වය පසෙක තබා තම ‍‍‍ ‍ඓතිහාසික වගකීම තම පරම්පරාව වෙනුවෙන් ඉටු කරමින් සිටිය ද බිට්ල්ස් මේ එකඳු සංරචකයකට හෝ සවිඥාණික හෝ සංවේදී නොවෙමින් වාණිජ ප්‍රාග්ධනයේ විනෝද අවකාශය තුල සැරිසරමින් සිටියේය. එම යුගයේ තේමාවන් ඔවුන් අතින් යම් දුරකින් හෝ නිරූපනය වූයේ අනෙක් ගායක කණ්ඩායම් ඒවා ස්වකීය ගායකයන් තුල ප්‍රතිස්ථාපනය කළාට පසුව එය අනුකරණය කිරීමක් (එය ද අසාර්ථක ලෙස) ලෙස ය. බිට්ල්ස් තම කළමණාකාරීත්වයේ සිරකරුවෙක් බවට පත්වීමට සිදු වූයේ තමාගේම කියා අනන්‍යතාවක් හෝ දක‍්ෂතාවක් නොතිබූ නිසාවෙනි.

මෙහිදී ශ්‍රේෂ්ඨ සංගීතකරුවන් ලෙස බිට්ල්ස් නාමකරණය නොකලද, බිට්ල්ස් හා ඇතැම් විට බීච් බොයිස් (Beach Boys) විසින් ජනනය කල රොක් සංගීතය සතු ඉහල වාණිජ සාර්ථකත්වය හා එනිසාම ලොව මිලියන ගණනක් තරුණ තරුණයින් එයට කල ආදරය විශ්වසනීය කිරීමටත්, පසුව වඩා බැරෑරුම් තේමා සහිත සංගීත කණ්ඩායම් ඇති කිරීමට එම තරුණයින් තුල ජනනය කල අභ්‍යන්තර ප්‍රේරනයත් ගත් කළ ඔවුන්ට හිමිවන ඓතිහාසික ගරුත්වය නොසලකා හැරීමක් මෙහි දී සිදු නොවූවත්, බිට්ල්ස් සැබෑ ලෙසම තමා ජීවත් වූ ලෝකයේ ඓන්ද්‍රිය ගැටළු හා තත්වයන් (conditions) හා නැඹුරුවීම් (හිපින්, ශිෂ්‍ය දේශපාලනය හා නව වාමාංශික වැනි) වලට සිය සංගීතය තුල නිශ්චිත අවකාශයක් ලබා නොදුන් එම නිසාම භෞතික ලෝකයෙන් වියුක්තව වාණිජ ස්වප්න ලෝකයක සැරිසරූවන් බවට මා මෙම ලිපියේ නිගමනයේ සඳහන් කොට තබමි. එම සැරිසරිමට අමතරව තමා නිර්මානය කල ගීත මධ්‍ය පන්තික තරුණ තරුණියන් තාවකාලිකව සනසාලන නිද්‍රාකරණයක් ලෙස භාවිත කලා විනා ‍‍ඓතිහාසිකව තම වගකීම ඉටුකිරිම වෙනුවෙන් කැප නොකලා පමණක් නොව සමකාලීන තරුණ පරපුර අත්විදි දුක්ඛදායක තත්වය ඇසීමට මැලිවු බුර්ෂුවා මධ්‍යම පන්තිකයන්ට ඇසීමට සුවපහසු යමක් තනා දී එය වෙළඳපලකරණයට ලක්කලවුවෝ ද බිට්ල්ස් ය.

1960 දශකයේ සොයා ගැනීම් හා බද්ධ වූ දේශපාලනික රැඩිකල් බව, අරගලකාරීත්වය, වාර්ගික ඡේදනය, ආතතිය, පරාරෝපනය කරණ කොට ගෙන වඩා විප්ලවිය ලෙස තරුණ පරම්පරාවන් සංයුක්ත අරගලකාරී මාවතකට රැගෙන ඒම පරක්කු කිරීමේ ඓතිහාසික කාර්යය දැනුවත්ව හෝ නොදැනුවත්ව බිට්ල්ස් අතින් සිදුවු අතර වාණිජ මිත්‍යාව ඉතිහාසය අවනිශ්චය කරන්නේ හා විකෘති කරන්නේ කෙසේද යන්නට පාඨ ග්‍රන්ථ උදාහරණයක් (text book example) සපයන්නේ කෙසේද යන්නත් බිට්ල්ස් හි සංගීත උරුමය විසින් අපට කියා දෙයි.

රොක් විශේෂය : එමෙන්ම සින්තසයිසරය, මෙලෙට්‍රොන්, පියානෝව හා ඉලෙක්ට්‍රොනික ඕගනය යොදා ගත් ජනප්‍රිය රොක් ආරවල් ද පවතී. රොක් සංගීතය තුල පාවිච්චි වන අනෙ‍කුත් භාණ්ඩ අතර බටනලාව, වයලීනය, බැන්ජෝ සහ ටිම්පනි ද වේ. රොක්හි මුලිකම ලක්‍ෂණය සොලිස් ඉලෙක්ට්‍රොනික, සෙලෝ ඉලෙක්ට්‍රොනික හෝ එකෝස්ටික් ගි‍ටාරය වටා ගොනු වූ බැක් බිට් (back beat) සම්ප්‍රදායයි. පියානෝව වයලීනය හා බටනලාව මෙන්ම සිතාරය අවම වශයෙන් පාවිච්චි කල රොක් සංගීතකරුවන් බොහෝ විට උත්සාහ කළේ තම සංස්කෘතික අනන්‍යතාවය අදාල රටෙහි සංස්කෘතිය සමඟ ගලපා ගැනීමටයි. අද්‍යතන ජනප්‍රිය සංගීතකරුවන් වූ Phil Collins හා Carlos Santana මේ පිළිබඳව හොඳ නිදර්ශනයකි. උදාහරණ ලෙස ඉන්දීය සංගීත භාණ්ඩයක් වන සිතාරය පාවිච්චි කිරීමෙන් ඉන්දීය සංගීත සම්ප්‍රදාය හා රොක් සංගීතය සුසංයෝජනයෙන් නව අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීම මෙහිදී ඉදිරිපත් කල හැකිය. (උදාහරන ලෙස Brain Jones ‍ගේ Paint it, Black යන ගීත). කෙසේ වුව ද රොක් සංගීතය 1940 හා 50 දශකවල ප්‍රධාන ධාරාවේ සංගීත ආරවල් වූ රොක් ඇන්ඩ් රොල් (Rock ‘n’ roll) සහ රොක්බිලි (Rockabilly) හි මුලාරම්භය වශයෙන් සැලකෙන බ්ලුස් (Blues), කන්ට්‍රි (Country) සහ අනෙකුත් ශෛලින්හි ව්‍යුත්පන්නයක් ලෙස සැලකේ.


ආශ්‍රිත මුලාශ්‍රයන් :
  • Prof. Mahesh Hapugoda - Re-contextualization of the Musical Role of the Velvet Underground
  • Adorno, Theodor - The Culture Industry
  • Jean Baudrillard, Jean The Consumer Society: Myth and Structures / System of Objects
  • Katherine Charlton - Rock Music Styles
  • Fredrick Engles, Frederick - Condition of the Working Class in England
  • Karl Marx and Friedrich Engles - Communist Manifestor
  • Edward. W Said - Culture and Imperialism
  • Piero Scaruffi (2003) History of Rock Music (1951- 2000) / History of Popular Music before Rock Music. / History of Jazz
  • David Townshed - Changing the World: Rock 'n' Roll Culture and Ideology
  • Leon Trotsky, Leon - The Living Thoughts of Karl Marx
  • Holly George Warren - The Rolling Stone Encyclopedia of Rock and Roll
  • Zygmunt Bauman - Work, Consumerism and the New Poor
  • www.Wikipedia.com
  • www.Youtube.com
  • www.Lyrics007.com
  • www.goodreaders.com
  • www.boondi.lk
  • www.history-of-rock.com
  • www.rocklibrary.com
  • www.rollingstone.com
  • www.scaruffi.com/history/cpt2.html
  • www.songmeanings.net
  • www.wayoflife.org
  • www.google.com
  • www.beatles.com
  • www.beatlesagain.com
ආචාර්්‍ය මහේෂ් හපුකොට මහතාගේ "Recontextualization of the revolutionariness of the Beatles" ලිපියේ සිංහල අනුවාදනය සංස්ශෝධන කර පළ කරන ලදී.
SUSL journal හි 2009 කලාපයේ මෙම ලිපිය පළ කර ඇත.

ලාකේය නුතන යාචක මාෆියාව හා සමාජ විෂමතාවය

ImageHost.org
පින්වත පින්වතිය අද දින වෙන්න සමා
කියනව මගේ දුක ඔහෙලට සිරස නමා
උරුම වෙන්න තිබුණේ මේ දුකම තමා
පිහිටක් වෙලා යනවද පින් පතමි මෙමා
(උපුටා ගැනීම. "යාචක සන්නිවේදනය" මෙත් ලාල් වීරසූරිය පිට 49)

70 දශකයේ විසූ යාචකයින් බස් රථයේ හෝ දුම්රියේ ගමන්ගන්නා මගීන්ගෙන් සහ මහමග ගමන් ගන්නා පුද්ගලයින්ගෙන් යම් මුදලක් ඉල්ලා ගැනීම සඳහා මෙවන් කවි ගායනා කිරීම පුරුදු පුහුණු වී සිටියහ. නමුත් වර්තමානයේ මෙවන් කවි ගායනා කිරීම විශාල වශයෙන් අඩුව ඇත. එහෙත් ඊට වඩා දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කරමින් අද යාචක වෘත්තියේ යෙදෙන පිරිස තම ජීවිකාව සරිකර ගනිති.

මෙම නවීන ක්‍රම භාවිතා කරන යාචකයින් තමන් යාචකයින් යැයි හඳුන්වා ගැනීමට ද මැලිකමක් දක්වති. යාචක වෘත්තිය හුදෙකලා පුද්ගලයින් මෙන්ම සංවිධානාත්මක පිරිස් විසින් මෙහෙය වන බව අපි කවුරුත් දන්නා කරුණකි. යාචකයින් පිළිබඳ අගනා පර්යේෂණයක යෙදෙමින් "ශ්‍රී ලංකාවේ යාචකයා" නමින් ඉතා වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කළ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා තම කෘතියේ මේ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පෙන්වා දි ඇත. මෙත්ලාල් වීරසූරිය මහතා විසින් රචිත "යාචක සන්නිවේදනය" කෘතියේ ද මේ පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ඇත.

මෙම ලිපිය ලිවීම සඳහා මා පෙළඹවූයේ මා ලැබූ අත්දැකීමක් නිමිතිකොට ගෙනයි. සැහැල්ලූවෙන් ආරම්භ කළ මෙම සොයා බැලීම නොසිතූ ලෙස ගැඹුරු අධ්‍යයනයක් බවට පත්වූයේ මා ද විශ්මයට පත්කරමිනි.

නෙත් සිත් පැහැරගන්නා රුව සහ කට

මීට මාස දහයකට පමණ පෙර එක් දිනක මා මගේ මිත්‍රයෙක් සමඟ මහරගම නගරයෙන් බසයකට ගොඩවූයේ පිටකොටුව බලා ගමන් කිරීම සඳහායි. අප පැමිණි බසය නුගේගොඩ ඉන්ධන පිරවුම්හල පසුකොට, ඊට තරමක් ඉදිරියෙන් ඇති පන්සල ඉදිරිපිට නතරකරවී ය. නැවත බස් රථය පිටත්වීමට මොහොතකට පෙර බස් රථයට ගොඩ වූයේත ලිපිගොනු රැසක් සුරතෙහි දරාගත්, හොඳින් හැඳ පැළඳ ගත්, කඩවසම් තරුණයෙකි. දුටු පළමු මොහොතේම ඔහු කෙරෙහි ආකර්ෂණය නොවන පුද්ගලයෙක් නොවේනම් ඔහු හෝ ඇය දෙනෙත් අඳ පුද්ගලයෙකු විය යුතුය. ඔහු එතරම් කඩවසම් තරුණයෙකි. බසයට ගොඩවූ ඔහු බස් රථයේ ඉදිරි අසුන් පෙළ අසල සිටගත්තේ මුළු බස් රථය ම තමන්ට පෙනෙන පරිදිය.

"ආදරණිය අම්මේ තාත්තේ, අක්කේ අයියේ, මොහොතකටවත් හිතන්න එපා මම හිඟන්නෙක් කියල. මම දැනට පුද්ගලික ආයතනයක කාර්යාල කාර්ය සහයකයෙක් ලෙස සේවය කරනවා. මට ජීවත්වීම සඳහා කිසි අපහසුවක් නෑ අම්මේ තාත්තේ. නමුත් මේ මොහොත වනවිට මගේ බිරිඳ (පෞද්ගලික රෝහලක නමක් පවසයි.) හැට තුන්වන වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඇය සුව කිරීමට අපහසු සුසුම්නාවේ රෝගයකින් පෙළෙනවා. මෙම රෝගය සුව කිරීම සඳහා කල යුතු සැත්කමට ලක්ෂ පහක මුදලක් ඕන වෙනවා අම්මේ තාත්තේ, මට ලැබෙන වැටුපෙන් කවදාවත් මේ මුදල එකතු කරගන්න ලැබෙන්නේ නැහැ. අක්කේ , අයියේ. නමුත් අම්මේ තාත්තේ මට ජනාධිපති අරමුදලෙන් පනස්දාහක් ලැබෙනවා. මා සේවය කරන ආයතනයෙන් පනස්දාහක් ලැබෙනවා. ඒත් මම තව ලක්ෂ හතරක් හොයන්න ඕන. ඒ නිසයි අම්මේ තාත්තේ මම මේ විදියට බස් එකට නැගල ඔයාලට අතපාල කීයක් හරි ඉල්ලන්නේ. "

මෙම පුද්ගලයාගේ චතුර වාග් විලාසයත්, ඔහුගේ හැඟිම්බර ආයාචනයත් නිසා බස් රථයේ සිටි පිරිස අතරින් සියයට අසූවක් පමණ පිරිසකගෙන් එක් අයෙකුගෙන් ඔහුට අවම වශයෙන් රුපියල් දහයක්වත් ලැබුණි. මමත් මගේ මිත්‍රයාත් ඔහුට මුදල් දීම සඳහා නොපෙලඹුණි. ඒ, මෙය සංවිධානාත්මක පිරිසකගේ කාර්යයක් බව අප සැක සිතූ බැවිනි. බස් රථයේ සිටි කිසිවෙක් ඔහුගේ අනන්‍යතාව සෙවීමට නොපෙළඹුණි.

මෙම සිදුවීම මෙසේ සිදුවී මසක් පමණ ගතවූ පසු මා, මළ ගෙදරකට සහභාගී වීම සඳහා පානදුර සිට හොරණ දක්වා ගමන් කරන බස් රථයකට ගොඩවූයේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟිනි. ඒ මොහොතේ ද පෙර කී පුද්ගලයා මෙම බස් රථයට ගොඩවිය. අසල සිටි මිතුරාට මෙම පුද්ගලයා පිළිබඳ තොතුරු පැවසූ මා ඔහුට නිහඬව සිටින ලෙස පවසා මෙම පුද්ගලයාගේ දේශනාවට සවන් දුන්නෙමි.

මීට පෙර නුගේගොඩ දී පැවසූ දෙයට වඩා හාත්පසින් ම වෙනස් හේතුවක් පවසා මොහු බස් රථයේ සිටි මගීන්ගෙන් මුදල් එකතුකර ගත්තේ ය. අද මොහු පැවසුවේ තම දරුවාගේ හෘද සැත්කමක් සඳහා මුදල් එකතු කරන බවයි. මමත් මගේ මිත්‍රයාත් එදා සැක කළ කරුණු අද ප්‍රත්‍යක්ෂ වී ඇත. අප සිව්දෙනා එක්ව රහසේ කතිකා කරගත්තේ මෙම පුද්ගලයා බසයෙන් බැස ගිය පසු ඔහු හමුවීමට යි.

ඔහු බසයෙන් බසිනවාත් සමග ම අපි සිව් දෙනා ඔහු පසුපස ඇදෙන්නට වූවෙමු. ඔහු කඩිමුඩියේ රිංගා ගත්තේ අසල තිබූ රේස් ඔට්ටුපලට ය. අප සිතුවේ ඔහු පැමිණියේ රේස් ඔට්ටු ඇල්ලීමට කියා ය. එහෙත් සිදු සිදුවූයේ වෙනත් දෙයකි. එම ස්ථානයේ රේස් පත්‍රිකාවක් කියවමින් සිටි තරමක් හැඩි දැඩි සිරුරකින් හෙබි පුද්ගලයෙකු අසලට ගිය මෙම තරුණයා තමා බස් මගීන්ගෙන් එකතුකරගත් මුදල් සියල්ල එම පුද්ගලයා වෙත භාර දුන්නේ ය. මගේ සැකය තහවුරු වීම තවත් කඩිනම් විය.

එම ස්ථානයෙන් පිටවූ තරුණයා නැවතත් බස්නැවතුම්පළ දෙසට ගමන් කරන්නට විය. බස් නැවතුමට යාමට පෙර මම ඔහුට කතා කළෙමි.

"මල්ලි...මල්ලි...පොඩ්ඩක් ඔහොම ඉන්නවද?" අත්පුඩි ගසා ඔහුට අඬගැසූ විට ඔහු අප දෙස බැලූවේ තරමක කුතුහලයකිනි. එහෙත් ඔහු නතර විය.

"ඇයි දන්නෑ මට කතා කරේ?" මේවන විට අපි හතරදෙනා තරුණයා වටකොට සිටි බැවින් ඔහු තරමක් බියපත් වී ඇති බව අප වටහා ගත්හ.

"නෑ මල්ලි අපිට මේ... පොඩි කාරණයක් දැනගන්න." ඔහුගේ බියපත් බව තව තවත් උත්සන්න විය.

"ඔ...ඔය...ඔය මහත්තුරු කවුද? පොලීසියෙන් ද?" වෙව්ලන ස්වරයෙන් ඇසූ ඔහු අප වෙතින් පලා යාමට මෙන් වට පිට බලන්නට විය.

"නෑ...නෑ...මල්ලි...කලබල වෙන්න එපා. අපි පොලීසියෙන් නෙවෙයි. අපි පත්තරේකින්. ඔයා මොකද කලබල වෙන්නෙ?" මගේ මිතුරෙක් ඔහුගේ අතකින් අල්ලා තමා දෙසට හරවන අතර ඇසී ය.

"අනේ අයියෙ මගේ පිංතූරෙ නම් පත්තරේ දාන්න එපා. මම මේක කරන්නෙ කැමැත්තකින් නෙවෙයි." මමත් මුන්ට අහුවෙලයි ඉන්නෙ.

මෙම තරුණයාගේ ප්‍රකාශය තුළ යමක් සැඟවී ඇති බවත්, එය සුළුපටු කරුණක් නොවන බවත් තේරුම් ගැනීමට අපට අපහසු නොවී ය. ඔහුගේ බිය තුරන් කළ අපි, ඔහු සමඟ නගරයට තරමක් නුදුරින් පිහිටි ආපන ශාලාවට ගොඩවූනෙමු. දිවා ආහාරය ලබාගන්නා වෙලාව ආසන්න වුව ද අපි "ෂෝට් ඊට්ස්" ඇණවුම් කළෙමු. තේ පානය කරන අතරතුර තමන් පත්වී සිටින තත්ත්වය අප හට පැවසුවේ ඔහුගේ අනන්‍යතාව කිසි ලෙසකින්වත් හෙළි නොකරන බවට අප පොරොන්දු වූ පසුව ය.

මෙතැන් සිට ඔහුගේ කතාවට සවන් දෙමු.

ආදරයක් කළ හදියක්

මෙම තරුණයාගේ ගම්පියස වුණේ ගාල්ලෙ නාකියාදෙණිය. අපි ඔහු ප්‍රදීප් නමින් හඳුන්වමු. උසස් පෙළ සමත් වුව ද අවම ලකුණු මට්ටම සපුරා නොතිබූ බැවින් සරසවි වරම් අහිමි විය. තම තේ ඉඩමේ කටයුතුවල නියැලී සිටි ඔහු රැකියාවක් පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළේ ය. ඔවුන් ප්‍රදේශයේ කුලවත් යැයි කියාගන්නා පරපුරකින් පැවත එන අතර අඩු කුලය යැයි සම්මත පිරිසක් ද එම ගම් පියසේ එක් කොටසක කල් ගෙවූහ. තම වත්තේ තේ දළු, තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන යන අතරතුර හඳුනාගත් අඩු කුල තරුණියක් සමඟ ඔහු සබඳතාවක් ඇතිකර ගත්තේය. එහෙත් කුල මානයෙන් හිස උදුම්මාගත් වැඩිහිටියන් මෙම සම්බන්ධය නවතාලීම සඳහා නොයෙක් උපක්‍රම යෙදූහ. නමුත් ප්‍රදීප් ඒ සියලූ බාධක මගහැර තම හිතගත් තරුණිය සමඟ රහසේම ගමෙන් පිටවී කොළඹ සිටි තම හිතවතකුගේ මාර්ගයෙන් කුඩා කාමරයක් කුලියට ගෙන රානි සමඟ එහි පදිංචි විය. ප්‍රදීප් ආරක්ෂක නියාමක රැකියාවකට යොමු වූ අතර රානි රැකියාවකට යොමු නොවී ය.

කාලය ඉක්ම යාමත් සමඟම ප්‍රදීප් පිය පදවියත් රානි මව් පදවියත් දැරීමේ ලකුණු පහළ විය. එතැන් සිට ඔවුන්ගේ ජීවිතයේ ඒකායන පැතුම වූයේ ඉපදෙන්නට සිටින කිරිකැටියායි. නියමිත කාලයට වඩා පෙර රානි රෝහල්ගත කිරීමට සිදු වූ අතර දරු ප්‍රසූතියේ දී කිරිකැටියා ප්‍රදීප්ගෙ දෝතට දුන් රානි කිසිවෙක් නොසිතූ ලෙස මිය ගියාය. ප්‍රදීප්ට කරන්න තිබුණෙ ගමට යන එක විතරයි. එතැන් සිට මේ දරුවට අම්ම වුණේ දරුවගෙ ආච්චි. ඒ කියන්නෙ බිරිඳගෙ අම්ම. ඒවනවිට බිරිඳගෙ සහෝදර සහෝදරියො තුන්දෙනාම විවාහ වෙලා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගිහින් තිබුණා. හිතුවක්කාරයට කරගත්තු කසාදයක් නිසා ප්‍රදීප්ගෙ දෙමාපියො ප්‍රදීප්ව පවුලෙන් අයින් කරල තිබුණා. ඔහු මෙදාපාර රැකියාව විදියට තෝරගත්තෙ කුරුඳු තැලීම. ජීවත්වෙන්න පුළුවන් තරමෙ ආදායමක් ඒ රැකියාවෙන් ලැබුනත් දරුවට මාස හයක් වෙනකොට ඒ කුඩා දරුවගෙ නාසයෙ කුඩා ගැටයක් ඇවිත් දරුවාට ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතාවයක් ඇතිවුණා. එතැන් සිට මාස නමයක් දරුව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ගත්ත. දරුවගෙ රෝගය පිළිබඳ කටයුතු කරපු වෛද්‍යවරය කිව්ව ලක්ෂ පහක් හොයා ගත්තොත් දරුවව නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියල. ඔහු දරුවගෙ රෝගී තත්ත්වය පිළිබද සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් ප්‍රදීප්ට දුන්නා. ඔහු එතනින් නතරවුණේ නැහැ. පුවත්පතකට දාන්න දැන්වීමකුත් හදල දුන්නා. පුවත්පත් දැන්වීමෙන් පස්සෙ ඔහුගේ බැංකු ගිණුමට යම් මුදල් ප්‍රමාණයක් ලැබුණත් ඒ මුදල දරුවගෙ අසනීපය සුව කරන්න තරම් ප්‍රමාණවත් වුණේ නෑ. මේවන විට දරුවගෙ ජීවිතය පිළිබඳ විශාල අවදානමක් තිබුණ නිසා ප්‍රදීප් හිටියෙ සෑහෙන්න හිත් අමාරුවෙන්.

ඔය අතරතුර අර වෛද්‍යවරය ප්‍රදීප්ට එක්තරා පුද්ගලයෙක් හඳුන්වා දුන්නා. වෛදවරයා කිව්වෙ එම පුද්ගලයා කියන විදියට වැඩ කරන්න කියලා. එවිට දරුවගෙ ජිවිතය බේරගන්න පුළුවන් වන බව වෛද්‍යවරයා පැවසුවා. ඔවුන්ගෙ යෝජනාව වුණේ සියලූ වෛද්‍ය වාර්තා අරගෙන ගමින් ගමට ගොස් ආධාර එකතු කරන්න. ඒත් ඒ වෙනුවෙන් වෙන් කරන්න තරම් කාලයක් ප්‍රදීප්ට ඉතුරු වුණේ නෑ. ඒ සඳහා ඔවුන්ම යෝජනාවක් ඉදිරිපත් කළා.

"නෑ නෑ මල්ලි. ඔයා මහන්සි වෙන්න ඕන නෑ. ඔයා ඔයාගෙ වැඩ ටික කරගෙන යන්න. අපි ඒ වැඩේ කරල දෙන්නම්. එකතුවෙන මුදලෙන් 60ක් අපිට දෙන්න. ඉතිරි මුදල් ඔයාගෙ දරුවගෙ වැඩේට යොදවන්න."

තමන් මුහුණපාලා ඉන්න තත්ත්වය අනුව වෙන කළ යුතු දෙයක් නැති නිසා ප්‍රදීප් ඒ වැඩේට කැමති වුණා. ඒ පුද්ගලය සති තුනක් ඇතුළත ප්‍රදීප් ට වුවමනා මුදල ඔහුගේ අතට ගෙනත් දුන්න. මුදල් හෙව්වෙ කොහොමද කියන එක ප්‍රදීප් ට හොයන්න වුවමනා වුණේ නෑ. ලංකාවෙ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක දරුවගෙ ශෛල්‍යකර්මය කළා. ඒත් අවාසනාවක මහත ශෛල්‍යකර්මයෙන් සති දෙකකට පස්සෙ දරුව මිය ගියා.

දරුව මිය ගියාට පස්සෙ ප්‍රදීප් පිස්සෙක් වගේ තැන් තැන්වල ඉබාගාතෙ ඇවිදින්න පටන් ගත්තා. දවසක් ගාල්ලෙදි ප්‍රදීප්ට කෙනෙක්ව මුණ ගැහුණා. ඒ අර සල්ලි හොයල දීපු පුද්ගලය. ඔහු ප්‍රදීප්ව තමන්ගෙ තැනට අරගෙන ගියා. ටික දවසකින් ප්‍රදීප් සාමාන්‍ය තත්ත්වයට වුණා. එදා ඉඳල ප්‍රදීප් මේ විදියට මුදල් එකතු කළා. ලැබෙන ආදායමෙන් 30ක් ප්‍රදීප් ට ලැබුණා. සමහර අවස්ථාවලදි මිය ගිය ළමයින්ගෙ සහ වැඩිහිටියන්ගෙ තොරතුරු ජනතාවට ඉදිරිපත් කරලත් මුදල් එකතු කරා. එම මුදල්වලින් 50ක කොටසක් ප්‍රදීප් ට ලැබුණා. බොහෝ වෙලාවට ඒ අවස්ථාව ලැබෙන්නෙ ප්‍රධානිය එදිනෙදා තෝරන අනුපිළිවෙළට යි.

මේ විදියට මුදල් එකතු කරන්නේ ප්‍රදීප් පමණක්ම නොවේ. මෙම සංවිධානය වෙනත් පුද්ගලයින් ද යොදවා දිවයිනේ විවධ ප්‍රදේශ තුළ විවිධාකාරයේ උපක්‍රම භාවිතා කරමින් මුදල් එක්රැස් කරති. මෙය මත් ද්‍රව්‍ය ව්‍යාපාරය තරම් ම සංවිධාන ගත වූවකි. ප්‍රදීප් ගෙන් ලබා ගත් තොරතුරු මත මෙම මුදල් එකතු කරන්නන් පිටුපස ඇති සංවිධාන ජාලය පිළිබඳ තවත් වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි විය. මෙම සංවිධානය මගින් රජයේ සහ පෞද්ගලික රෝහල් තුළද තම නියෝජිතයින් යොදවා ඇත. විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන සෑම රෝගියෙක් පිළිබඳවම තොරතුරු මෙම සංවිධානය අතට පත්වන්නට ගතවන්නේ පැය හතලිස් අටක් පමණි. මොවුන්ගේ සංවිධාන ජාලයේ සූක්ෂම බව මින් මනාවට පැහැදිලි වේ. මේ සඳහා රෝහල් කාර්ය මණ්ඩලයේ අයගෙන් මෙන්ම, සෘජුවම වෛද්‍යවරුන්ගෙන්ද තොරතුරු ලබා ගන්නා අවස්ථා ඇත. එහෙත් මෙම සංවිධානය වඩාත් උත්සාහ කරණුයේ වෛද්‍යවරයාට රහසේ මෙම තොරතුරු එක්රැස් කිරීමටය. ඒ වෛද්‍යවරයා වෙත ගෙවිය යුතු මුදල ද තම බැංකු ගිණුම වෙත බැර කර ගැනීමේ පරමාර්ථයෙනි.

අතරමං වූ දේශපාලන සගයා

මෙම සංවිධානයේ බස්නාහිර පළාත භාරව කටයුතු කරන පුද්ගලයා හමුවීමේ අවස්ථාව ද මට ලැබිණි. ඔහුගේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොළඹ නගරයට ආසන්න නගරයක ය. කොන්දේසි ගණනාවකට යටත්ව ඔහු මා හා කතා බහක යෙදෙන්නට එකඟ විය. මෙතැන් සිට ඔහුව අනිල් නමින් හඳුන්වමු.

මම :– මට මුලින් ම කියන්න ඔබ කොහොමද මේ වගේ නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ වුණේ?

අනිල් :– අන්න...අන්න...මහත්තයා පටන්ගන්නකොට ම වැඩේ දෙල් කරන්නනේ හදන්නෙ. මේක නීති විරෝධී වැඩක් නොවෙයි කියන පදනමේ ඉඳල කතා කරනවනම් තමයි වඩා හොඳ.

මම :– හරි... හරි... මම ඒක ඉල්ලා අස්කර ගන්නම්කො.

අනිල් :– හරි එහෙනම් අපි පටන් ගමු. මගේ ගම ඇල්පිටියෙ. 87–89 කාලෙ අපිට තිබුණ උණට තමයි අපි ජේවීපී එකට බැඳුණෙ. එහෙම නැතුව මොනම හෝ දේශපාලන දැනුමක් තිබුණෙ නැහැ. දවසක් අපි හතර දෙනෙක් විරුද්ධවාදියෙකුගෙ ගෙදරට ගියේ ඒගොල්ලන් ව බය කරන්න. නමුත් අපේ අයගෙ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා ඒ ගේ ගිනි ගත්ත. ඒ ගෙදර හිටිය ඇවිදින්න බැරි මනුස්සයෙක්. ඒ මනුස්සයව පිච්චෙන්න දීල බලන් ඉන්න තරම් ගල් හිතක් මට තිබුණෙ නෑ. මම ගේ ඇතුළට පැනල මනුස්සයව එළියට අරගෙන ආව. නමුත් මාව පිච්චුණා. මේ බලන්න. මේ තියෙන්නෙ ඒ ලකුණු තමයි. (ඔහු තම කමිසය ගලවා ඔහුගේ පිට පෙදෙස මා වෙත පෙන්වයි. පිට පෙදස සම්පූර්ණයෙන් ම පිච්චී ඇති බව දැකගන්නට ලැබුණි.)

මම :– ඉතිං එදා ඔයා නොමැරී බේරුණේ කොහොමද?

අනිල් :– ඒක ලොකු කතාවක්. එදා මම ජීවිතය බේර ගත්තත්, මගේ ගෙදර අය හතර දෙනෙක්ම හමුදාවෙන් මරල දැම්ම. ගෙදර අය මැරෙන්න කලින් එයාල මට බෙහෙත් කරේ කැලේ තියාගෙන. අන්තිමේදි මගේ තුවාල පැසවන්න ගත්ත. මම කැලෑ පාරෙන් නගරයට ඇවිත් හිගා කන්න පටන් ගත්ත. නමුත් මට එහෙම ඉන්න ලැබුණෙ දවස් දෙකයි. කව්දෝ කට්ටියක් මාව අරගෙන ගියා. ගියේ කොහේද කියලවත් මම දන්නෙ නෑ. මම ජීවිතය ගැන තියන ආශාව අත්හැරිය.

මම :– ඒත් ඔබ තාම ජිවතුන් අතර?

අනිල් :– ඔව්. මාව අරගෙන ඇවිත් තිබුණෙ හමුදාවෙන් නෙවෙයි. මේ සංවිධානයෙන්. එදා ඉඳල අවුරුදු තුනක් යනකම් මම කුරුනෑගල නගරයෙ හිඟා කෑව. මට යම් මුදලක් හම්බ වූණා. ඒ අතරෙ මම සංවිධානයට හොරෙන් තැන් තැන්වල හංගල සල්ලි ටිකක් එකතු කරගෙන එතනින් පැනල ආව.

මම :– ඒ ඇවිල්ලත් ඔයා නැවත මේ රස්සාවම තෝර ගත්ත.

අනිල් :– නෑ. මම නැවත ගියා පක්ෂයෙ අයව හම්බ වෙන්න. ඒත් ඒ එක්කෙනෙක්වත් මට කිසිම උදව්වක් කරන්න ඉදිරිපත් වුණේ නෑ. පස්සෙ මම නැවත හිඟා කන්න පටන් ගත්ත. හැබැයි ඉස්සර විදියට නෙවෙයි. අලූත් විදියකට.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසුව මෙම ව්‍යාපාරය පිළිබඳ සාමාන්‍ය ජනතාව නොදන්නා විස්තර විශාල ප්‍රමාණයක් අනාවරණය විය. මෙම සංවිධානය බූවල්ලෙක් වැනි ය. සමාජයේ විවිධ අතවරයන්ට, අසාධාරණයන්ට, කොන්කිරීම්වලට සහ පසුබෑම්වලට ලක් වූ පුද්ගලයන් සංවිධානය විසින් තම ග්‍රහණයට හසු කරගෙන ඇත.

මේවන විට මෙම සංවිධානය ඉතාමත් සැලසුම් සහගත ලෙස මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. සංවිධානය තුළ ධනාත්මක වැඩ පිළිවෙලක් ද දක්නට ඇත. මත් කුඩුවලට ඇබ්බැහි වී විනාශ වීමට ගිය තරුණ ජීවිත පවා ඉන් මුදවා ගත් අවස්ථා ද ඇත. මේ පුද්ගලයා එවන් අයෙකි.

සමාජ විරෝධීත්වය සහ සුභ සාධනය

"මම මත් කුඩුවලට තදින් ම ඇබ්බැහි වෙලා හිටියෙ. දවසක් මම බස් එකෙන් බහින ගමන් ගෑනු කෙනෙකුගෙ චේන් එකක් කඩාගෙන දිව්ව. ඒ ගෑනු කෙනා කෑ ගැහුවට කව්රුවත් ආවෙ නෑ. නමුත් බස් එකේ හිටපු ටිකක් උස මහත කෙනෙක් මගේ පස්සෙන් එලවගෙන ඇවිත් මාව අල්ල ගත්ත. ඊට පස්සෙ මිනිස්සු මට වටකරල ගහන්න හදනකොට මාව අල්ල ගත්තු කෙනා කිව්ව එයා පොලීසියෙ කියල. පස්සෙ කව්රුවත් ගැහුවෙ නෑ. එයා මාව ත්‍රීවිල් එකක දාගෙන අරගෙන ගියා. හැබැයි පොලීසියට නෙවෙයි. දැන් මම විවාහකයි. මට කියල නිශ්චිත රැකියාවක් නෑ. එදිනෙදා වැඩ බෙදෙන විදියට තමයි වැඩ කරන්නෙ."

මොහු එදා අසු වී ඇත්තේ මෙම සංවිධානය විසින් යොදවන ලද ඔත්තුකරුවෙකුට ය. ඔවුන් යොදවා ඇත්තේ ප්‍රදේශයට අලූතෙන් එකතුවෙන හිඟන්නන් සොයා බැලීම සඳහා යි. ඒ ඒ ප්‍රදේශවල සාමාජිකයින්ගේ හැසිරීම නිරික්ෂණය කිරීම ද මොවුන්ගේ රාජකාරිවලට අයත් වේ. සංවිධානය විසින් එවැනි පුද්ගලයන් ගණනාවක් විවධ නගරවල යොදවා ඇත. තම සංවිධානයේ සාමාජියෙක් හට යම් කරදරයක් අතවරයක් සිදු වුවහොත් මොවුන් ක්ෂණිකවම ඒ වෙනුවෙන් මැදිහත් වේ. පසුගිය වසරේ පෙබරවාරි 2 වන දින දඹුල්ලේ පුපුරා ගිය බස් බෝම්බයෙන් මෙම සංවිධානයේ සාමාජිකයෙක් මිය ගොස් ඇති අතර ඔහු වෙනුවෙන් සංවිධානය රුපියල් 50,000ක මුදලක් මිය ගිය අයගේ යැපෙන්නන් වෙත පිරිනමා ඇත.

සංවිධානය වෙත තොරතුරු සැපයීම, ලබාගත් තොරතුරු අනුව අදාල පුද්ගලයින් මුණ ගැසීම, ඒ ඒ පුද්ගලයින්ගේ අවශ්‍යතාව අනුව විවිධාකාර ක්‍රමවේදයන් සැකසීම, එම ක්‍රමවේදයන් සඳහා පිරිස් පුහුණු කිරීම, ඔවුන් විසින් භාවිතා කළ යුතු ලියකියවිලි සකස් කිරිම, ඒ ඒ අවස්ථාවන්හි දී මිනිසුන් ආමන්ත්‍රණය කරන වාග් මාලාවන් සැකසීම, ඒවා ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ පුහුණු කිරිම, සහ නවක පුද්ගලයින් සංවිධානය වෙත බඳවා ගැනිම ආදී සියල්ල සිදුවන්නේ ඉතාමත් නිවැරදි සැලැස්මක් අනුවය. ඒ සඳහා නිසි පුහුණුවක් ලැබූ පුද්ගලයින් සංවිධානය තුළ වැටුපට සේවය කරති. ඔවුන්ගේ වැටුප් ඉහළ අගයක පවතී. නමුත් ඔවුන් දැඩි කොන්දේසි මාලාවකට යටත් විය යුතුය. තමන් වෙත ලැබෙන වැටුප පිළිබඳ සෑහීමකට පත්වන මොවුන් එම කොන්දේසි අකුරට ම පිළිපදී. තම තමන්ගේ හැකියාවන් අනුව සුදුසු රැකියාවන් මෙම සංවිධානය විසින් සපයනු ලබයි.

රෝගාතුර පුද්ගලයින් සඳහා ආධාර මුදල් එකතු කිරීමේ ජාවාරම මෙම සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගය යි. මේ සඳහා දිවයිනේ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය නීත්‍යානුකූල මෙන් ම නීතිවිරෝධී ලෙස ලබාගන්නා අවස්ථා ද ඇත. රෝගියාගේ පාර්ශවයෙන් වෛද්‍යවරයා ලවා නීත්‍යානුකූල ලියවිලි සකසා ගන්නේ ජනාධිපති අරමුදලින් යම් ආධාරයක් ලබාගැනීම සහ මහජන ආධාර ලබා ගැනීම සඳහා ය. එහෙත් එම ලියවිලි පිටස්තර පුද්ගලයින් අතට පත්වන්නේ කෙසේද? මේ සඳහා මෙම සංවිධානය විසින් රජයේ සහ පෞද්ගලික රෝහල් තුළ තම තැරැව්කරුවන් යොදවා ඇත. සමහර අවස්ථාවන්හි දී මිය ගිය රෝගීන් සඳහා ද ආධාර මුදල් එකතු කරනු ලැබේ. මේ අවස්ථාවේ දී ලැබෙන මුදලින් 50ක් ම ඒ සඳහා යොදවන පුද්ගලයින් වෙත ලබාදේ. වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රාව සහ නිල අත්සන ව්‍යාජ ලෙස යොදාගන්නා අවස්ථාද ඇත. එම ලියවිලි සොරකම් කොට මෙම සංවිධානය වෙත අලෙවි කරනු ලබන පුද්ගලයෙකු ගෙන් මේ පිළිබඳ විමසීමෙදී ඔහු පවසා සිටියේ, මසකට ලක්ෂ හතරක් ද ඉක්ම වූ වැටුපක් ලබාගන්නා විශේෂඥ වෛද්‍යවරුන් පවා මෙම ජාවාරමට තොරතුරු සපයන්නේ නම්, ඔවුන් වැනි සුළු සේවකයින් එසේ කිරීම වරදක් නොවන බවයි.

"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් ද මේ අවනඩුව"

60 දශකයේ සිට 90 දශකය දක්වා වු කාලය තුළ ද මෙරට යාචක වෘත්තිය මෙහෙය වනු ලැබූයේ ඒ සඳහා සංවිධාන ගත වූ පිරිසක් විසිනි. එදා යාචකයින්ගේ සන්නිවේදන ක්‍රම මෙතරම් දියුනු තත්ත්වයක නොපැවතිනි. ඒ සඳහා ඔවුන් භාවිතා කරනු ලැබූයේ කට පාඩමෙන් ගායනා කළ හැකි ලෙස පුරුදු පුහුණු වූ කවි, විරිඳු සහ ගීත වැනි දෑය.

අනේ පිංවතුනි මා දෙස බලන්න
පින නැහැ මෙමට ඔය හැඩ රුව දකින්න
මගෙ අඹු දරුවන්ගෙ කුස ගිනි නිවන්න
ඔබ සැම දෙනගෙ ආධාරය මට දෙන්න

මෙවැනි කවි ගායනා වත්මන් යාචකයින් භාවිතා නොකරයි. මොවුන් මෙහෙයවනු ලබන සංවිධානය විසින් අදට ඔබින සන්නිවේදන ක්‍රම මොවුන් වෙත සපයයි. අන්ධයින්, කොරුන්, ආබාධිතයින්, පිලිස්සුම් තුවාල ලැබූවන් සහ විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වූවන් යොදවා ගනිමින් මුදල් රැස්කරන්නන් ඉහත සඳහන් සංවිධානය විසින් පාලනය නොකරයි. ඔවුන් විසින් කරනු ලබන්නේ කලින් සඳහන් කළ ආකාරයේ ආධාර රැස්කිරීම ය.

පිනට දහමට නැඹුරු මිනිසුන් පව්කාරයාට සහය දැක්වීම

මා හඳුනන උසස් පොලිස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ,

"මේ වෙනකොට රටේ විවිධ පුද්ගලයන්, කණ්ඩායම් සහ සංවිධාන විවිධාකාරයේ වංචාකාරී ක්‍රියාවල නිරතවෙනව. ඒකට වගකිව යුත්තෙ ඒ පුද්ගලයින් පමණක් නෙවෙයි. මේ සමාජ ක්‍රමය විසින් එවැනි සංවිධාන බිහිවීමට අවශ්‍ය පසුබිම සකස් කරල තියනව. මේක එක රැයකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවෙයි. "

"එතකොට ඔබතුමා කියන්නෙ මේ ජාවාරම්කාරයන්ට කැමති පරිදි ක්‍රියාකරන්න ඉඩ දීල නිඬව ඉන්න එක හරි කියල ද? "

"නෑ නෑ. මම අදහස් කරන්නෙ එහෙම දෙයක්නෙවෙයි. දැන් බලන්න ඔයා ඔය කියපු විදියෙ සිද්ධියක් ගැන කව්රුවත් පැමිණිල්ලක් කරල තියනවද? නෑ. යම් ආධාරයක් ඉල්ලන පුද්ගලයෙක්, එහෙම නැත්නම් යාචකයෙක් අපිට ඕන ඕන විදියට අත්අඩංගුවට ගන්න බෑ. මුලින්ම ඔහුට හෝ ඇයට විරුද්ධව ලිඛිත හෝ වාචික පැමිණිල්ලක් කරන්න ඕන. ඊට පස්සසෙ ඔවුන්ගෙ වංචාකාරී බව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙන්න ඕන. ඊට පස්සෙ තමයි අපිට පුළුවන් වෙන්නෙ ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න. විශේෂයෙන්ම අපිට මහජනතාවගෙ සහයෝගය නැතුව මේ ක්‍රියාවන්ට එරෙහිව යම් පියවරක් ගන්න අපහසුයි.

"හොඳයි. එහෙනම් ඔබතුමාට කියන්න පුළුවන්ද මේ වෙනුවෙන් ජනතාව විසින් කළ යුත්තේ කුමක් ද කියලා?"

"මෙහෙමයි අපි කව්රුත් බෞද්ධයො හැටියට පිනට දහමට ලැදියිනෙ. ඒක නිසා කව්රුහරි පින් තකා මොනව හරි ඉල්ලූවම කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ දීල දානව. එහෙම කරන්න එපා. යම් රෝගියෙකුට ආධාරයක් ඉල්ලන්න පිරිසක් හරි පුද්ගලයෙක් හරි එනවනම්, ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න. මොකද ඒ සඳහා ඔබට අයිතියක් තියනව. එහෙම ප්‍රශ්න කරල ඒවට නිසියාකාරයෙන් පිළිතුරු දෙන්න ඔවුන්ට බැරි වුණොත් මුදල් දෙන්න එපා. ඒ විතරක් නෙවෙයි ඔවුන් පිළිබඳ ළඟම තියන පොලීසියකට හරි ඔබට මුලින්ම මුණ ගැහෙන පොලිස් නිලධාරියෙකුට කියන්න. හැබැයි තමන් නීතිය අතට අරගෙන ඔවුන්ට පහර දෙන්න එහෙම නැත්නම් ඔවුන්ගෙ දේපලවලට හානි කරන්න යන්න එපා."

"මහත්මය, අපිට ලැබුණ ආරංචිවලට අනුව ඔය බස්රථ තුළ ගීත, එහෙමත් නැත්නම් විරිඳු ගායනා කරන සමහර පුද්ගලයොත් මේකට හවුල්. මේ ගැන ඔබේ අදහස."

"මම කලින් කිව්වෙ ඒකයි. මේක සමාජ ප්‍රශ්නයක්. වංචාකාර ආකාරයෙන් මුදල් හොයනවට වැඩිය තමන්ගෙ යම් හැකියාවක් ඉදිරිපත් කරල මුදලක් හොයාගන්න එක සාධාරණයි කියලයි මගේ පුද්ගලික මතය. මොකද සුපර් ස්ටාර්ස්ල කරන්නෙත් තම හැකියාවන් ඉදිරිපත්කරල ජනප්‍රිය වෙන එකනෙ. එයාල එයාලගෙ හැකියාවන් විකුණන්නෙ නැද්ද? ඒ හැකියාවෙන් දැවැන්ත ව්‍යාපාරිකයො කෝටි ගණන් මුදල් හොයන්නෙ නැද්ද? එහෙම නෙවෙයි අපි නීතිය පැත්තෙන් ම විතරක් හිතන්න නරකයි. නමුත් අර ඔයා කියපු විදියට මිය ගිය පුද්ගලයින් පවා අළෙවි කරමින් මිනිස්සුන්ගෙ මුදල් ගසා කන අයට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට ජනතාවගෙ සහයෝගය අනිවාර්යයෙන් ම අපිට ලැබෙන්න ඕන."

"සමහර බස් රියදුරන් ඒවගේම බස් කොන්දස්තරවරුන් මේ පුද්ගලයින්ට සහයෝගය දක්වනව කියලත් යම් යම් චෝදනා තියනව. ඒ ගැන ඔබතුමාට මොනව හරි කියන්න පුලූවන් ද?"

"බස් කොන්දොස්තරවරුන් කියන්නෙ නිතරම විවිධ චෝදනාවලට ලක්වෙන පිරිසක්නෙ. සමහරවිට ඔබ කියන කාරණෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. ඒ වුනාට අපි මෙහෙම හිතුවොත්. යම් ආධාරයක් ඉල්ලන්න හරි ගීතයක් විරිදුවක් ගායනා කරන්න වගේ දේකට බස්රථයට ගොඩවෙන පුද්ගලයෙකුට කොන්දොස්තර බැනල එලව ගත්තොත් ඒකත් කොන්දොස්තරවරයට මගීන්ගෙන් බැනුම් අහන්නවෙන කාරණයක් වෙන්න බැරිද? අන්න ඒකයි. මිනිස්සුන්ගෙ අදහස් විවිධාකාරයි. ඔබ කියපු විදියට මෙතරම් සූක්ෂම ලෙස සංවිධානය වුණ පිරිසකට රියදුරා සහ කොන්දොස්තර තමන් වෙත නතු කර ගැනීම පහසු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි රියදුරාගෙයි කොන්දොස්තරවරයගෙයි වගකීමක් තමයි මගීන්ට කරදරයකින් තොරව ගමන් කිරීමට ඉඩ සලසා දීම."

විෂම සමාජ ක්‍රමයක් කේන්ද්‍රීය වුණ සමාජයක පරිධියේ ක්‍රියාකාරීත්වය පාරිශුද්ධ වූ දෙයක් ලෙස පවතී යැයි විශ්වාස කිරීමට නොහැක. එහෙත් වත්මනෙහි ජිවන බරින් මිරිකී සිටින මිනිසුන්ගේ මුදල් පසුම්බියේ ඇති සොච්චම් මුදල ද සූරාගන්නා මෙවැනි පිරිස් පිළිබඳව ජනතාව මීට වඩා අවදියෙන් සිටිය යුතුබව අමුතුවෙන් කිව යුතු නැත. මින් ඉදිරියට හෝ මෙවන් පුද්ගලයන් හෝ කණ්ඩායම් තමන් අබියසට පැමිණි මොහොතේ දී මින් පෙර මෙන් "පින්" තකා යමක් දීමට පෙර දෙවරක් සිතන මෙන් ඉල්ලා සිටිමු.


ලංකා ඊ නිව්ස්හි විශේෂ ලියුම්කරුවෙකු විසින් පළ කරන ලඳ මෙම ලිපිය ඔස්සේ සමාජය ගැන කියවීමක්ද කරන බැවින් කොදෙව්ව තුලින්ද පල කළ අතර ඒ තුලින් සමාජයේම පිඩීත තත්වයන්හි පෙරෙලන අපද රවටමින් කරන්නාවු මේ ජවාරම තුලින් පිඩීත කොටසක්ට කරන්නා වු සේවාවද මත්ද්‍රව්‍ය වලින් මුදවාගැනීමට කරන බවක් කියන සේවාද නිසා යහපතක් වුවත් වංචාව හා මියැදුණු/ බරපතල රෝගීන්ගේ නාමයන් අවසරැතිව / අනවරයෙන් කරන්නවු ක්‍රියා පිළිවෙත නිසා අනුමත කළ යුතුද? මෙහි විසදුමක් සඳහා අපේ සමාජයේම විශ්මතාවයට ඔබට කළ හැක්කේ කුමක්ද?

ලිපියේ අත්තර්ගතයේ අයිතිය ලංකා ඊ නිව්ස් සතුය.