කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පූජා දිසානායක
at විකල්ප
ImageHost.org
 

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය කිරීම හාස්‍යජනකය. මෙය සිදු වූයේ ස්වර්ණවාහිනියේ කොමඩි ස්ටාර් වැඩ සටහනේ විනිශ්චයකදීය. එම වැඩ සටහනේ අවසන් හතර දෙනාගේ වටයේදී එක් තරඟකරුවකු ඉදිරිපත් කළ අංගය කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කළ අගතිගාමී එකක් විය. තමා මිල දී ගත් රොබෝ ගැහැණියගේ අංගෝපාංග ගැන විස්තර කරන ඔහු ගැහැණුන්ගේ නුවණ හැඳි මිටට සමාන කළේය. රොබෝ ගැහැණිය වගේම සැබෑ ගැහැණුන්ද හදවතක් නැති අය බව උපහාසමය ආකාරයට ඇඟවීම් කළේය. එම ආචීර්ණකල්පිත අගතිගාමී මත පුනරුච්චාරණයෙන් විනිසුරු මඩුල්ලද හොඳහැටි විනෝද වූ ආකාරයක් පෙනෙන්නට තිබිණ. එපමණක් නොව, තද කර ගත් සිනාවෙන් යුතුව ඔවූහූ තරඟකරුවාට උපරිම ලකුණු ලබා දෙමින් ඔහුගේ දක්‍ෂතාවය අගය කළහ.

විනිසුරුවන් ලෙස එදා කටයුතු කළේ රෝයිද සිල්වා, රොනී ලීච් හා කුමාර තිරිමාදුර යන තිදෙනාය. තිදෙනාම එකසේ තරඟකරුවා අගය කරමින් මුළු ලකුණුම ඔහුට ලබා දුන්හ. මේ විහිළුවේ විහිළුව ගැන මට මතක් වූයේ ඊට පෙර වැඩ සටහනකදී කාන්තාවන් අපහාසයට පත් කරන අංගයක් ඉදිරිපත් කළ තරඟකරුවකුට එදින විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ යන දෙදෙනා කළ ප්‍රකාශයන් නිසාය. එදින සුමණා අමරසිංහ කාන්තාවන් අපහාසයට පත් කරන විහිළුවලට එකඟ වන්න බැරි බව කියමින් හා එවැනි විහිළුවලින් වළකින ලෙස කියමින් එම තරඟකරුවාට අඩු ලකුණු ලබා දුන්නාය. වසන්තද ඒ ආකාරයටම ප්‍රකාශ කරමින් අඩු ලකුණු ලබා දුන්නේය. අනෙක් විනිශ්චයකරුවා ලෙස කටයුතු කළේ රෝයිද සිල්වාය. එදා ඔහුද සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ අනුව යමින් එවැනි විහිළුවලට එකඟ නොවන ප්‍රකාශයක් කළේය. එහෙයින් මේ කියන දිනයේ අවම වශයෙන් රෝයිද සිල්වාටවත් පෙර දිනයේ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ සමඟ දුන් විනිශ්චය මතක් වේයැයි බලා සිටියෙමි. එවැනි කිසිදු මතකයක් ඔහු තුළ නැති බවත් ඔහුද ගැහැණුන් අවතක්සේරුවට, අපහාසයට, අපහසුවට පත් කරන සමාජ නිර්මිතයේ තවත් එක් පුරුෂයකු පමණක් බව ඔප්පු කරමින් අනෙක් දෙදෙනාට සමාන වී සිටියේය. තරඟකරුවන් විනිශ්චය කරන්නන් තරඟකරුවට වැඩි ඉදිරි දැක්මක් හෝ දැනුමක් ඇත්තන් නොවන බව සනාථ කරමින්, තමාගේ උරුමයට පත් ගැහැණිය සුරතල් කළ තරඟකරුවාට එම තිදෙනාම සමාන වී සිටියහ.

මේ සිදුවීම හරහා මේ රටේ පුරවැසියන් වූ ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධයෙන් මේ රටේ ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය හා ඔවුන්ගේ අගතිගාමී ආකල්ප ගැන දිගු කතිකාවක් කළ හැකිය. මේවා සම්බන්ධයෙන් මේ රටේ පුරවැසි ස්ත්‍රී පුරුෂයන් හඬක් නොනැගීමේ අනතුර ගැන කතා කළ හැකිය. නමුත්, අපේ පුරුවැසි සමාජයට ඉතා කෙටි ප්‍රශ්න තුනකින් දමා ගසමින් මම මගේ විරෝධය පළ කරමි. එදා වැරැද්ද පෙනුනේ කාන්තාවක් විනිශ්චය මණ්ඩලයේ සිටි නිසාද? මෙදා වැරැද්ද නොපෙනුනේ කාන්තාවක් නොසිටි නිසාද? එයින් පෙනෙන්නේ ස්ත්‍රී පුරුෂ සමබර බවක් නැති විනිශ්චය මණ්ඩල තීරණවල අයුක්ති සහගත බවද? එසේත් නොමැතිනම් මෙයට හේතුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව අසංවේදී, පුරුෂ බල පරාක්‍රමයම ක්‍රියාත්මක ජනමාධ්‍ය භාවිතාවේ ඇති සදාචාර විරෝධී බවද?

Comments (10)

රොකියා

9:16 PM, October 04, 2009

අපි මේ ගැන කොච්චර කතා කෙරුවත්, මේකට බැන්නත් රටේ බහුතරයක් දෙනා මේවගෙ ප්‍රාතමික මට්ටමේ දේවල් බලන්න ආසයි.
ඒක අපෙ රටේ අවසනාව වෙන්න ඇති.රටේ මිනුස්සු ආකල්පමය වශයෙන් වෙනස් වුනෙත් විතරයි මේ වගේ මෝඩ වැඩසටහන් වලට විරුද්දව කතාකරන්න පුලුවත්.
ස්වර්ණවහිනියේ හිටපු ජැක්සන් ඇන්තනී, හේම නලින්, වගේ ප්‍රවීන අය ගොඩක් දැන් ඒකෙ වැඩ කරන්නෙ නෑ. ඒක නිසා වෙන්න ඇති මේවගේ කිසිම හරයක් නැති සහ මිනිස්සුන්ගෙ හැඟීම් සමග සෙල්ලන් කරන වැඩසටහන් වැඩසටහන් මෙහෙයවන්නෙ.

දුකා

10:51 PM, October 04, 2009

ඇත්තෙන්ම අපේ රටේ ප්‍රේක්ශකයා රසවින්දනය යනු කුමක්දැයි දැනුවත් කරන තුරු . . . දැනුවත් වෙන තුරු . . . මේ වගේ ගොං පාට් අපිට හැමදාම බල බල ඉන වෙනවා බීන්කු . . .

Anonymous

11:37 PM, October 04, 2009

හොඳම වැඩේ ඔය කරුම නොබලා ඉන්න එක තමා...

Dilshan

6:32 AM, October 05, 2009

සහතික ඇත්ත, ඇත්තටම දැන් ස්වර්ණවහිනියේ එකෙ ඉන්නෙ මොක්කුන්ද කියල හිතාගන්න බැහැ, එක පටන් ගත්තු මුල්කාලෙදි ක‍රපු වැඩ ගැන බැලුවම දැන් මෙ තියෙන්නෙ ස්වර්ණවහිනියමද කියල හිතාගන්න බැහ, බින්කු කිව්ව දෙයක් නිවැරදි ක‍රන්න ඔනෙ මට මතක හැටියට මෙවගෙ ඉදිරිපත් කිරීමකදි මුලින් වතවෙදි විරුද්ද ප‍්රකාශයක් කෙරුවෙ සුමණා අමරසිංහ නොව වසන්ත මොරගොඩ සමඟ සුසිලා කොට්ටගෙ වියයුතුයි .

kade yanna giyama ohoma wenawa !!

අක්කණ්ඩි

9:27 AM, October 05, 2009

ස්වර්ණවාහිනියෙ පමනක් නොව බොහෝ මාධ්‍යය ආයතතන වල පමණක් නොව රජයේ ආයතනවලද ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන බොහෝ විට සලකන්නේම නැති තරම්ය. ගැහැනුන්ව අපහාසයට පත් කරන මේ පිරිමින්ට තමන්ගෙ ගෙදර මවක්, නැගනියක්, බිරියක් නැද්ද?
එබඳු මුග්ධ නිරමානයකට ජයග්‍රහනය අත් කර දීමෙන් ඔවුන් කර ඇත්තේ ඔවුන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කිරීමයි. ඔලුව කොහෙදෝ අස්සක ගහ ගෙන අනිත් හරිය එලියෙ දාගෙන හිටි කවුදෝ මතක් වෙන්නෙ ඒ නිසාය.
තරු තෝරන්නට ගොස් තරු පෙන්නන්නන අයට ඉතා ඉක්මණින්ම තරු පෙනෙනු ඇත කියා මට සිතෙයි.

DragonD

6:56 PM, November 01, 2009

සහෝදරයා , ඔය වැඩසටහනෙදි ගැහැනු කෙනෙක් පිරිමි රොබෝ කෙනෙක් ගැන ඔය වැනි විහිලුවක් කලෙ නම් ඔබ මෙවැනි කතාවක් කියනවද ?

තම තමාගේ දර්ශන වලට අනුව අනුන්ව විවේචනය නොකර එහි තිබූ එක හොඳක් හෝ දැකීම මීට වඩා හොඳ නැතිද ?

~බිன்ku~

10:14 PM, November 05, 2009

DragonD, මෙතැනදී මුලිකව අවධාරණ කරන කාරණාව වන්නේ විනිසුරු මණ්ඩලයේ දෙමුණු කතාවයි.

සමාජයේ බොහෝවිට පුරුෂයා සන්දර්භය කොටගෙනන අභියවා සිටින අතර බොහෝ අංශවලදී කාන්තාව වෙළඳ භාණ්ඩයක් කර ගමින් යොදා ගන්නා අතරම අනෙක් වේලාවට ඇයව අපහාසයට හා විසිළුවට ගනියි. ඒ තත්වය පවුල් සමාජය තුළින්සේම සමාජයේ බොහෝතැන් වල ක්‍රියාත්මකවෙනවා. එහිලා රූපවාහිනීය කරන්නේ ලොකු බලපෑමක් නොවෙයිද?

කාන්තාව සෙල්ලම් බඩුවක් නොවනබව සලකන්න. හිරු එෆ්.එම් එකේදීත් මෙවැන්නක් ළඟදී හෝ සිදුවුණා

Ansh

5:19 AM, February 12, 2010

කාන්තාව සෙල්ලම් බඩුවක් නොවනබව සලකන්න.

Ansh

3:03 PM, September 28, 2010

කාන්තාව සෙල්ලම් බඩුවක් නොවනබව සලකන්න.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.