පින්වත පින්වතිය අද දින වෙන්න සමා
කියනව මගේ දුක ඔහෙලට සිරස නමා
උරුම වෙන්න තිබුණේ මේ දුකම තමා
පිහිටක් වෙලා යනවද පින් පතමි මෙමා
උරුම වෙන්න තිබුණේ මේ දුකම තමා
පිහිටක් වෙලා යනවද පින් පතමි මෙමා
(උපුටා ගැනීම. "යාචක සන්නිවේදනය" මෙත් ලාල් වීරසූරිය පිට 49)
70 දශකයේ විසූ යාචකයින් බස් රථයේ හෝ දුම්රියේ ගමන්ගන්නා මගීන්ගෙන් සහ මහමග ගමන් ගන්නා පුද්ගලයින්ගෙන් යම් මුදලක් ඉල්ලා ගැනීම සඳහා මෙවන් කවි ගායනා කිරීම පුරුදු පුහුණු වී සිටියහ. නමුත් වර්තමානයේ මෙවන් කවි ගායනා කිරීම විශාල වශයෙන් අඩුව ඇත. එහෙත් ඊට වඩා දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කරමින් අද යාචක වෘත්තියේ යෙදෙන පිරිස තම ජීවිකාව සරිකර ගනිති.
මෙම නවීන ක්‍රම භාවිතා කරන යාචකයින් තමන් යාචකයින් යැයි හඳුන්වා ගැනීමට ද මැලිකමක් දක්වති. යාචක වෘත්තිය හුදෙකලා පුද්ගලයින් මෙන්ම සංවිධානාත්මක පිරිස් විසින් මෙහෙය වන බව අපි කවුරුත් දන්නා කරුණකි. යාචකයින් පිළිබඳ අගනා පර්යේෂණයක යෙදෙමින් "ශ්‍රී ලංකාවේ යාචකයා" නමින් ඉතා වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කළ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා තම කෘතියේ මේ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පෙන්වා දි ඇත. මෙත්ලාල් වීරසූරිය මහතා විසින් රචිත "යාචක සන්නිවේදනය" කෘතියේ ද මේ පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ඇත.
මෙම ලිපිය ලිවීම සඳහා මා පෙළඹවූයේ මා ලැබූ අත්දැකීමක් නිමිතිකොට ගෙනයි. සැහැල්ලූවෙන් ආරම්භ කළ මෙම සොයා බැලීම නොසිතූ ලෙස ගැඹුරු අධ්‍යයනයක් බවට පත්වූයේ මා ද විශ්මයට පත්කරමිනි.
නෙත් සිත් පැහැරගන්නා රුව සහ කට
මීට මාස දහයකට පමණ පෙර එක් දිනක මා මගේ මිත්‍රයෙක් සමඟ මහරගම නගරයෙන් බසයකට ගොඩවූයේ පිටකොටුව බලා ගමන් කිරීම සඳහායි. අප පැමිණි බසය නුගේගොඩ ඉන්ධන පිරවුම්හල පසුකොට, ඊට තරමක් ඉදිරියෙන් ඇති පන්සල ඉදිරිපිට නතරකරවී ය. නැවත බස් රථය පිටත්වීමට මොහොතකට පෙර බස් රථයට ගොඩ වූයේත ලිපිගොනු රැසක් සුරතෙහි දරාගත්, හොඳින් හැඳ පැළඳ ගත්, කඩවසම් තරුණයෙකි. දුටු පළමු මොහොතේම ඔහු කෙරෙහි ආකර්ෂණය නොවන පුද්ගලයෙක් නොවේනම් ඔහු හෝ ඇය දෙනෙත් අඳ පුද්ගලයෙකු විය යුතුය. ඔහු එතරම් කඩවසම් තරුණයෙකි. බසයට ගොඩවූ ඔහු බස් රථයේ ඉදිරි අසුන් පෙළ අසල සිටගත්තේ මුළු බස් රථය ම තමන්ට පෙනෙන පරිදිය.
"ආදරණිය අම්මේ තාත්තේ, අක්කේ අයියේ, මොහොතකටවත් හිතන්න එපා මම හිඟන්නෙක් කියල. මම දැනට පුද්ගලික ආයතනයක කාර්යාල කාර්ය සහයකයෙක් ලෙස සේවය කරනවා. මට ජීවත්වීම සඳහා කිසි අපහසුවක් නෑ අම්මේ තාත්තේ. නමුත් මේ මොහොත වනවිට මගේ බිරිඳ (පෞද්ගලික රෝහලක නමක් පවසයි.) හැට තුන්වන වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඇය සුව කිරීමට අපහසු සුසුම්නාවේ රෝගයකින් පෙළෙනවා. මෙම රෝගය සුව කිරීම සඳහා කල යුතු සැත්කමට ලක්ෂ පහක මුදලක් ඕන වෙනවා අම්මේ තාත්තේ, මට ලැබෙන වැටුපෙන් කවදාවත් මේ මුදල එකතු කරගන්න ලැබෙන්නේ නැහැ. අක්කේ , අයියේ. නමුත් අම්මේ තාත්තේ මට ජනාධිපති අරමුදලෙන් පනස්දාහක් ලැබෙනවා. මා සේවය කරන ආයතනයෙන් පනස්දාහක් ලැබෙනවා. ඒත් මම තව ලක්ෂ හතරක් හොයන්න ඕන. ඒ නිසයි අම්මේ තාත්තේ මම මේ විදියට බස් එකට නැගල ඔයාලට අතපාල කීයක් හරි ඉල්ලන්නේ. "
මෙම පුද්ගලයාගේ චතුර වාග් විලාසයත්, ඔහුගේ හැඟිම්බර ආයාචනයත් නිසා බස් රථයේ සිටි පිරිස අතරින් සියයට අසූවක් පමණ පිරිසකගෙන් එක් අයෙකුගෙන් ඔහුට අවම වශයෙන් රුපියල් දහයක්වත් ලැබුණි. මමත් මගේ මිත්‍රයාත් ඔහුට මුදල් දීම සඳහා නොපෙලඹුණි. ඒ, මෙය සංවිධානාත්මක පිරිසකගේ කාර්යයක් බව අප සැක සිතූ බැවිනි. බස් රථයේ සිටි කිසිවෙක් ඔහුගේ අනන්‍යතාව සෙවීමට නොපෙළඹුණි.
මෙම සිදුවීම මෙසේ සිදුවී මසක් පමණ ගතවූ පසු මා, මළ ගෙදරකට සහභාගී වීම සඳහා පානදුර සිට හොරණ දක්වා ගමන් කරන බස් රථයකට ගොඩවූයේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟිනි. ඒ මොහොතේ ද පෙර කී පුද්ගලයා මෙම බස් රථයට ගොඩවිය. අසල සිටි මිතුරාට මෙම පුද්ගලයා පිළිබඳ තොතුරු පැවසූ මා ඔහුට නිහඬව සිටින ලෙස පවසා මෙම පුද්ගලයාගේ දේශනාවට සවන් දුන්නෙමි.
මීට පෙර නුගේගොඩ දී පැවසූ දෙයට වඩා හාත්පසින් ම වෙනස් හේතුවක් පවසා මොහු බස් රථයේ සිටි මගීන්ගෙන් මුදල් එකතුකර ගත්තේ ය. අද මොහු පැවසුවේ තම දරුවාගේ හෘද සැත්කමක් සඳහා මුදල් එකතු කරන බවයි. මමත් මගේ මිත්‍රයාත් එදා සැක කළ කරුණු අද ප්‍රත්‍යක්ෂ වී ඇත. අප සිව්දෙනා එක්ව රහසේ කතිකා කරගත්තේ මෙම පුද්ගලයා බසයෙන් බැස ගිය පසු ඔහු හමුවීමට යි.
ඔහු බසයෙන් බසිනවාත් සමග ම අපි සිව් දෙනා ඔහු පසුපස ඇදෙන්නට වූවෙමු. ඔහු කඩිමුඩියේ රිංගා ගත්තේ අසල තිබූ රේස් ඔට්ටුපලට ය. අප සිතුවේ ඔහු පැමිණියේ රේස් ඔට්ටු ඇල්ලීමට කියා ය. එහෙත් සිදු සිදුවූයේ වෙනත් දෙයකි. එම ස්ථානයේ රේස් පත්‍රිකාවක් කියවමින් සිටි තරමක් හැඩි දැඩි සිරුරකින් හෙබි පුද්ගලයෙකු අසලට ගිය මෙම තරුණයා තමා බස් මගීන්ගෙන් එකතුකරගත් මුදල් සියල්ල එම පුද්ගලයා වෙත භාර දුන්නේ ය. මගේ සැකය තහවුරු වීම තවත් කඩිනම් විය.
එම ස්ථානයෙන් පිටවූ තරුණයා නැවතත් බස්නැවතුම්පළ දෙසට ගමන් කරන්නට විය. බස් නැවතුමට යාමට පෙර මම ඔහුට කතා කළෙමි.
"මල්ලි...මල්ලි...පොඩ්ඩක් ඔහොම ඉන්නවද?" අත්පුඩි ගසා ඔහුට අඬගැසූ විට ඔහු අප දෙස බැලූවේ තරමක කුතුහලයකිනි. එහෙත් ඔහු නතර විය.
"ඇයි දන්නෑ මට කතා කරේ?" මේවන විට අපි හතරදෙනා තරුණයා වටකොට සිටි බැවින් ඔහු තරමක් බියපත් වී ඇති බව අප වටහා ගත්හ.
"නෑ මල්ලි අපිට මේ... පොඩි කාරණයක් දැනගන්න." ඔහුගේ බියපත් බව තව තවත් උත්සන්න විය.
"ඔ...ඔය...ඔය මහත්තුරු කවුද? පොලීසියෙන් ද?" වෙව්ලන ස්වරයෙන් ඇසූ ඔහු අප වෙතින් පලා යාමට මෙන් වට පිට බලන්නට විය.
"නෑ...නෑ...මල්ලි...කලබල වෙන්න එපා. අපි පොලීසියෙන් නෙවෙයි. අපි පත්තරේකින්. ඔයා මොකද කලබල වෙන්නෙ?" මගේ මිතුරෙක් ඔහුගේ අතකින් අල්ලා තමා දෙසට හරවන අතර ඇසී ය.
"අනේ අයියෙ මගේ පිංතූරෙ නම් පත්තරේ දාන්න එපා. මම මේක කරන්නෙ කැමැත්තකින් නෙවෙයි." මමත් මුන්ට අහුවෙලයි ඉන්නෙ.
මෙම තරුණයාගේ ප්‍රකාශය තුළ යමක් සැඟවී ඇති බවත්, එය සුළුපටු කරුණක් නොවන බවත් තේරුම් ගැනීමට අපට අපහසු නොවී ය. ඔහුගේ බිය තුරන් කළ අපි, ඔහු සමඟ නගරයට තරමක් නුදුරින් පිහිටි ආපන ශාලාවට ගොඩවූනෙමු. දිවා ආහාරය ලබාගන්නා වෙලාව ආසන්න වුව ද අපි "ෂෝට් ඊට්ස්" ඇණවුම් කළෙමු. තේ පානය කරන අතරතුර තමන් පත්වී සිටින තත්ත්වය අප හට පැවසුවේ ඔහුගේ අනන්‍යතාව කිසි ලෙසකින්වත් හෙළි නොකරන බවට අප පොරොන්දු වූ පසුව ය.
මෙතැන් සිට ඔහුගේ කතාවට සවන් දෙමු.
ආදරයක් කළ හදියක්
මෙම තරුණයාගේ ගම්පියස වුණේ ගාල්ලෙ නාකියාදෙණිය. අපි ඔහු ප්‍රදීප් නමින් හඳුන්වමු. උසස් පෙළ සමත් වුව ද අවම ලකුණු මට්ටම සපුරා නොතිබූ බැවින් සරසවි වරම් අහිමි විය. තම තේ ඉඩමේ කටයුතුවල නියැලී සිටි ඔහු රැකියාවක් පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළේ ය. ඔවුන් ප්‍රදේශයේ කුලවත් යැයි කියාගන්නා පරපුරකින් පැවත එන අතර අඩු කුලය යැයි සම්මත පිරිසක් ද එම ගම් පියසේ එක් කොටසක කල් ගෙවූහ. තම වත්තේ තේ දළු, තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන යන අතරතුර හඳුනාගත් අඩු කුල තරුණියක් සමඟ ඔහු සබඳතාවක් ඇතිකර ගත්තේය. එහෙත් කුල මානයෙන් හිස උදුම්මාගත් වැඩිහිටියන් මෙම සම්බන්ධය නවතාලීම සඳහා නොයෙක් උපක්‍රම යෙදූහ. නමුත් ප්‍රදීප් ඒ සියලූ බාධක මගහැර තම හිතගත් තරුණිය සමඟ රහසේම ගමෙන් පිටවී කොළඹ සිටි තම හිතවතකුගේ මාර්ගයෙන් කුඩා කාමරයක් කුලියට ගෙන රානි සමඟ එහි පදිංචි විය. ප්‍රදීප් ආරක්ෂක නියාමක රැකියාවකට යොමු වූ අතර රානි රැකියාවකට යොමු නොවී ය.
කාලය ඉක්ම යාමත් සමඟම ප්‍රදීප් පිය පදවියත් රානි මව් පදවියත් දැරීමේ ලකුණු පහළ විය. එතැන් සිට ඔවුන්ගේ ජීවිතයේ ඒකායන පැතුම වූයේ ඉපදෙන්නට සිටින කිරිකැටියායි. නියමිත කාලයට වඩා පෙර රානි රෝහල්ගත කිරීමට සිදු වූ අතර දරු ප්‍රසූතියේ දී කිරිකැටියා ප්‍රදීප්ගෙ දෝතට දුන් රානි කිසිවෙක් නොසිතූ ලෙස මිය ගියාය. ප්‍රදීප්ට කරන්න තිබුණෙ ගමට යන එක විතරයි. එතැන් සිට මේ දරුවට අම්ම වුණේ දරුවගෙ ආච්චි. ඒ කියන්නෙ බිරිඳගෙ අම්ම. ඒවනවිට බිරිඳගෙ සහෝදර සහෝදරියො තුන්දෙනාම විවාහ වෙලා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගිහින් තිබුණා. හිතුවක්කාරයට කරගත්තු කසාදයක් නිසා ප්‍රදීප්ගෙ දෙමාපියො ප්‍රදීප්ව පවුලෙන් අයින් කරල තිබුණා. ඔහු මෙදාපාර රැකියාව විදියට තෝරගත්තෙ කුරුඳු තැලීම. ජීවත්වෙන්න පුළුවන් තරමෙ ආදායමක් ඒ රැකියාවෙන් ලැබුනත් දරුවට මාස හයක් වෙනකොට ඒ කුඩා දරුවගෙ නාසයෙ කුඩා ගැටයක් ඇවිත් දරුවාට ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතාවයක් ඇතිවුණා. එතැන් සිට මාස නමයක් දරුව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ගත්ත. දරුවගෙ රෝගය පිළිබඳ කටයුතු කරපු වෛද්‍යවරය කිව්ව ලක්ෂ පහක් හොයා ගත්තොත් දරුවව නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියල. ඔහු දරුවගෙ රෝගී තත්ත්වය පිළිබද සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් ප්‍රදීප්ට දුන්නා. ඔහු එතනින් නතරවුණේ නැහැ. පුවත්පතකට දාන්න දැන්වීමකුත් හදල දුන්නා. පුවත්පත් දැන්වීමෙන් පස්සෙ ඔහුගේ බැංකු ගිණුමට යම් මුදල් ප්‍රමාණයක් ලැබුණත් ඒ මුදල දරුවගෙ අසනීපය සුව කරන්න තරම් ප්‍රමාණවත් වුණේ නෑ. මේවන විට දරුවගෙ ජීවිතය පිළිබඳ විශාල අවදානමක් තිබුණ නිසා ප්‍රදීප් හිටියෙ සෑහෙන්න හිත් අමාරුවෙන්.
ඔය අතරතුර අර වෛද්‍යවරය ප්‍රදීප්ට එක්තරා පුද්ගලයෙක් හඳුන්වා දුන්නා. වෛදවරයා කිව්වෙ එම පුද්ගලයා කියන විදියට වැඩ කරන්න කියලා. එවිට දරුවගෙ ජිවිතය බේරගන්න පුළුවන් වන බව වෛද්‍යවරයා පැවසුවා. ඔවුන්ගෙ යෝජනාව වුණේ සියලූ වෛද්‍ය වාර්තා අරගෙන ගමින් ගමට ගොස් ආධාර එකතු කරන්න. ඒත් ඒ වෙනුවෙන් වෙන් කරන්න තරම් කාලයක් ප්‍රදීප්ට ඉතුරු වුණේ නෑ. ඒ සඳහා ඔවුන්ම යෝජනාවක් ඉදිරිපත් කළා.
"නෑ නෑ මල්ලි. ඔයා මහන්සි වෙන්න ඕන නෑ. ඔයා ඔයාගෙ වැඩ ටික කරගෙන යන්න. අපි ඒ වැඩේ කරල දෙන්නම්. එකතුවෙන මුදලෙන් 60ක් අපිට දෙන්න. ඉතිරි මුදල් ඔයාගෙ දරුවගෙ වැඩේට යොදවන්න."
තමන් මුහුණපාලා ඉන්න තත්ත්වය අනුව වෙන කළ යුතු දෙයක් නැති නිසා ප්‍රදීප් ඒ වැඩේට කැමති වුණා. ඒ පුද්ගලය සති තුනක් ඇතුළත ප්‍රදීප් ට වුවමනා මුදල ඔහුගේ අතට ගෙනත් දුන්න. මුදල් හෙව්වෙ කොහොමද කියන එක ප්‍රදීප් ට හොයන්න වුවමනා වුණේ නෑ. ලංකාවෙ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක දරුවගෙ ශෛල්‍යකර්මය කළා. ඒත් අවාසනාවක මහත ශෛල්‍යකර්මයෙන් සති දෙකකට පස්සෙ දරුව මිය ගියා.
දරුව මිය ගියාට පස්සෙ ප්‍රදීප් පිස්සෙක් වගේ තැන් තැන්වල ඉබාගාතෙ ඇවිදින්න පටන් ගත්තා. දවසක් ගාල්ලෙදි ප්‍රදීප්ට කෙනෙක්ව මුණ ගැහුණා. ඒ අර සල්ලි හොයල දීපු පුද්ගලය. ඔහු ප්‍රදීප්ව තමන්ගෙ තැනට අරගෙන ගියා. ටික දවසකින් ප්‍රදීප් සාමාන්‍ය තත්ත්වයට වුණා. එදා ඉඳල ප්‍රදීප් මේ විදියට මුදල් එකතු කළා. ලැබෙන ආදායමෙන් 30ක් ප්‍රදීප් ට ලැබුණා. සමහර අවස්ථාවලදි මිය ගිය ළමයින්ගෙ සහ වැඩිහිටියන්ගෙ තොරතුරු ජනතාවට ඉදිරිපත් කරලත් මුදල් එකතු කරා. එම මුදල්වලින් 50ක කොටසක් ප්‍රදීප් ට ලැබුණා. බොහෝ වෙලාවට ඒ අවස්ථාව ලැබෙන්නෙ ප්‍රධානිය එදිනෙදා තෝරන අනුපිළිවෙළට යි.
මේ විදියට මුදල් එකතු කරන්නේ ප්‍රදීප් පමණක්ම නොවේ. මෙම සංවිධානය වෙනත් පුද්ගලයින් ද යොදවා දිවයිනේ විවධ ප්‍රදේශ තුළ විවිධාකාරයේ උපක්‍රම භාවිතා කරමින් මුදල් එක්රැස් කරති. මෙය මත් ද්‍රව්‍ය ව්‍යාපාරය තරම් ම සංවිධාන ගත වූවකි. ප්‍රදීප් ගෙන් ලබා ගත් තොරතුරු මත මෙම මුදල් එකතු කරන්නන් පිටුපස ඇති සංවිධාන ජාලය පිළිබඳ තවත් වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි විය. මෙම සංවිධානය මගින් රජයේ සහ පෞද්ගලික රෝහල් තුළද තම නියෝජිතයින් යොදවා ඇත. විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන සෑම රෝගියෙක් පිළිබඳවම තොරතුරු මෙම සංවිධානය අතට පත්වන්නට ගතවන්නේ පැය හතලිස් අටක් පමණි. මොවුන්ගේ සංවිධාන ජාලයේ සූක්ෂම බව මින් මනාවට පැහැදිලි වේ. මේ සඳහා රෝහල් කාර්ය මණ්ඩලයේ අයගෙන් මෙන්ම, සෘජුවම වෛද්‍යවරුන්ගෙන්ද තොරතුරු ලබා ගන්නා අවස්ථා ඇත. එහෙත් මෙම සංවිධානය වඩාත් උත්සාහ කරණුයේ වෛද්‍යවරයාට රහසේ මෙම තොරතුරු එක්රැස් කිරීමටය. ඒ වෛද්‍යවරයා වෙත ගෙවිය යුතු මුදල ද තම බැංකු ගිණුම වෙත බැර කර ගැනීමේ පරමාර්ථයෙනි.
අතරමං වූ දේශපාලන සගයා
මෙම සංවිධානයේ බස්නාහිර පළාත භාරව කටයුතු කරන පුද්ගලයා හමුවීමේ අවස්ථාව ද මට ලැබිණි. ඔහුගේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොළඹ නගරයට ආසන්න නගරයක ය. කොන්දේසි ගණනාවකට යටත්ව ඔහු මා හා කතා බහක යෙදෙන්නට එකඟ විය. මෙතැන් සිට ඔහුව අනිල් නමින් හඳුන්වමු.
මම :– මට මුලින් ම කියන්න ඔබ කොහොමද මේ වගේ නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ වුණේ?
අනිල් :– අන්න...අන්න...මහත්තයා පටන්ගන්නකොට ම වැඩේ දෙල් කරන්නනේ හදන්නෙ. මේක නීති විරෝධී වැඩක් නොවෙයි කියන පදනමේ ඉඳල කතා කරනවනම් තමයි වඩා හොඳ.
මම :– හරි... හරි... මම ඒක ඉල්ලා අස්කර ගන්නම්කො.
අනිල් :– හරි එහෙනම් අපි පටන් ගමු. මගේ ගම ඇල්පිටියෙ. 87–89 කාලෙ අපිට තිබුණ උණට තමයි අපි ජේවීපී එකට බැඳුණෙ. එහෙම නැතුව මොනම හෝ දේශපාලන දැනුමක් තිබුණෙ නැහැ. දවසක් අපි හතර දෙනෙක් විරුද්ධවාදියෙකුගෙ ගෙදරට ගියේ ඒගොල්ලන් ව බය කරන්න. නමුත් අපේ අයගෙ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා ඒ ගේ ගිනි ගත්ත. ඒ ගෙදර හිටිය ඇවිදින්න බැරි මනුස්සයෙක්. ඒ මනුස්සයව පිච්චෙන්න දීල බලන් ඉන්න තරම් ගල් හිතක් මට තිබුණෙ නෑ. මම ගේ ඇතුළට පැනල මනුස්සයව එළියට අරගෙන ආව. නමුත් මාව පිච්චුණා. මේ බලන්න. මේ තියෙන්නෙ ඒ ලකුණු තමයි. (ඔහු තම කමිසය ගලවා ඔහුගේ පිට පෙදෙස මා වෙත පෙන්වයි. පිට පෙදස සම්පූර්ණයෙන් ම පිච්චී ඇති බව දැකගන්නට ලැබුණි.)
මම :– ඉතිං එදා ඔයා නොමැරී බේරුණේ කොහොමද?
අනිල් :– ඒක ලොකු කතාවක්. එදා මම ජීවිතය බේර ගත්තත්, මගේ ගෙදර අය හතර දෙනෙක්ම හමුදාවෙන් මරල දැම්ම. ගෙදර අය මැරෙන්න කලින් එයාල මට බෙහෙත් කරේ කැලේ තියාගෙන. අන්තිමේදි මගේ තුවාල පැසවන්න ගත්ත. මම කැලෑ පාරෙන් නගරයට ඇවිත් හිගා කන්න පටන් ගත්ත. නමුත් මට එහෙම ඉන්න ලැබුණෙ දවස් දෙකයි. කව්දෝ කට්ටියක් මාව අරගෙන ගියා. ගියේ කොහේද කියලවත් මම දන්නෙ නෑ. මම ජීවිතය ගැන තියන ආශාව අත්හැරිය.
මම :– ඒත් ඔබ තාම ජිවතුන් අතර?
අනිල් :– ඔව්. මාව අරගෙන ඇවිත් තිබුණෙ හමුදාවෙන් නෙවෙයි. මේ සංවිධානයෙන්. එදා ඉඳල අවුරුදු තුනක් යනකම් මම කුරුනෑගල නගරයෙ හිඟා කෑව. මට යම් මුදලක් හම්බ වූණා. ඒ අතරෙ මම සංවිධානයට හොරෙන් තැන් තැන්වල හංගල සල්ලි ටිකක් එකතු කරගෙන එතනින් පැනල ආව.
මම :– ඒ ඇවිල්ලත් ඔයා නැවත මේ රස්සාවම තෝර ගත්ත.
අනිල් :– නෑ. මම නැවත ගියා පක්ෂයෙ අයව හම්බ වෙන්න. ඒත් ඒ එක්කෙනෙක්වත් මට කිසිම උදව්වක් කරන්න ඉදිරිපත් වුණේ නෑ. පස්සෙ මම නැවත හිඟා කන්න පටන් ගත්ත. හැබැයි ඉස්සර විදියට නෙවෙයි. අලූත් විදියකට.
ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසුව මෙම ව්‍යාපාරය පිළිබඳ සාමාන්‍ය ජනතාව නොදන්නා විස්තර විශාල ප්‍රමාණයක් අනාවරණය විය. මෙම සංවිධානය බූවල්ලෙක් වැනි ය. සමාජයේ විවිධ අතවරයන්ට, අසාධාරණයන්ට, කොන්කිරීම්වලට සහ පසුබෑම්වලට ලක් වූ පුද්ගලයන් සංවිධානය විසින් තම ග්‍රහණයට හසු කරගෙන ඇත.
මේවන විට මෙම සංවිධානය ඉතාමත් සැලසුම් සහගත ලෙස මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. සංවිධානය තුළ ධනාත්මක වැඩ පිළිවෙලක් ද දක්නට ඇත. මත් කුඩුවලට ඇබ්බැහි වී විනාශ වීමට ගිය තරුණ ජීවිත පවා ඉන් මුදවා ගත් අවස්ථා ද ඇත. මේ පුද්ගලයා එවන් අයෙකි.
සමාජ විරෝධීත්වය සහ සුභ සාධනය
"මම මත් කුඩුවලට තදින් ම ඇබ්බැහි වෙලා හිටියෙ. දවසක් මම බස් එකෙන් බහින ගමන් ගෑනු කෙනෙකුගෙ චේන් එකක් කඩාගෙන දිව්ව. ඒ ගෑනු කෙනා කෑ ගැහුවට කව්රුවත් ආවෙ නෑ. නමුත් බස් එකේ හිටපු ටිකක් උස මහත කෙනෙක් මගේ පස්සෙන් එලවගෙන ඇවිත් මාව අල්ල ගත්ත. ඊට පස්සෙ මිනිස්සු මට වටකරල ගහන්න හදනකොට මාව අල්ල ගත්තු කෙනා කිව්ව එයා පොලීසියෙ කියල. පස්සෙ කව්රුවත් ගැහුවෙ නෑ. එයා මාව ත්‍රීවිල් එකක දාගෙන අරගෙන ගියා. හැබැයි පොලීසියට නෙවෙයි. දැන් මම විවාහකයි. මට කියල නිශ්චිත රැකියාවක් නෑ. එදිනෙදා වැඩ බෙදෙන විදියට තමයි වැඩ කරන්නෙ."
මොහු එදා අසු වී ඇත්තේ මෙම සංවිධානය විසින් යොදවන ලද ඔත්තුකරුවෙකුට ය. ඔවුන් යොදවා ඇත්තේ ප්‍රදේශයට අලූතෙන් එකතුවෙන හිඟන්නන් සොයා බැලීම සඳහා යි. ඒ ඒ ප්‍රදේශවල සාමාජිකයින්ගේ හැසිරීම නිරික්ෂණය කිරීම ද මොවුන්ගේ රාජකාරිවලට අයත් වේ. සංවිධානය විසින් එවැනි පුද්ගලයන් ගණනාවක් විවධ නගරවල යොදවා ඇත. තම සංවිධානයේ සාමාජියෙක් හට යම් කරදරයක් අතවරයක් සිදු වුවහොත් මොවුන් ක්ෂණිකවම ඒ වෙනුවෙන් මැදිහත් වේ. පසුගිය වසරේ පෙබරවාරි 2 වන දින දඹුල්ලේ පුපුරා ගිය බස් බෝම්බයෙන් මෙම සංවිධානයේ සාමාජිකයෙක් මිය ගොස් ඇති අතර ඔහු වෙනුවෙන් සංවිධානය රුපියල් 50,000ක මුදලක් මිය ගිය අයගේ යැපෙන්නන් වෙත පිරිනමා ඇත.
සංවිධානය වෙත තොරතුරු සැපයීම, ලබාගත් තොරතුරු අනුව අදාල පුද්ගලයින් මුණ ගැසීම, ඒ ඒ පුද්ගලයින්ගේ අවශ්‍යතාව අනුව විවිධාකාර ක්‍රමවේදයන් සැකසීම, එම ක්‍රමවේදයන් සඳහා පිරිස් පුහුණු කිරීම, ඔවුන් විසින් භාවිතා කළ යුතු ලියකියවිලි සකස් කිරිම, ඒ ඒ අවස්ථාවන්හි දී මිනිසුන් ආමන්ත්‍රණය කරන වාග් මාලාවන් සැකසීම, ඒවා ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ පුහුණු කිරිම, සහ නවක පුද්ගලයින් සංවිධානය වෙත බඳවා ගැනිම ආදී සියල්ල සිදුවන්නේ ඉතාමත් නිවැරදි සැලැස්මක් අනුවය. ඒ සඳහා නිසි පුහුණුවක් ලැබූ පුද්ගලයින් සංවිධානය තුළ වැටුපට සේවය කරති. ඔවුන්ගේ වැටුප් ඉහළ අගයක පවතී. නමුත් ඔවුන් දැඩි කොන්දේසි මාලාවකට යටත් විය යුතුය. තමන් වෙත ලැබෙන වැටුප පිළිබඳ සෑහීමකට පත්වන මොවුන් එම කොන්දේසි අකුරට ම පිළිපදී. තම තමන්ගේ හැකියාවන් අනුව සුදුසු රැකියාවන් මෙම සංවිධානය විසින් සපයනු ලබයි.
රෝගාතුර පුද්ගලයින් සඳහා ආධාර මුදල් එකතු කිරීමේ ජාවාරම මෙම සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගය යි. මේ සඳහා දිවයිනේ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය නීත්‍යානුකූල මෙන් ම නීතිවිරෝධී ලෙස ලබාගන්නා අවස්ථා ද ඇත. රෝගියාගේ පාර්ශවයෙන් වෛද්‍යවරයා ලවා නීත්‍යානුකූල ලියවිලි සකසා ගන්නේ ජනාධිපති අරමුදලින් යම් ආධාරයක් ලබාගැනීම සහ මහජන ආධාර ලබා ගැනීම සඳහා ය. එහෙත් එම ලියවිලි පිටස්තර පුද්ගලයින් අතට පත්වන්නේ කෙසේද? මේ සඳහා මෙම සංවිධානය විසින් රජයේ සහ පෞද්ගලික රෝහල් තුළ තම තැරැව්කරුවන් යොදවා ඇත. සමහර අවස්ථාවන්හි දී මිය ගිය රෝගීන් සඳහා ද ආධාර මුදල් එකතු කරනු ලැබේ. මේ අවස්ථාවේ දී ලැබෙන මුදලින් 50ක් ම ඒ සඳහා යොදවන පුද්ගලයින් වෙත ලබාදේ. වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රාව සහ නිල අත්සන ව්‍යාජ ලෙස යොදාගන්නා අවස්ථාද ඇත. එම ලියවිලි සොරකම් කොට මෙම සංවිධානය වෙත අලෙවි කරනු ලබන පුද්ගලයෙකු ගෙන් මේ පිළිබඳ විමසීමෙදී ඔහු පවසා සිටියේ, මසකට ලක්ෂ හතරක් ද ඉක්ම වූ වැටුපක් ලබාගන්නා විශේෂඥ වෛද්‍යවරුන් පවා මෙම ජාවාරමට තොරතුරු සපයන්නේ නම්, ඔවුන් වැනි සුළු සේවකයින් එසේ කිරීම වරදක් නොවන බවයි.
"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් ද මේ අවනඩුව"
60 දශකයේ සිට 90 දශකය දක්වා වු කාලය තුළ ද මෙරට යාචක වෘත්තිය මෙහෙය වනු ලැබූයේ ඒ සඳහා සංවිධාන ගත වූ පිරිසක් විසිනි. එදා යාචකයින්ගේ සන්නිවේදන ක්‍රම මෙතරම් දියුනු තත්ත්වයක නොපැවතිනි. ඒ සඳහා ඔවුන් භාවිතා කරනු ලැබූයේ කට පාඩමෙන් ගායනා කළ හැකි ලෙස පුරුදු පුහුණු වූ කවි, විරිඳු සහ ගීත වැනි දෑය.
අනේ පිංවතුනි මා දෙස බලන්න
පින නැහැ මෙමට ඔය හැඩ රුව දකින්න
මගෙ අඹු දරුවන්ගෙ කුස ගිනි නිවන්න
ඔබ සැම දෙනගෙ ආධාරය මට දෙන්න
පින නැහැ මෙමට ඔය හැඩ රුව දකින්න
මගෙ අඹු දරුවන්ගෙ කුස ගිනි නිවන්න
ඔබ සැම දෙනගෙ ආධාරය මට දෙන්න
මෙවැනි කවි ගායනා වත්මන් යාචකයින් භාවිතා නොකරයි. මොවුන් මෙහෙයවනු ලබන සංවිධානය විසින් අදට ඔබින සන්නිවේදන ක්‍රම මොවුන් වෙත සපයයි. අන්ධයින්, කොරුන්, ආබාධිතයින්, පිලිස්සුම් තුවාල ලැබූවන් සහ විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වූවන් යොදවා ගනිමින් මුදල් රැස්කරන්නන් ඉහත සඳහන් සංවිධානය විසින් පාලනය නොකරයි. ඔවුන් විසින් කරනු ලබන්නේ කලින් සඳහන් කළ ආකාරයේ ආධාර රැස්කිරීම ය.
පිනට දහමට නැඹුරු මිනිසුන් පව්කාරයාට සහය දැක්වීම
මා හඳුනන උසස් පොලිස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ,
"මේ වෙනකොට රටේ විවිධ පුද්ගලයන්, කණ්ඩායම් සහ සංවිධාන විවිධාකාරයේ වංචාකාරී ක්‍රියාවල නිරතවෙනව. ඒකට වගකිව යුත්තෙ ඒ පුද්ගලයින් පමණක් නෙවෙයි. මේ සමාජ ක්‍රමය විසින් එවැනි සංවිධාන බිහිවීමට අවශ්‍ය පසුබිම සකස් කරල තියනව. මේක එක රැයකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවෙයි. "
"එතකොට ඔබතුමා කියන්නෙ මේ ජාවාරම්කාරයන්ට කැමති පරිදි ක්‍රියාකරන්න ඉඩ දීල නිඬව ඉන්න එක හරි කියල ද? "
"නෑ නෑ. මම අදහස් කරන්නෙ එහෙම දෙයක්නෙවෙයි. දැන් බලන්න ඔයා ඔය කියපු විදියෙ සිද්ධියක් ගැන කව්රුවත් පැමිණිල්ලක් කරල තියනවද? නෑ. යම් ආධාරයක් ඉල්ලන පුද්ගලයෙක්, එහෙම නැත්නම් යාචකයෙක් අපිට ඕන ඕන විදියට අත්අඩංගුවට ගන්න බෑ. මුලින්ම ඔහුට හෝ ඇයට විරුද්ධව ලිඛිත හෝ වාචික පැමිණිල්ලක් කරන්න ඕන. ඊට පස්සසෙ ඔවුන්ගෙ වංචාකාරී බව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙන්න ඕන. ඊට පස්සෙ තමයි අපිට පුළුවන් වෙන්නෙ ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න. විශේෂයෙන්ම අපිට මහජනතාවගෙ සහයෝගය නැතුව මේ ක්‍රියාවන්ට එරෙහිව යම් පියවරක් ගන්න අපහසුයි.
"හොඳයි. එහෙනම් ඔබතුමාට කියන්න පුළුවන්ද මේ වෙනුවෙන් ජනතාව විසින් කළ යුත්තේ කුමක් ද කියලා?"
"මෙහෙමයි අපි කව්රුත් බෞද්ධයො හැටියට පිනට දහමට ලැදියිනෙ. ඒක නිසා කව්රුහරි පින් තකා මොනව හරි ඉල්ලූවම කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ දීල දානව. එහෙම කරන්න එපා. යම් රෝගියෙකුට ආධාරයක් ඉල්ලන්න පිරිසක් හරි පුද්ගලයෙක් හරි එනවනම්, ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න. මොකද ඒ සඳහා ඔබට අයිතියක් තියනව. එහෙම ප්‍රශ්න කරල ඒවට නිසියාකාරයෙන් පිළිතුරු දෙන්න ඔවුන්ට බැරි වුණොත් මුදල් දෙන්න එපා. ඒ විතරක් නෙවෙයි ඔවුන් පිළිබඳ ළඟම තියන පොලීසියකට හරි ඔබට මුලින්ම මුණ ගැහෙන පොලිස් නිලධාරියෙකුට කියන්න. හැබැයි තමන් නීතිය අතට අරගෙන ඔවුන්ට පහර දෙන්න එහෙම නැත්නම් ඔවුන්ගෙ දේපලවලට හානි කරන්න යන්න එපා."
"මහත්මය, අපිට ලැබුණ ආරංචිවලට අනුව ඔය බස්රථ තුළ ගීත, එහෙමත් නැත්නම් විරිඳු ගායනා කරන සමහර පුද්ගලයොත් මේකට හවුල්. මේ ගැන ඔබේ අදහස."
"මම කලින් කිව්වෙ ඒකයි. මේක සමාජ ප්‍රශ්නයක්. වංචාකාර ආකාරයෙන් මුදල් හොයනවට වැඩිය තමන්ගෙ යම් හැකියාවක් ඉදිරිපත් කරල මුදලක් හොයාගන්න එක සාධාරණයි කියලයි මගේ පුද්ගලික මතය. මොකද සුපර් ස්ටාර්ස්ල කරන්නෙත් තම හැකියාවන් ඉදිරිපත්කරල ජනප්‍රිය වෙන එකනෙ. එයාල එයාලගෙ හැකියාවන් විකුණන්නෙ නැද්ද? ඒ හැකියාවෙන් දැවැන්ත ව්‍යාපාරිකයො කෝටි ගණන් මුදල් හොයන්නෙ නැද්ද? එහෙම නෙවෙයි අපි නීතිය පැත්තෙන් ම විතරක් හිතන්න නරකයි. නමුත් අර ඔයා කියපු විදියට මිය ගිය පුද්ගලයින් පවා අළෙවි කරමින් මිනිස්සුන්ගෙ මුදල් ගසා කන අයට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට ජනතාවගෙ සහයෝගය අනිවාර්යයෙන් ම අපිට ලැබෙන්න ඕන."
"සමහර බස් රියදුරන් ඒවගේම බස් කොන්දස්තරවරුන් මේ පුද්ගලයින්ට සහයෝගය දක්වනව කියලත් යම් යම් චෝදනා තියනව. ඒ ගැන ඔබතුමාට මොනව හරි කියන්න පුලූවන් ද?"
"බස් කොන්දොස්තරවරුන් කියන්නෙ නිතරම විවිධ චෝදනාවලට ලක්වෙන පිරිසක්නෙ. සමහරවිට ඔබ කියන කාරණෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. ඒ වුනාට අපි මෙහෙම හිතුවොත්. යම් ආධාරයක් ඉල්ලන්න හරි ගීතයක් විරිදුවක් ගායනා කරන්න වගේ දේකට බස්රථයට ගොඩවෙන පුද්ගලයෙකුට කොන්දොස්තර බැනල එලව ගත්තොත් ඒකත් කොන්දොස්තරවරයට මගීන්ගෙන් බැනුම් අහන්නවෙන කාරණයක් වෙන්න බැරිද? අන්න ඒකයි. මිනිස්සුන්ගෙ අදහස් විවිධාකාරයි. ඔබ කියපු විදියට මෙතරම් සූක්ෂම ලෙස සංවිධානය වුණ පිරිසකට රියදුරා සහ කොන්දොස්තර තමන් වෙත නතු කර ගැනීම පහසු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි රියදුරාගෙයි කොන්දොස්තරවරයගෙයි වගකීමක් තමයි මගීන්ට කරදරයකින් තොරව ගමන් කිරීමට ඉඩ සලසා දීම."
විෂම සමාජ ක්‍රමයක් කේන්ද්‍රීය වුණ සමාජයක පරිධියේ ක්‍රියාකාරීත්වය පාරිශුද්ධ වූ දෙයක් ලෙස පවතී යැයි විශ්වාස කිරීමට නොහැක. එහෙත් වත්මනෙහි ජිවන බරින් මිරිකී සිටින මිනිසුන්ගේ මුදල් පසුම්බියේ ඇති සොච්චම් මුදල ද සූරාගන්නා මෙවැනි පිරිස් පිළිබඳව ජනතාව මීට වඩා අවදියෙන් සිටිය යුතුබව අමුතුවෙන් කිව යුතු නැත. මින් ඉදිරියට හෝ මෙවන් පුද්ගලයන් හෝ කණ්ඩායම් තමන් අබියසට පැමිණි මොහොතේ දී මින් පෙර මෙන් "පින්" තකා යමක් දීමට පෙර දෙවරක් සිතන මෙන් ඉල්ලා සිටිමු.
ලංකා ඊ නිව්ස්හි විශේෂ ලියුම්කරුවෙකු විසින් පළ කරන ලඳ මෙම ලිපිය ඔස්සේ සමාජය ගැන කියවීමක්ද කරන බැවින් කොදෙව්ව තුලින්ද පල කළ අතර ඒ තුලින් සමාජයේම පිඩීත තත්වයන්හි පෙරෙලන අපද රවටමින් කරන්නාවු මේ ජවාරම තුලින් පිඩීත කොටසක්ට කරන්නා වු සේවාවද මත්ද්‍රව්‍ය වලින් මුදවාගැනීමට කරන බවක් කියන සේවාද නිසා යහපතක් වුවත් වංචාව හා මියැදුණු/ බරපතල රෝගීන්ගේ නාමයන් අවසරැතිව / අනවරයෙන් කරන්නවු ක්‍රියා පිළිවෙත නිසා අනුමත කළ යුතුද? මෙහි විසදුමක් සඳහා අපේ සමාජයේම විශ්මතාවයට ඔබට කළ හැක්කේ කුමක්ද?
ලිපියේ අත්තර්ගතයේ අයිතිය ලංකා ඊ නිව්ස් සතුය.
Comments (13)
1:21 AM, July 14, 2009
හිතාගන්න බැරි තරම සංකීර්ණයි. ඔය කියන සංවිධානය ඔය වැඩේ කරන්නේ ලංකා සමාජයේ සිවිල් චරිත හා ඒකාබද්ධ වෙලා නම් ඔවුන්ට තමා මුළින්ම දඬුවම් දිය යුත්තේ...
1:46 AM, July 14, 2009
වැදගත් තොරතුරු ගොඩක් දැන ගන්න ලැබුනා ගොඩක් ස්තූතියි බින්කු මලයාට. මට පේන්නෙ අපි හැමෝම ජාවාරම් කාරයින්ගෙ එක එක උගුල් වලට පැටලි පැටලි ඉන්න උදවිය.අපේ අනුකම්පාව තවත් කෙනෙකුට ආදායම් මාර්ගයක්
2:08 AM, July 14, 2009
වැදගත් ලිපියක්... දන්නේ නැති දේවල් හුගක් දැන ගත්තා.. මෙවැනි සමහර සිදුවීම් නීතියේ රැහැනට හසුවූ අවස්ථාවන් තිබෙනවා..නමුත් මෙය විශාල සිද්ධි සමුහයක ප්‍රථිඵලයක්. මේ පිලිබදව රටේ මිනිසුන්ගේ දැනුමත් වීම අල්පයි... මෙය තුරන් කිරීමට නම් සැම දෙනාගේම අත්වැල් සැපැයීම වුවමනා වෙනවා...
4:43 AM, July 14, 2009
හොඳ ලිපියක්, මල්ලි
5:39 AM, July 14, 2009
ඉතාම වැදගත් ලිපියක්. මමත් පෞද්ගලිකව කිසිම යාචකයෙකුට කිසිම දෙයක් දෙන්නෙ නෑ. බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට "යාචක හා පාඩද ආඥාපනත" යටතේ යාචකයාව මෙන්ම මුදල් දෙන ඔබවත් ක්‍ෂණිකව අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරියෙකුට බලය තිබෙනවා. නමුත් මෙයත් ශ්‍රී ලංකාවේ පොතටම සීමාවූ තවත් එක් නීතියක් පමණයි.
ඇත්තෙන්ම මෙවන් සංවිධානයක් ශ්‍රී ලාංකික සමාජය තුළ බිහිවීමට හේතු සාධාක සපයන කාරණා අතුරින් අපගේ අනුකම්පා සහගත හැඟීම් යන්න එන්නේ පළමුවැනි ස්ථානයට නම් නෙවෙයි. පළමු ස්ථානයට එන්නේ ඇත්තෙන්ම මෙවැනි අවශ්‍යතාවයන් ඇති පුද්ගලයන් සඳහා මුදල් ලබාගැනීමට හැකි යම් ස්ථානයක් නැති වීමයි. ජනාධිපති අරමුදලින් යම් ප්‍රදානයක් කළද එය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නෑ. "සමාජ සෞඛ්‍ය ආරක්‍ෂණ අරමුදලක්" වැනි දෙයක් පිහිටුවා එය තර කොට, සුදුසුකම් සපුරන ඕනෑම කෙනෙකුට තම අවශ්‍යතාවය සඳහා තමන්ට පෞද්ගලිකව සපයාගැනීමට හැකි මුදලට වඩා අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ඉහත කී අරමුදලින් ලබා ගැනීමේ හැකියාවක් නිර්මාණය කරනවා නම්, මෙවන් සංවිධාන නිතැතින්ම අඩපන වී යාවි.
10:23 PM, July 14, 2009
අම්මෝ... මේක මේ තරම් සංවිධානාත්මක වැඩක් ද? අනේ මංදා..කවදා මේවා නැති වෙයිද කියලා
1:11 AM, July 19, 2009
ලංකාව දියුණු වෙන රටක් උනාට පාලකයොන්ට ඒක හරියට කරන්න බැරි නම් එට දියුණු වෙන්නෙ නෑ..
ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මේ වගේ දේවල් ඇතිවෙන එක නවත්වන්නත් බෑ..
8:47 AM, July 20, 2009
වැදගත් දේවල් ගොඩක් තිබුණු ලිපියක්.
මං ඉස්සර හිඟන්නන්ට සල්ලි දුන්නත්, එයාල ඒක සංවිදානාත්මකව කරනව කියල දැන ගත්තට පස්සෙ දෙන්නෙ නැහැ. මේ මෑතකදි අහන්න ලැබුණෙ කොහුවල පැත්තෙ තට්ටු තුනේ ගෙයක් තියෙන 'හිඟන්නෙක්' ගැන. MC ඉස්සරහ රෝද පුටුවෙ ඉන්නෙ එක්කෙනෙක්ට බසුත් තියෙනව කියල කියනව. ඒ අතින් බැලුවම අපියි හිඟන්නො .. හිකිස්!
12:52 AM, August 10, 2009
මට දුක එදා වේල හොයාගන්න දගලන යාචකයන් ගැන.මෙ වගේ සදවිධානාත්මක කල්ලි නිසා අැත්තම යාචකයෙකුටවත් මිනිස්සු සල්ලි දෙන්නෙ නැනෙ
12:53 AM, August 10, 2009
මට දුක එදා වේල හොයාගන්න දගලන යාචකයන් ගැන.මෙ වගේ සදවිධානාත්මක කල්ලි නිසා අැත්තම යාචකයෙකුටවත් මිනිස්සු සල්ලි දෙන්නෙ නැනෙ
1:52 PM, August 12, 2009
නොදැන සිටි එක පැතිකඩක් දැනගන්න ලැබුනා.හොද ලිපියක්.
6:36 AM, August 31, 2009
ඉතාම වටිනා වැදගත් දේවල් ලිපියක්, මේ වගේ ලිපි ඉදිරියේදී ත් දැක ගන්න ලැබුනොත් අනිවාර්යයෙන්ම පරිවර්ථනය කරන්න කියල ඉල්ලා සිටිනවා.
2:23 AM, September 18, 2009
මමත් පුද්ගලිකවම කතාකරන්න කැමති මාතෘකවක්. මමත් මගේ බ්ලොග් අඩවියට මෙ සම්බන්ධව ලිපියක් රචනා කලා. මෙ මාතෘකව පිළිබදව උනන්දුවන්නන් www.geethge.blogspot.com අඩවිය හා සම්බන්දවීමෙන් වැඩිදුරටත් අදහසක් ලබාගත හැකිවනු ඇති බව මාගේ විශ්වසයයි. එහි අඩංගු කොටස් 2ක් පහත පළ කරනු කැමැත්තෙමි.
*එනමුත් එසේ අපට අතපාන කාහාටත් සැලකිය යුතුද*? එක අතක් කැඩුනට එක කකුලක් අහිමි
උනාට ශරීර ආබාධයක් නිසාවෙන් හෝ අසනීප තත්වයක් නිසාවෙන් ඔහුට වැඩක් පලක් කර
ගැනීමට හැකියාවක් නැද්ද? තම ස්වාමියා තමාව හා තම කිරි දරුවන් අතහැර ගිය
කාන්තාවන්ට අතපානවා හැර වෙන විකල්පයක් නැද්ද? ඔවුන්ට කරගත හැකි හා ගැලපෙන
කිසිදු රැකියාවක් නැද්ද? රැකියා තිබුනත් අවස්ථාවක් නැද්ද? වෘත්තීය සුදුසු කම්
තියෙන අයවලුත් රැකියා ප්‍රශ්නෙක සිටින වකවානුවක ආබාද වූවෙකුට අසනීප වූවෙකුට
රැකියා අවස්ථාවක් ලැබෙයිද? තම දරැවන් රැකබලා ගනිමින් රැකියාවක නිරත විය හැකිද?
ස්වයං රැකියාවක් කරන්න බැරිද? ස්වයං රැකියාවක් කරන්න තරම් ප්‍රාග්ධනයක් නැද්ද?
ස්වයං රැකියාවක් කරන්න දන්නේ නැද්ද? ස්වයං රැකියාවක් හෝ රැකියාවක් කරන්න
උනන්දුවක් නැද්ද? රැකියාවක් ලැබුනත් එමගින් ලැබෙන වේතනය ඔහුටත් ඔහුගේ රැකවළුන්
පෝෂණය කරන්ටත් ඔහුගේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගැනීමටත් තරම් එය ප්‍රමාණවත්ද?
රැකියාවක් කරනවාට වඩා වැඩිපුර හම්බ කරන්න පුළුවන්ද? නමුත් එ වැනි කිසිදු
නොහැකියාවක් නොමැති කෙනෙකුට අප අත රැදි රුපියල හෝ දිය යුතුද? එවැනි කෙනෙක්
හදුනා ගන්නේ කොහොමද? කාට උනත් දුන්දේ සුවදයි නේද?
*යාචකයකුට රුපියලක් දීමේන්* අපි ඔහුව යාචක වෘත්තීයට පෙලබවීමක් ඇති කලා නේද?
එයින් රටට වැඩක් කල හැකි අයකුගේ ඇග අතපය බැද දැමීමට සහයෝගයක් දුන්නා වෙනවා නේද?
ළමයින් රැගෙන පැමිණෙන අයට සැලකීමෙන් අපි ඒ ළමයින්ගේ ළමාකාලය සොරාගැනීමට
සහයෝගයක් දුන්නා නේද? ඒ ළමයින්ව කුඩා කාලයේ සිටම යාචක වෘත්තියට මාර්ගෝපදේශයක්
ලබාදීමට සහයෝගයක් ලබා දුන්නා නේද? රටට තවත් එක් කාලකණ්නියෙක් එකතු කිරීමට
සම්මාදමක් කලා වෙනවා නේද? යාචක මව්වරුන් අතරැදි දරුවන් නිතරම නිදි ඒ ඔවුන්ට මත්
ද්‍රව්‍ය ශරීර ගතකර ඇති නිසා බව ඔබ දන්නවාද? එහෙනම් අප, කිරිකැටියෙක් රෝගියෙක්
කරන්ට සහයෝගයක් ලබා දුන්නා නේද? අපි රෝගියෙකුට බෙහෙතක් ගන්න පුංවි සහයෝගයක්
දුන්නා නේද? අසරණ අම්මෙකුට තම දරුවන් රැක ගන්න උදව්වක් ...
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.