ලිපිය දිගු බැවින් අකුරු කුඩා කල අතර විශාලන කිරිමට Ctrl බොත්තම සමඟ + එබිම මඟින් විශාලනය කළ හැකිය. සිදුවන අපහසුතාවයට කණගාටුව.
කෙසේ වුවද, බිට්ල්ස් හි ජනප්‍රියත්වය ලොව තුල සමකාලීන ලෙස කොතරම් අධිනිශ්චය වී තිබුනා ද යන්න සදහා ඉදිරපත් කල හැකි හොදම උදාහරණය නම් බීට්ල්ස් හි ප්‍රධාන ගායකයෙක් වූ ජොන් ලෙනන් විසින් කරන ලද ප්‍රකාශයකි. ඔහු වරක් කියා සිටියේ බීට්ල්ස් ජේසුස් වහන්සේටත් වඩා ජනප්‍රිය බවකි. මෙම ප්‍රකාශය ලොව විශාල ආන්දෝලනයක් කල අතර පසුව ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීමට පවා ඔවුනට සිදුවිය (බලන්න). එමෙන්ම බොහෝ විචාරකයින් ගේ සමකාලීන මතය වූයේ ඔවුන් එවකට සිටි ජනාධිපතිවරුන්ටත් වඩා ජනප්‍රිය වූ බවකි. කෙසේ වුවද ජනප්‍රියතාව යම් සංගීතාඥයෙක්ගේ නිපුණතාව මණින හොදම මිනුමක් නොවන වගට බිට්ල්ස් හොඳ උදාහරණයක් වෙයි. දෘෂ්ඨිවාදී කෙතරම් දුප්පත්වුව ද බිට්ල්ස්ගේ ජනප්‍රියතාවයට ඔවුන් විසින් සිය ගීතවල රැකගත් විශිෂ්ඨ ගීතවත් බව හේතු වූ බවට සැක නැත.
බිට්ල්ස් නිර්මාණය කරන ලද සමාජ, දේශපාලනික හා සංස්කෘතික පසුබිම අපි ඉහතින් සඳහන් කල අතර එම යුගයේ ප්‍රකාශකයා විමට බිට්ල්ස් ගායක කණ්ඩායමට හැකි වුව ද යන්න අප මෙතැන් පටන් සාකච්ඡා කරමු.
රොක් සංගීතය යනු සමාජ ව්‍යාපාරයක්, ජිවන ශෛලියක් හා සංස්කෘතියක් ද බොහෝ කොටම දෘෂ්ධිවාදයක් ද වන බව අප මුල් නිර්වචනයේ දී සාකච්ඡා කලෙමු. එමෙන් ම රොක් සංගීතය එයටම අවේණික විප්ලවිය, අරගලකාරී දේශපාලනික ප්‍රකාශයක් ද වන බව කලින් සඳහන් කල ටවුන්ෂෙඩ් නම් රොක් විචාරකයා සදහන් කරයි. එමෙන් ම ස්කැරුෆි සඳහන් කරන්නේ; “මුලික රොක් පරාමිතින්, නිවැරදි හෝ වැරදි යන ආචාර ධාර්මික නිශ්චයන් පසෙක ලු විට, අවශ්‍යයෙන් ම මනෝ විද්‍යාත්මක පසුබිමක් සහිත අඛ්‍යානමය, සංස්ථා විරෝධී උපහාසය, දේශපාලනික ප්‍රතිශෝධනය, මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය හා මරණ ආශ්‍රය හා සුසංවාදී තේමා සහිතය" යන්නය.
බිට්ල්ස් ලොව ජනප්‍රිය ම හා ශ්‍රේෂ්ඨතම රොක් සංගීත කණ්ඩායම යැයි කියන බොහෝ විචාරකයන් එසේ කියනු ලබන්නේ බිට්ල්ස් සත්‍යවාදී ලෙස ම එම සංගීත සංස්කෘතිය හා අනන්‍ය වූ නිසා නොව ඔවුන්ගේ වාණිජ ජනප්‍රියතාවයෙන් අන්ධ වී බව ඉහත දැක් වූ ස්කැරුෆි තව දුරටත් පෙන්වා දෙයි. බිට්ල්ස්හි ජනප්‍රියතාවය කොතරම් ඉහල තලයක තිබේද යත් විකිපීඩියාවට අනුව ගත්විට බිට්ල්ස් අද දක්වා අලෙවි කල ඇල්බමයන් සාපේක්ෂව ආසන්න වශයෙන් බිලියනකි.
ඔවුන්ගේ ජනප්‍රියත්වය, තවත් අතකින්, එවකට ජනප්‍රිය වූ ‘බිට්ල් මේනියා’ (Beatlemania) යන තත්වය සමඟ ද ගැට ගැසී තිබිණි. බිට්ල්මේනියා යනු බිට්ල්ස් ගායක කණ්ඩායමේ අතිශය ජනප්‍රියතාවය නිසා සමකාලීන තරණ පරපුර අතර පැතිර ගිය උන්මාදී සමාජ සංස්කෘතික මෙන්ම වෙළඳපල අවකාශයයි. මෙම වචනය 1960 ගණන්වලදී සංගීත රසිකයින් විශේෂයෙන් ම තරුණ ගැහැණු ළමුන්, බිට්ල්ස් ජනප්‍රියත්වයේ හිණී පෙත්තේ සිටින යුගයේ, ඔවුන්ගේ ගීත හා පොදුවේ එම සාමාජිකයින්හට දැක් වූ අධිකතර ප්‍රේක්ෂක උන්මාදය සඳහා යොදන කෙටි නමකි. බීට්ල්ස් (විශේෂිත නාමය) හා මේනියා (උන්මාද - පිස්සුව) යන උපසර්ගය එකතුවෙන් ජනිත වූ මෙම නාම පදය මුලින්ම භාවිතා කලේ 1963 වසරේ ඇන්ඩි ලෝතියාන් (Andy Lothian) නම් ස්කොට්ලන්ත ජාතික සංගීත නිෂ්පාදකයා විසිනි. මෙය කොතරම් සුවිශේෂි ද යත් සංගීත රසිකයින් විසින් උන්මාදීව පැවැත්වු ඝෝෂාව නිසා බිට්ල්ස් සහභාගී වු බොහෝ සංදර්ශන වලදී ඔවුන්ගේ හඬ නැසී යන තරම් විය. එසේ වුවත් මෙම බිට්ල්මේනියාව ඇත්ත වශයෙන් ම සමකාලීන වාණිජ සංස්කෘතික නිර්මිතයක් ලෙස පැවති බිට්ල්ස් රසිකයින් විසින් දැක් වූ උන්මාදනීය ප්‍රතිචාරය නොගැඹුරු රැල්ලක් මිස එය ඔවුන්ගේ සංගීතමය නිපුණතාවය හා නිර්මාණශීලීත්වය පදනම් කර ගත් යමක් නොවීය. බිට්ල්ස්ට වඩා අර්ථවත් හා සමකාලීන සමාජ යථාර්තයන් නිරූපිත ගීත ගායනා කල සංගීත කණ්ඩායම් බොහෝමයකට මෙවැනි රසික ප්‍රතිචාරයක් නොවිම වාණිජ රසිකයින්ගේ අන්ධවිමේ ප්‍රතිඵලයක් විනා අන් යමක් නොවේ.
මීට පෙර සඳහන් කල ලෙසම බිට්ල්ස් ප්‍රථමයෙන්ම කලේ සැබෑ රොක් සංගීතකරුවන්ගේ බාහිර ස්වරුපය වෙනස් කරමින් වඩා මධ්‍ය පන්තිකයන්ට දිරවා ගත හැකි පරිදි වසඟකාරි සිනහවකට තම රූපය, බාහිර පෙනුම රූපාන්තරණය කිරීමයි. මෙම වේෂ නිරුපණය පිටුපස සිටියේ එක් අතකින් පවත්නා ධනේෂ්වරයට පක්ෂපාතී විරෝධාකල්පික රොක් සංස්කෘතිය තර්ජනයක් ලෙස දුටු අනෙක් අතින් සම්ප්‍රදායික වික්ටෝරියානු මත තවමත් තම හිස තුල පුරවා ගත් වැඩිහිටි වාණිජ මධ්‍යම පංතියි. කළු ජාතිකයන් තම ඓතිහාසික වේදනාව කියා පෑමට යොදා ගත් වෛර සහගත, විරෝධා කල්පික, තියුණු රිද්මය වෙනුවට සරල රේඛීය සුමධුර බටහිර තණුවක්; රාගික නිග්‍රෝ ආකල්පය වෙනුවට හුරුබුහුටි ලමා-සිනහවක් වාණිජ වෙළඳ ප්රාග්ධනය විසින් කරළියට රැගෙන ආවේය. තර්ජනයක් රහිත එහෙත් යම් සමාජ-විවේචනයක් ද සහිතව කරළියට ආ මෙම ‘නව නිර්මාණය’ වාණිජ මධ්‍යම පංතියේ ‘වරදකාරී විංඥාණය’ වසා ගැනීමට ද උපකාරී විය.
කෙසේ වුව ද, සමකාලීන රොක් සංගීතඥයන් බොහොමයක් තම නිර්මාණ අභිබවා බිට්ල්ස්ගේ නිර්මාන වඩා ඉස්මත්තට පැමිණිම ගැන බොහෝ විට පුදුම විය. එය ඔවුනට සිතා ගත හැකි වු කාරණයක් නොවුයේ බැලු බැල්මට ම ඔවුන් බිට්ල්ස් පරයායන නිර්මාණ ඒ වන විටත් කර තිබු බැවිණි. සම්ප්‍රදායික රොක් සංගීතකරුවන් ඊට දශකයකට පමණ පෙර වුව ද බිට්ල්ස්ට වඩා ඉතා අග්‍රගණය නිර්මාණ එලි දක්වා තිබුණි. කලින් සඳහන් කල ස්කැරුෆි සඳහන් කරන්නේ “බිට්ල්ස් සංගීත කණ්ඩායමේ ඇල්බමයක් විශාල ලෙස අලෙවි වුයේ ඒවා සරල ලෙස අලෙවි කල හැකි පරිදි තනා තිබු නිසා මිස ඔවුන් සතු වූ විශිෂ්ඨ සංගීත හැකියාව නිසා නොවේ. බිට්ල්ස් සතුව තාක්ෂණික නව සොයා ගැනීමක් වත්, නිර්මාණශිලී ගැඹුරක්වත් නොවීය. බිට්ල්ස් යනු මිනිත්තු තුනේ, පහසුවෙන් මතක තබා ගත හැකි ගීත රචනා කල, ඡායාරූප වලට ලස්සනට පෙනී සිටි නඩයක් විය. 1963 වසරේ දී ‘බිට්ල්මේනියා’ යන්න කවුරුන් හෝ සොයා නොගත්තේ නම්, යමෙක් තම ජිවිතයෙන් විනාඩි පහක් බිට්ල්ස් නම් නොසලකා හැරිය යුතු තරමේ සංගීත කණ්ඩායම ගැන කියවීමට මිඩංගු නොකරනු ඇත.” යනුවෙනි.
කළු ජාතිකයන්ගේ පරායත්තාව හා පරාරෝපණයත් ධනවාදය විසින් සුදු ජාතික තරුණයන් තුල ජනිත තර තිබු ආතතිමය කාන්සාවත් ගැන යුරෝපීය මධ්‍යම පන්තිය නොදැන සිටියා නොවේ. ඇකඩමික ආකාරයටත්, සමාජීය ආකාරයකටත් ඔවුන් මේ සම්බන්ධව දැන සිටි අතර පශ්චාත් යුධ පරාරෝපණය සම්බන්ධයෙන් 1940 ගනන් වල සිට ම යුරෝපීය ඇකඩමියාව තුල බොහෝ අධ්‍යයනයන් මේ සම්බන්ධයෙන් කර තිබු අතර සාන්දෘෂ්ඨික වාදය ද ඉතා ප්‍රභලව යුරෝපය තුල ඉස්මතු ව තිබු කාලයයි මේ. නමුත් ඇකඩමික සවිඥාණකත්වය හා විරෝධය අබිභවා රොක් සංගීතකරුවන් ‘රොක්වලට අවේණික පාතාලමය ස්වරූපයකට’ පැවති රේඩියෝ හා එළිමහන් සංදර්ශනවල දී(alternative space(මෙම සංදර්ශන බොහෝ විට මත්ද්‍රව්‍ය සහිත නොදැමුණු තරුණයන්ගෙන් සැදි ‘විකල්පීය අවකාශයයි’) පවත්නා සමාජ සංස්ථාපනය ප්‍රභලව ප්‍රශ්න කල අතර එය සමාජය හෙල්ලුම්කන තරමට ප්‍රභල විය. මේ හේතුව නිසා අරමුණු වශයෙන් ගත් විට අවශ්‍යයෙන්ම රොක් හා දේශපාලනය එකට කේන්ද්‍ර ගත විය. 1960 දශකයේ විරෝධාකල්පිකයන්ගේ ප්‍රධානම ප්‍රකාශන මෙවලම බවට පත් වුයේ මේ අයුරින් රොක් සංගීතයයි. තමාට හොදින් ම ඥාණනය කර ගත හැකි සමාජ ප්රපංචයක් ගැන ගොලුවතින් සිටි මධ්‍ය ම පන්තියට තම නිහඩතාව ගැන වරදකාරීත්වයක් තමන් තුලම තිබුණු අතර බිට්ල්ස් විසින් නිවෙස තුල සිරගතව සිටි මෙම මධ්‍ය ම පන්තියට නිවෙස් තුලම සිට තම විරෝධය රසවිදිය හැකි ‘අලුත් මඟක්’ සොයා දුන්නේ ය. ඒ තම සංගීතය නම් නිද්රාකාරකයයි (Tranquilizer). මෙමගින් තම විරෝධය ගෘහියමය, අන්තරාවර්තී, කිසිවකුට කරදරයක් නැති, තම ඇඟට ද වෙහෙසක් නැති හුදු සනීප මානසිකමය විරෝධයක්, මනස තුල විප්ලවියත්වයක් බවට ඌනනය කර ගැනීමට මධ්‍යම පන්තියට ඉවහල් වුවෝ බිට්ල්ස් ය. මේ කාරණාව නිසා ම ඇතැම් බිට්ල්ස් පදමාලා ඇකඩමික අධ්‍යයනයන් සඳහා ද යොදා ගත් අතර කිසිවිටක දැඩි අරගලකාරිත්වයක්, නොසන්සුන් බවක් හා අව්‍යාජ බවක් පල කල The Who, Velvet Underground හෝ Rolling Stones ගේ පදමාලාවලට මේ ‘ගරු කටයුතු සැලකිල්ල’ මධ්‍ය ම පන්තික බුද්ධිමතුන් අත්කර දුන්නේ නැත. මේ අනුව සමකාලීනව පැවති විරෝධය අරගලයක් බවට පත් කරනවා වෙනුවට Beatles කලේ එම විරෝධය වාණිජ වශයෙන් ලාභ උපරිම කර ගත හැකි ‘විනෝදයක්’ ලෙසට ඌනනය කිරීමයි.
තව දුරටත් අධ්‍යයනය කිරිමේ දී පෙනී යන්නේ සමකාලීනව වර්ධනය වෙමින් පැවති Hippie සංස්කෘතිය හා ශිෂ්‍ය අරගලකාරිත්වය යන ප්රපංචයන්ට ද ඔවුන් සාවධාන නොවු බවකි. ශිෂ්‍ය අරගලකාරිත්වය සමඟ Bob Dylan ගේ ගීත අනන්‍ය වු අතර ඔවුන්ගේ අරගලකාරි තේමා Dylan ගේ ගීතවලට පසුබිම විය. එමෙන් ම හිපි සංස්කෘතික දේශපාලනය බොහෝ ලෙසම සමකාලීන Velvet හා The Who යන සංගීත කණ්ඩායම් වල තේමා විය. පසුව හිපි සංස්කෘතියේ සෘජු ගායක කණ්ඩායම් ලෙස Grateful Dead හා Jefferson Airplane වැනි රොක් හා Punk සංගීත කණ්ඩායම් මතුවන තුරුම එම සංස්කෘතීන්ගේ ප්‍රකාශකයා වුයේ විය යුතු පරිදි බිට්ල්ස් නොව ඔවුන් තරම් ලොව තුල ජනප්‍රිය නොවූ හා කිසිසේත්ම සමකාලීනව කිසිවෙක් දැන නොසිටි රොක් ඉතිහාසය තුල ලොව නිර්මානශිලී බවින් ශ්‍රේෂ්ඨතම රොක් ගායක කණ්ඩායමක් වු Velvet Underground ය.
මෙම The Who සහ Velvet Underground යන සංගීත කණ්ඩායම් දෙකම වියට්නාම යුද්ධය හා එය අතුරුඵල ලෙස ඇමෙරිකාව තුල ඇති වූ සමාජ විපර්යාසය, පරම්පරා ගැටුම, දේශපාලන ආතතිය, මත්ද්‍රව්‍ය සංස්කෘතිය හා සෘජුවම අනන්යවුවෝ වෙති. ධනවාදයේ අතුරුඵල ලෙස ඉතිරි වන පාතාලය හා එම ආර්ථිකය, මර්ධිත ලිංගිකත්වය, වාර්ගික බහිස්කරණය හා ආතතිය ඔවුන්ගේ සැම ගීතයකට දක්නට ලැබෙතත් මේ කිසිවක් (යාන්තමින් යුද්ධය හැරුණු කොට එය ද වාණිජමය පෙළඹවිමක් මත) බිට්ල්ස්ගේ ඓන්ද්‍රිය මාතෘකා නොවුවා පමණක් නොව ඔවුන් එම කළු, අදුරු පාතාල ගත ධනේෂ්වර බහිස්කරණය ගැන කිසිවක්ම දැන සිටියේ ද නැත.
නමුත් සමකාලීන හාඩ් රොක් (hard rock) හා සම්භාව්‍යය රොක් (classic rock) යන විශේෂයන් තම මත්ද්රව්යලෝලී, නපුරු සිහිනයන් ගෙන් පිරුණු, අධියතාර්ථවාදී අත්දැකීම් ප්රකාශණය සඳහා ප්‍රමාණවත් නොවේ යැයි සිතූ Velvet, ඉන්දියානු මන්ත්‍ර, අප්‍රිකානු ග්‍රොත්‍රික සංගීතය හා වෙනත් සංගීත විශේෂයන්ගේ (උදාහරණ ලෙස සම්භාව්‍ය සංගීතයේ) ආභාෂය ලබමින් විවිධ අත්හදා බැලීම් කිරීම දක්වා දුර දිග ගියේය. මේ අර්ථයෙන් ඔවුන් ලොව නිර්මාණශීලිම රොක් ගායක කණ්ඩායම බවට පත්විය.
ආධිපත්‍යධාරි ධනවාදය හා එහි දේශපාලන අධිකාරිත්වය කෙරෙහි දැක් වූ විරෝධාකල්පික, ප්රචන්ඩ, දෝෂාරෝපිත (accusatory) වදන් වලින් සන්නද්ධ යුධකාමී (militant) රොක් ගායනය වෙනුවට ලමා ගී සාහිත්‍යයක් රොක් සඳහා එකතු කල වුවෝ බිට්ල්ස් ය.
මීටත් අමතරව, හිපි හා ශිෂ්‍ය දේශපාලනය සමඟ 1960 දශකයේ යුරෝපය තුල මතුව ආ තවත් වැදගත් ප්‍රවණතාවයක් වුයේ මත්ද්‍රව්‍ය හා තරුණ සංස්කෘතියත් ඒ හා බැඳුණු ලිංගික විමුක්තිය පිළිබඳ සංකල්පනාත් ය. ගායක කණ්ඩායම් තුලට ද මෙය ඉතා ප්‍රභල ලෙස දැණුනු අතර බොහෝ රොක් ගායකයන් විශාල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටියේ ය.එම තත්වය මාක්ස්වාදී හා සාංදෘෂ්ඨිකවාදී අවකාශය අර්ථ නිරූපනය කෙරෙන බව සැලකේ. මත්ද්‍රව්‍ය උන්මාදය නිසා බොහෝ ගායක ගායිකාවන් ඉතාම තරුණ වියේ දී අකාලයේ මරු වළඳ ගැනීම ද සංස්කෘතියක ලක්ෂණයක් ලෙස මතුව ආයේ ය. ලොව විශිෂ්ඨතම රොක් ගායකයන් මෙන්ම වාදකයන් ද වු Brain Jones, Tim Morrison, Jimi Handrix හා Cate Cobian මේ සඳහා හොඳ උදාහරණ වේ (ටවුන්ෂන්ගේ Changing the World: Rock 'n' Roll Culture & Ideology) . මත්ද්‍රව්‍ය බොහෝ විට තම මව්බිමෙන් ඈත්ව සිටි ඇමෙරිකානු යුධ භටයන් සඳහා තායිලන්තයෙන් හා අනෙකුත් පෙරදිග හා අප්‍රිකානු රටවලින් ආනයනය කල අතර ඇමෙරිකානු සෙබලුන් අතර මෙය ඉතාම ප්‍රභලව පැතිර ගියේ ය. මත්ද්‍රව්‍ය හා බැඳුණු මරණ ආශ්‍රය (death drive) කුළු ගැන්විමේ පෙළඹුම් කාරකයක් ලෙස ද රොක් මේ යුගයේ දී හඳුනාගත හැකි විය. බිට්ල්ස් හි ගීත තුල හා භාවිතය තුල එවන් ගතිකයන් හා තේමාවන් රැදී නැත. ඔවුන්ගේ පදමාලා තුල ඇතැම් විට අඩංගුව පැවති විරෝධාකල්පිත, වාමවාදී, සංස්ථාපන විරෝධි දෘෂ්ඨිමය පෙළඹවිම් බොහෝ විට මෝස්තරමය ස්වභාවයකට වඩා දුර නොගියේ ය. ඔවුන්ගේ පුවත්පත් නිවේදන සම්බන්දයෙන් ද කිව යුත්තේ මෙයමයි. නමුත් ඔවුන්ගේ ජනප්‍රියත්වය හේතු කර ගෙන එම ආකල්ප සඳහා ලැබුණ ජනප්‍රියත්වය හා ප්‍රචාරය එම යුගයේ මතවාදය සකස්වීමේ දී ප්‍රභලව බලපෑ බව අප පිළිගත යුතුවේ. එමෙන් ම අද දවස තුල පවා එම යුගයේ මතවාද හා භාවිතාවන් සම්බන්ධව ඇති අතීතකාමී කුතුහලය (nostalgic curiocity) ජනනය කිරීම සඳහා එම ජනප්‍රියතාව ඇති කල බලපෑම මෙයින් අවතක්සේරු නොවේ. නමුත් යුගයේ තරුණ කොටස්වල, ශිෂ්‍ය දේශපාලනයේ හා වාමවාදී බලවේගයන්ගේ, යුධ විරෝධී හිපියන්ගේ, ලිංගික නිදහස ප්රමුඛ කරගත් රැඩිකල් කොටස්වල මතවාදයන්ගේ සත්‍ය ප්‍රකාශකයා විමට බිට්ල්ස්ට නොහැකි වු බව මෙහි සඳහන් කල යුතුයි.
බිට්ල්ස් ගායක කණ්ඩායමේ ඉතාම කතාබහට හා ජනප්‍රියතාවයට පත් වූ කිසියම් රැඩිකල් බවක් අඩංගු යැයි හැගෙන පදමාලා කිහිපයක් සමකාලීන රොක් සංගීත කණ්ඩායම් වූ The Who, The Velvet Underground හා The Rolling Stones හි පදමාලා සමඟ මෙහි දී සංසන්දනය කෙරේ. සංගීත කණ්ඩායම් තම තමන්ට අවේණික අනන්‍යතා සහිතව ස්වකීය තේමාවක් ඉදිරිපත් කිරිම තුලින් තම සුවිශේෂි බව ගොඩ නගා ගත් බව සිහි කරමින් ම එම නිසාම යම් යම් සාන්ද්රශ්යයන් ඉදිරිපත් කිරිම එක්තරා දුරකට අසාධාරණ යැයි සිතිය හැකි වුවත්, එම සුවිශේෂී අනන්‍යතා අභිබවා යමින් සමකාලීන සමාජ අත්දැකිම් නිරූපණයෙ හි ලා මෙම කණ්ඩායම් වල දෘෂ්ඨිවාදය හා පොළඹවන සුළු බව මෙන්ම අරගලකාරිත්වය කොතරම් දුරකට මෙම පදමාලා තුල අන්තර්ගත ද යන්න හා එම ගායක කණ්ඩායම් කොතරම් දුරකට එම අන්තර්ගතයට හා දෘෂ්ඨිවාදයන්ට ඵෙන්ද්‍රිය ද යන්නත් මෙහීදී සලකා බලමු
මුලින් ම අප බිට්ල්ස්ගේ Love Me Do හා Hello Goodbye යන ස්ත්‍රීය හා ආදරය සම්බන්ධයෙන් වු ගීත දෙක හා Velvet Underground ගේ Venus in Furs (ලොම් හැඳි වීනස්) යන ගීතය හා විමසා බලමු.
මෙම සියලු ගීතවල මුල් ඉං ග්‍රීසි පදමාලා සඳහා නාමයේ ඇමුණුම් කර ඇති ලින්කය බලන්න.
Beatles ගේ Love Me Do (මට ආදරය කරන්න) ගීතයේ පද මාලාව ( අසන්න )
ආදරය, මට ආදරය කරන්න
ඔබ දන්නව මම ඔබට ආදරය කරන වග
මම හැම විටම සත්‍ය ගරුකයි
කරුණාකර මට ආදරය කරන්න
කාටහරි ආදරය කරන්න
කාටහෝ ආදරය කරන්න
ආදරය, මට ......
රචනය - Lennon & McCartney
Love Me Do (1962) ඇල්බමයෙන්
බිට්ල්ස්ලාගේ Hello Goodbye (හලෝ ආයුබෝවන්) ගීතයේ පද මාලාව ( අසන්න )
ඔබ ඔව් කියයි
මම නැහැ කියයි
ඔබ නවතින්න කියයි
මම යන්න කියයි, යන්න, යන්න
ඕ නැහැ,
ඔබ සමුදෙන්න කියයි
මම ආරාධනා කරයි
හලෝ හලෝ
මම දන්නේ නැහැ
ඇයි සමුදෙන්න කියන්නේ
මම ඇයි ඉන්න කියන්නේ
මම ‘හායි’ කියයි
Magic Mistery Tour (1967) ඇල්බමයෙන්
මීලඟට පහත දැක්වෙන්නේ Velvet Underground ගායනා කල Venus in Furs (ලොම් ඇඳි වීනස්) නම් ගීතයේ පද මාලාවයි. ( අසන්න )
ලොම් හැඳි වීනස්
දිලිසෙන, දිලිසෙන හම් බුට් සපත්තු
ඉක්මනින් ඇවිදින ගැහැණු කෙල්ලක් කරුවලේ
සීනු හඬවා එයි, ඔබ සේවක
සමාව නොදෙන්න, පහර දෙන්න
කාරුණික ප්‍රියාව ඔහු හදවත සුවපත් කරන්න
විසිතුරු නගර ආලෝකයේ පහත් පව්
අද ගැල්විය යුතු විලවුන් හඹායයි
අර්මයින් සම් මහේශාක්‍ය ලෙස පොරවා
සෙවරින් ඔබ එනතුරු බලා සිටී
මට වෙහෙසයි, මට මහන්සියි
වසර දහයක් හෝ මට නිදාගත හැකියි
වෙනස් වෙනස් පාට සහිත කඳුලු
සිහින දහසක් මා අවදි කරයි
සිප ගන්න, දිලිසෙන, දිලිසෙන, දිලිසෙන
සම් සපත්තු අඳුරේම,
කසයේ දිව, ඔබ වෙනුවෙන් බලා සිටින
සම් පටිය, පහර දෙන්න
කාරුණික ප්‍රියාව, සුවපත් කරන්න ඔහු හදවත
සෙවරින්, සෙවරින් මදුව තෙපලන්න
සෙවරින්, නැමුණු ඔබේ දන හිස් මත
කසයේ මිහිර විදින්න
සැහැල්ලුවෙන් නොදෙන ආදරය
කසයේ මිහිර විඳින්න
මා වෙනුවෙන් ආයචනා කරන්න
මට මහන්සිය, මට වෙහෙසයි
මට දහස් වසරක් ....
රචනය: Lou Reed හා John Cale
Velvet Underground හා Nico (1967) ඇල්බමයෙන්
බිට්ල්ස් විසින් රචිත ඉතාම ජනප්‍රියත්වයට පත් වූ (විශේෂයෙන් රේඩියෝ චැනල වල නිරන්තරව ප්‍රචාරය විමත් සමාන්‍යයෙන් බිට්ල්ස් කළමනාකරණය සැම විටම විශ්වාස කල ප්රචාරණයත් නිසා) ඉහත ගීත දෙකම ඔවුන්ගේ මුල් කාලීන ඇල්බමයන්ගෙන් උපුටා ගැනුන අතර ඒවා සරල ස්ත්‍රී-පුරුෂ රොමෑන්ටික ආදරය ගැන කතා කරන ගීත දෙකකි. හුදකලා පිරිමියෙක් විසින් ගැහැණියකට ඇගේ ආදරය ලබා දෙන ලෙස ආයාචනය කරන Love me do ගීතය ඉතාම මිහිරි, සරල සහ කන්කළු එකක් වේ. ආදරයේ දී සත්‍යවාදී බව මෙන් ම යමෙක් යමෙකුට ආදරය කල යුතු බව කියවෙන ස්වභාවයක් ද මේ තුල පවතී. කෙටි හා පුනරුක්තිය සහිත පදමාලාව ඉතාම පහසුවෙන් මතක තබා ගත හැකි අතර එය මෙම ගීතවල ජනප්‍රියත්වයට ද හේතු වුවාට සැක නැත. එමෙන් ම ඔවුන්ගේ Hello goodbye ගීතය ආදරය තුල ඇති ආතතිමය ස්වභාවය එහි ප්‍රතිවිරුද්ධතා සමගම ආදරය ගොඩනැගීම පිළිබදව ප්රතිශේධනාත්මක සංකේතීය බවක් ගීතයේ ගැබ්ව පවතී. ආදරයේ ප්රකාශනය හා විෂයෙහි අවිනිශ්චිත බව, අසන්නාට කියන්නාගේ ව්‍යුහයෙන් නොඇසීම වැනි කාරණා ද මෙම ගීතය තුලින් මතුකර ගත හැකි අතර ආත්ම ප්රකාශණයෙහි ලා ප්‍රථම ගීතයට වඩා සංකීර්ණ බවක් මෙම ගීතය තුල සටහන් වී ඇති බව කිව හැකි වුවත් මෙම ගීත ද්විත්වය ඉහත දැක් වු ‘Venus in Furs’ යන ගීතය හා සසඳා බැලීමේ දී ඉතාම නොපැසුණු සරල බවක් සමකාලීන සමාජ විපරිණාමයේ සංකීර්ණත්වයට සාපේක්ෂව දැක ගත හැකිය.
මේ යුරෝපය තුල පශ්චාත් කාර්මික වාණිජ ප්රාග්ධනය විසින් සමාජ ව්‍යුහයන් නැවත සකස් කිරිම ආරම්භ කල අවධියයි. නිෂ්පාදන ආර්ථිකය, සේවා ආර්ථිකය ලෙසට පොලා පැනීම ආරම්භ වන්නේ මේ අවස්ථාවේ දීය. දැවැන්ත යුධ අත්දැකීම් රැසකට හා වියට්නාම යුද්ධය යුරෝපය තුල වෙනස් සමාජ පරාමිතීන් සඳහා සමාජ ඉඩකඩ විවර කල යුගයයි. යුරෝපීය සමාජය හා ඇකඩමියාව තුල නව වටිනාකම් ආරෝපණය කර ගත්, සංස්ථාපනයන් දෙස අවංඥා සහගතව බැලීමට හුරු වු යුගයයි. කෙටියෙන් කිවහොත් සමාජ මතවාදය ප්‍රංශ සාන්ද්රෘෂධිකවාදය හා ජර්මන් ප්‍රකාශණවාදය විසින් තීරණය කල යුගයයි. සමාජ විපරිණාමය හා එයින් ජනනය කල ආතතිය තව දුරටත් යතාර්ථවාදි ක්‍රමයකට තේරුම් ගැනීමට නොහැකි වු යුගයයි. මනුෂ්‍ය විෂය වෙන කවරදාකටත් වඩා අර්බුදකාරීත්වයකට ගමන් කල අවධියයි.
Velvet හා අප පසුව සලකා බලන The Who ගායක කණ්ඩායමේ ගීත යනු මෙම යුගය තුල නාස්තිකවාදී, සංශයවාදී හා විනාශකාරී (nihilistic, sceptistic and subversive) බව නිරූපණය කල ගීත වේ. පවත්නා අධිපති සාන්ද්රෘෂ්ධිකවාදය හා ප්‍රකාශණවාදය අබිභවා යෑමට Velvet ගත් සම්භාව්‍යවාදී උත්සහය අප ඉහත ගීතය තුලින් තෙරුම් ගැනීමට උත්සාහ කරමු.
‘ලොම් හැඳි විනස්’ ගීතයේ දී Velvet ඉතාම ලාබාල (ලොලිටාකරණය වූ) වසඟකාරී, විපරිතකාමී (pervert) පරපීඩක ගණිකාවක්ගේ රූපකය වෙත අප ඇස ගෙන යයි. විපරිත බව හා පරපීඩිත බව හැඟවුම්කරණය කරන සපත්තු (බුට්) දිලිසෙන හම් පටි, (ලිංගික සිනමාව තුල වර්තමාන fetish යන විශේෂයට අයිති) පරපීඩක ලෙස පහරදීම හා එය සුවපත් කිරිමේ shock treatment එකක් ලෙස පාවිච්චි කිරිම හා ගැහැණු පිරිමි රොමැන්ටික ආදරය වෙනුවට වසඟකාරි, විනාශකාරී, පරපීඩක සැඩෝමැචෝසටික අවකාශයක් තුලින් තම නිර්මාණය සමාජයට ලිබිඩෝමය මුදාහැරිමක් ලෙස, බිට්ල්ස්ගේ (හා තවත් අයගේ) සර්ව සුභවාදයට ප්රතිපක්ෂව අශුභවාදි ආකාරයකින් නිරාවරණය කරයි. සියල්ලටම කිරිමට බල කෙරෙන පාපය හා එම පාප ශෝධකය ලෙස ගැහැණිය විෂය තුල ජනනය කරන ලිබිඩෝමය මුදාහැරීම, එනිසාම ඇතිවන මහන්සිය, ශෝකය හා ආතතිය සමඟ නිරුපණය කරන සදාකාලික නින්ද හා මෙලොවින් ස්වප්නමය ලෙස පලායාමට ඇති ආසාව නිරූපනය කරන,
‘වසර දහසක් හෝ මට නිදාගත හැකියි
වෙනස් වෙනස් පාට කඳුලු
සිහින දහසක් මා අවදි කරයි.’
යන පදමාලාව බිට්ල්ගේ සරල ප්‍රකාශණාත්මක බවට සාපේක්ෂව කොතරම් විශිෂ්ඨ දැයි බලන්න. මායාමය වසඟකාරි ගැහැණියට ඇතිවන අවිඥාණික බැඳීම එයින් පලා යා නොහැකි බව එහි තාවකාලික මිහිර හා පාපශෝධනය ලෙස ඇගේ භූමිකාව කිසිලෙසකින් හෝ බිට්ල්ස් සමඟ සංසන්දනය කල හැකිද? මෙම ගීතය මෙන්ම Velvet ගේ අනෙකුත් ගීත වල ද අධිපති විෂම ලිංගිකත්වය වෙනුවට අධියථාර්තවාදී සමලිංගික, ලෙස්බියානු, සංක්‍රාන්ති ලිංගික (trans-sexual) සැඩෝමැචෝසටික (sadomachostic) පරපීඩක හා ස්වපීඩක පාතාලමය ස්වභාවය ඉතා සම්භාව්‍ය අකාරයට නිරූපණය වී ඇත. එමෙන් ම ඔවුන්ගේ ගීතවල ඇති කාව්‍යමය බව අන් කිසිදු රොක් ගායක කණ්ඩායමක අන්තර්ගත නොවන වග ද මෙහි දී සදහන් කල යුතුය. ඔවුන් සමකාලීන සමාජ ආතතිය හා විනාශකාරිත්වය අධියථාර්තවාදී ආකාරයකට වීර කාව්‍ය ලෙස නිරූපනය කලෝ වෙති. ඔවුන්ගේ ගීත කිසිම විටක සෞන්දර්යාත්මක ගීත නොවේ. මන්දයත් මත්ද්‍රව්‍ය මුලික කරගත් සවප්නමය තරුණ ලෝකය තව දුරටත් සෞන්දර්යාත්මක හෝ යථාර්තවාදී එකක් නොවිමය.
ආදරය සම්බන්ධයෙන් Velvet සමඟම බිට්ල්ස් හා සමකාලීනව පැවති Rolling Stones ගායක කණ්ඩායමේ ඇතැම් ගීත ද නිසැකවම බිට්ල්ස්හි ගීතවලට වඩා පුළුල් තේමාවන් කතා කල සංකීර්ණතාවයක් පාදක කර ගත් ඒවා විය. ඔවුන්ගේ I can get no (satisfaction) ගීතය මෙයට හොඳ උදාහරණයකි. යුද්ධය, ද්‍රරිද්‍රතාව හෝ අයුක්තිය යන කිසිවක් ගැබ් නොවුනු මෙම ගීතයේ ස්පර්ශීය බව, Mick Jagger (මෙම ගායක කණ්ඩායමේ ප්‍රධාන ගායකයා) ගේ රළු, ප්රචන්ඩ හා විප්ලවීය ගුණය හා මුසු වු විට අන් කිසිදු ගීතයකටත් වඩා නැවුම් බවක් හා අවංක බවත් අද දිනටත් ජනනය කරයි. තරුණයින් ලෙස බලාපොරොත්තු රහිත බව, පැරණි පරම්පරාවේ වංචනික හා කුහක බවට දක්වන විරෝධය, මර්ධිත ලිංගිකත්වය හා පරිකල්පනය කිරිමට නොහැකි බව සම්ප්රදාය විරෝධී ආකාරයකට නිරූපණය කරන මෙම ගීතය මධ්‍ය පන්තික සමාජ සංස්ථාවට එල්ල කරන ලද මරු පහරකි. එබඳු වු එකඳු ගීතයක් හෝ නිර්මාණය කිරිමට හා නිරූපණය කිරිමට ස්වකීය සමස්ත ජිව කාලය තුලම බිට්ල්ස් ට කිසිදා හැකි නොවිය.
තම පරම්පරාව නිවැරදි ආකාරයට නිරූපණය කිරිමට ඉතාම රැඩිකල් රොක් ගායක කණ්ඩායමක් වු The Who සමත් වුවේය. ඔවුන්ගේ My Generation ගීතය සලකා බැලුවිට තම පරම්පරාව සම්බන්ධයෙන් ඔවුන් තුල වූ හැඟිම ඉතාම නිර්ව්‍යාජ ආකාරයට ප්‍රදර්ශනය කල බව අපට දැක්විය හැකිය. තම පරම්පරාවේ නැගිටීම වෙනුවෙන් ඔවුන් දිගින් දිගටම තම ධජය ලෙලවිය. මෙහි මුඛ්‍ය උදාහරණ දෙක නම් ඉහත සදහන් My Generation (1968) හා We won’t get fooled again (1971) යන ගීත ද්විත්වයයි. ඔවුන්ගේ My Generation ඇල්බමයෙහි හි එන “People try to put us down, talking about my generaion” ගීතය තුලින් තම පරම්පරාව යටපත් කිරිමට හා හෙලා දැකීමට තමාට පුර්ව පරම්පරාව උත්සහ කරන ආකාරය ඉතාම ප්රගතිශීලි දෘෂ්ඨියක් සහිතව එහෙත් යම් ඉච්ඡාභංගත්වයක් ද සහිතව නිරූපනය කරයි. ඔවුන් නිසැකවම සමකාලීන පරම්පරා ගැටුම තුල තමන්ගේ පාර්ශවය වෙනුවෙන් කොන්දේසි විරහිත පෙනී සිටීමක් කල අතර ඔවුන් තම පරම්පරාවේ තත් රූපය ප්‍රකාශ මාන කල සෘජු නියෝජිතයින් වුහ. මෙවන් පරිණත බවක් ප්‍රකාශනවාදි බවක් හෝ නියෝජනයක් බිට්ල්ස් අතින් කිසි දා එම බලාපොරොත්තු විරහිත තම පරම්පරාවට සිදු වී නැත.
සමාජ යථාර්තය සමඟ දෘෂ්ඨිවාදි පොරබැදිම කොතරම් සජීවි ව, තියුණුව සමකාලීන අනෙකුත් රොක් ගායක කණ්ඩායම් කලේ ද යන්නට හොඳම උදාහරණය Velvet Underground හි Sunday Morning යන ගීතයයි. අපි එම ගීතය බිට්ල්ස්ගේ ‘A Hard Days’ Night යන ගීතය සසඳා බලමු. එවිට දිනපතා ජිවිතය සමඟ ඔවුන් දැක් වු දෘෂ්ඨිවාදී සම්බන්ධය එළිදරව් කර ගැනීමට අපට හැකි වේ.
A Hard Day’s Night (කටුක වූ දිනයක රාත්‍රියයි) යන ගීතයේ පදමාලාව (අසන්න)
වෙහෙසකර දිනයක රාත්‍රිය යිසුනඛයෙක් සේ වැඩකරමින් සිටියෙමිවෙහෙසකර දිනයක රාත්‍රිය යිලී කොටයක් මෙන් මා නිදාගත යුතුයි.එසේ වුවත් මා ආපසු ඔබ ලඟබව කරනා දේ දුටුවිටමා නැවතත් පෙර පරිදිම සුවෙනි,දිනය පුරා මා වෙහෙසෙන අයුරු ඔබ දනී,ඔබ වෙනුවෙන් දේ ගැනීමට මුදල්ඇසුමත් වටීවි ඔබ කියනා විටඔබ මට සියල්ල සපයතැයි කියාමොන එහෙකට මට දුක්විය යුතුවෙදඔබ පමණක් මා හිමිකර ගත් විටඔබ දනිමි මා සුවෙන් යැයි කියා.සියල්ල සතුටින් මා පවසන විටතදින් ඔබ මා වැළඳ මා පවසන විටතදින්, තදින් ඔව්,වෙහෙස කර දිනයක රාත්‍රිය යිදිනය පුරා මා වෙහෙසෙන අයුරු ඔබ දනී
(A Hard Day’s Night- 1964 ඇල්බයෙන්)
බිට්ල්ස් ස්වකීය A Hard Day's a Night නම් ගීතය තුලින් දිනයක් පුරා වෙහෙසකර ලෙස වැඩ කිරීමෙන් ඇතිවන තෙහෙට්ටුවත් එම නිසාම නිදා ගැනීමට ඇති ආශාවත් තුලින් කාර්මික සාමාජයේ නිෂ්පාදන ඒකාකාරිත්වය තුලින් මිනිසා තෙහෙට්ටු කිරීමත් එම නිසාම මිනිසාගේ පරාරෝපණයත්, නිෂ්පාදන දැවැන්තකරණය ඉදිරියේ ඔහුගේ කුඩා බවත් (belittle) මේ සියල්ලට ප්රතිපක්ෂව ඔහු සුවපත් කිරීමට 'නිවස' කරා ආපසු පැමිණීමෙන් ලබාගත හැකි මෝක්ෂයත් ප්‍රකට කරවයි. ඔහුගේ සුවපත් වීම පරිපූර්ණ වන්නේ ඇය ඇයට අවශ්‍ය සියලු දේ ගැනීමට මුදල් ඔහු උපයනවායයි ඇසූ මොහොතේය. ඇය සතුටු කිරීමෙන් ඔහු ලබන තෘප්තිය ගීතයට නැගීමේ වරදක් නැතත්,
'සියල්ල සතුටින් මා නිවසෙහි විට
තදින් ඔබ වැළඳ මා නිවසෙහි විට
තදින්, තදින් 'ඔව්'
යන ඉහත ගී ඛණ්ඩය තුලින් ගැහැණිය සමඟ නිවසෙහි සිට සියල්ල අවසන් කල හැකි බවත් එම තෘප්තිය පවුල් ගත කිරීමෙන් තමා විඳවන, තමා පෙලෙන ආර්ථික හා දේශපාලන යතාර්ථයත් කෙරෙහි මෙම තේමාව දිගු නොකිරීමට බිට්ල්ස් වග බලා ගනී. ඔහුගේ තෘප්තිය ඇගේ වචනය අබිභවා සමාජීය කිරීමේ ඓතිහාසික වගකීම බිට්ල්ස් මඟහැර ඇති සෙයකි.
එසේ වුවද Velvet Underground ගායක කණ්ඩායමේ Sunday Morning ගීතය කොතරම් ව්‍යක්ත හා අරුත්බර දැයි පහත ගී පදමාලාව දෙස බැලීමෙන් ඔබට ඒත්තු ගැන්වෙනු ඇත.
Sunday Morning (ඉරිදා උදෑසන) යන ගීතයේ පද මාලාව (අසන්න)
ඉරිදා උදෑසනයි, පාන්දරම තුති කරන්න
මට ඇත්තේ විරාමයක් නැති හැඟුමක්
උදේ පාන්දරම, ඉරිදා උදෑසන
සමීපවම පිටුපස ඇති
ගෙවුණු වසර ගනනක් වේ
බලාගෙනයි, ඔබ පිටුපස ඇති ලෝකය
ඒ වුනාට, ඔබ ලඟ ඇති කවුරුන් හෝ
'එහි ඇති කිසිවක්ම නැතැයි' කියයි
සෑම විටම
ඉරිදා උදෑසනයි, මම ඇඳ වැටෙමින්
මට තිබේ හැඟීමක්, මම දැනගත යුතු
නැතැයි කියා
හිමිදිරි පාන්දර, ඉරිදා උදෑසන
වැඩි ඈතක එහෙම නොවෙයි
ඔබ පසු කල මේ මාවත
මට තිබේ හැඟීමක්,
මම දැනගත යුතු
නැතැයි කියා
හිමිදිරි පාන්දර, ඉරිදා උදෑසන
වැඩි ඈතක එහෙම නොවෙයි
ඔබ පසු කල මේ මාවත
බලා ගෙනයි, ඔබ පිටුපස ඇති ලෝකය
ඒ වුනාට ඔබ ලඟ ඇති කවුරුන්හෝ
'එහි ඇති කිසිවක්ම නැතැයි' කියයි
බලාගෙනයි ඔබ පිටුපස ඇති ලෝකය
(Velvet Underground and Nico-1967 ඇල්බමයෙන්)
රචනය -Lou Reed හා John Cale
ඔවුන් ස්වකීය ගීතය ආරම්භ කරන්නේ ඉරිදා උදෑසනෙණි. බටහිර ක්‍රිස්තියානි සන්දර්භය තුල ඉරිදා, දිනය ආගමික මෙහෙයක් අතින් ගත්තත් යම් සුවිශේෂිත්වයක් දරයි. දිනයට ස්තුති කර ගීතය පටන් ගන්නා ඔවුන් එය සම්බන්ධ කරන්නේ තම නිමක් කොණක් නැති ශූන්‍ය, අවිනිශ්චිත මෙන්ම හැඟවුම් කරණය නොවූ (unsignified) නාස්තිකාරී (Wasted) බවටයි. ඔබ ගෙවා දැමූ නිශ්චිත අරමුණකින් අර්ථවත් නොකල වසර ගණනක කාලයත්, ඔබ සංවේදී නැති තමා පිටුපස ඇති, වහා සැලකිල්ලට භාජනය විය යුතු ලෝකයත්, එම ලෝකය සමඟ විෂය මූලිකව සම්බන්ධවීමට, අනුභූතිමය ලෙස විෂය බද්ධව එහි ඇති අසාධාරණය, අසමානතාව හා වේදනාව ගැන සංවේදී වීමට හා වෙනස් කිරීමට යමෙක් ඒ දෙස බලන විටම තවත් යමෙක්, 'ඒ තුල කිසිවක්ම නැතැයි' යන නාස්තික මෙන්ම නොසැලකිලිමත් බවක් පළ කිරීමට Velvet දක්වන විරෝධය මෙම ගීතය පුරාවට ගැබ්ව පවතී. මිනිසුන් තුල ඇති දෘෂ්ඨිවාදයන් විසින් හෞතික ලෝකයෙහි ඇති යථාර්ථය අමතක කරවීමට ඇති පෙළඹුම,
'ඉරිදා උදෑසනයි, මම ඇද වැටෙමින්
මට තිබේ හැඟීමක්, මම දැනගත යුතු නැතැයි කියා'.
යන බාර බාහිර ලෝකය පිළිබඳව කියවෙන සංශයවාදී ශූන්‍යතා ප්‍රකාශයෙන් ඔවුන් මොනවට පිළිඹිබු කර ඇත. යතාර්ථය පය හැපෙන දුරින් ඇති බව Velvet අපට මතක් කර දෙයි.
'වැඩි ඈතක එහෙම නොවෙයි
ඔබ පසු කල මේ මාවත'.
යතාර්ථය කෙරෙන් විෂය මෑත් කිරීමට, නිවසට ගෙනවිත් නිද්රාකරණය කිරීමට, වීදියේ ඇති සත්‍යය ගැබ් වූ සැබෑ ලෝකය මනසින් ගොඩනගන පරිකල්පනයෙන් වසා දැමීමට එරෙහි වන Velvet ගේ මෙම ගීතය ආගමික මිත්‍යාව මෙන්ම දෘෂ්ඨිවාදී පාරභෞතිකයන් මෙන්ම යතාර්තයෙන් පලායෑමට විෂය තුල ඇති කැමැත්ත සහසම්බන්ද ප්රතිපක්ෂමය ආකාරයකට නිරූපනය කළ ලොව ඉතාම විශිෂ්ඨ ගණයේ රොක් ගීයක් වේ. ගීතය තුල ඇති සම්භාව්‍යමය, ව්‍යක්ත බව මෙන්ම දෘෂ්ඨිවාදී පොහොසත් බවත් මිනිසා නිවස තුලට ගාල් කරමින් ඒ තුල ගැහැණිය ගේ උකුලේ විමුක්තිය සොයන්නට උඩ ගෙඩි දෙන මධ්‍ය පංතික දුක් ගීයට වඩා කොතරම් පොහොසත් දැයි ඔබට වැටහෙනවා ඇත.
බිට්ල්ස්ගේ තවත් ජනප්‍රිය ගීතයක් වන 'Let It Be' (එසේ වුවා වේ) ගීතය Velvet Underground ගේ Femme Fatale (දෛව ස්ත්‍රීය) ගීතය සමග මීලඟට අප සලකා බලමු.
බිට්ල්ස් හි Let It Be යන ගීතයේ පරිවර්තනය (අසන්න)
කරදරයක මා සිටිනා විට
මේරි මාතාව මා අසලට ඒ.
ප්‍රඥාවේ වදන් තෙපලමින්, එසේ වූවාවේ,
මේ අදුරු පැයේ දී
මා අබියස ඈ සිටගෙන සිටීවි.
ප්‍රඥාවේ වදන් තෙපලමින්, එසේ වූවා වේ.
එසේ වූවා වේ, එසේ වූවා වේ.
ප්‍රඥාවේ වදන්
සිත් බිදුන මිනිසුන්, ලොව එකඟව ජීවත් වී
තිබේවි පිළිතුරක් , එසේ වූවාවේ.
වෙන් වුනත් ඔවුන් ඇතැම්විට, තවදුරටත්
වාරයක් තිබේවි, තිබේවි පිළිතුරක්, එසේ වූවා වේ.
රාත්‍රිය වලාකුලෙන් බර වූ විට
තවදුරටත් මා මත දිලෙනා එළියක් වී
මා හෙට වන තුරු ජීවත්වී, එසේ වූ වාවේ.
සංගීතයේ හඬට මා අවදිව
මේරී මාතාව මා අසලට ඒ
ප්‍රඥාවේ වදන් තෙපලමින්, එසේ වූවාවේ,
(බිට්ල්ස් ගායක කණ්ඩායමේ Let It Be- 1987 ඇල්බමයෙන්)
Let It Be ගීතය ආරම්භ වන්නේ ආගමික මුහුණුවරක් සහිතව මේරී මාතාවට කරන වන්දනීය මෙන්ම තමා පරාරෝපණයමය ලෙස එකඟතාවයකින් යුක්තව කරන නිරීක්ෂණයකිනි. අප මුලින් සඳහන් කල ධනේෂ්වර නිෂ්පාදනයේ අතුරුඵලයක් ලෙසින් පුද්ගල පරාරෝපනය හා හුදකලාභාවය මෙම ගීතය තුලින් බිට්ල්ස් මතු කළ ද එය පෙරළා ආගමික හැඟවුම්කරණයක් සමඟ බද්ධ කිරීම ගීතයේ විෂය මූලික අර්බුදයයි. කථකයා කරදරයක සිටින විට ප්‍රඥාවේ වඳන් තෙපලමින් එන මේරී මාතාව ඔහු දැන් ගත කරන අදුරු පැයේ දී ඔහු අබියස සිටගෙන සිටී. ‘එය එසේ වූවාවේ’, යනුවෙන් කියන බිට්ල්ස් එම ආගමික තෘප්තිමත් බවින් මිදී මිනිසුන් විසින් තම ලෝකය නිර්මාණය කර ගැනීමටත් එම ලෝකය දෙස සබුද්ධික හා භෞතිකවාදී බවකින් (rationalistic) බලා එයට මැදිහත් විය යුතු ආකාරයත් ගැන කිසිදු සඳහනක් නොකරයි. කෙසේ වුවත් සිත් බිඳුණ, අපේක්ෂා භංගත්වයට පත්වූ මිනිසුන්ට බලාපොරොත්තුවේ එළියක් 'තිබේවි පිළිතුරක්' යන වැකියෙන් ජනනය කිරීමත් හෙට දිනයේ යම් ආලෝකයක් මතුවිය යැකි බවට කරන ඉඟියකුත් නිසා ගීතයේ සප්රාමාණික බව මෙන්ම සජීවී බව ද රැදී තිබෙන බව කිව යුතුය.
Velvet Underground ගේ “දෛව ස්ත්‍රීය” ගීතයේ පරිවර්තනය (අසන්න)
ඇය එනවා ඔන්න, ඔබ ප්‍රවේශමෙන් පය තැබුවොත් හොඳයි
ඇය ඔබ හඳවත දෙපළු කරයි, එය ඇත්තයි
හිතා ගන්න අපහසු නැහැ
බොරුපාට ඇගේ ඇස් දෙස බැලු විට
ඈ ඔබව ගොඩ නඟයි
ඔබව විනාශ කිරීමට
කෝනංගියා, මොකද
හැමෝම දන්න නිසා (ඈ දෛව ස්ත්‍රීයයි)
ඔබ සතුටු කිරීමට ඈ කරනා දේ (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ විහිළුවක්ය (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ ඔබව මුලා කරයි (ඈ දෛව ස්ත්‍රීයයි)
බලන්න ඈ පිය නඟනා හැටි
අසන්න ඈ කතා කරන හඬ
ඔබගේ නම ඇගේ පොතේ සටහන් ව ඇත
බලන්න ඔබේ අංකය 37 නේද?
ඈ සිනා වන්නේ ඔබව රැවීමයි
කෝනංගියා
පොඩි කොල්ලෝ
ඈ එන්නේ මහ පාරෙන්
ඔබ පටන් ගන්න පෙරම
ඔබ තලා දමයි
ඈ ඔබව මොඩයෙක් කරයි
හැමෝම දන්න නිසා (ඈ දෛව ස්ත්‍රීයයි)
ඔබ සතුටු කිරීමට ඈ කරනා දේ (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ විහිළුවක්ය (ඈ දෛව ස්ත්‍රීයයි)
ඈ ඔබව මුලා කරයි (ඈ දෛව ස්ත්‍රීයයි)
(Velvet Underground ගේ ‘Velvet Underground and Nico’ (1967) ඇල්බමයෙන්)
නමුත් මේරී මාතාව වෙනුවට ස්වයං පීඩක හා පරපීඩක අර්ථයෙන් සමකාලීනව විපරීත ලිංගික යතාර්ථයන් මෙන්ම ගැහැණියකගේ ෆැන්ටසිය (fantasy) දරා සිටීම තුල එම වස්තුවට ඇති සවිඥානයික යටත් වීම (සාමාන්‍යයෙන් මෙම යටත් වීම අවිඥාණයිකයි) ප්‍රකට කරන තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස Famme Fatale නොහොත් දෛවය ස්ත්‍රීය ගීතය හදුන්වා දිය හැක. ඇයගේ වසඟකාරී පරපීඩකත්වය භාවශෝධනයක් ලෙස (cathartic) මතුව ඒ. එය කලින් ගීතයේ මෙන් මාතෘමය කරුණාවක් හෝ ප්‍රඥාවක් දරා ගෙන නොවේ. පසු නූතන මොහොත තුල හමුවන්නේ මිනිස් ශරීරයයි. ඒනම් 'යථ' යි. ඔබගේ ආශාව ගොඩ නගන ඇය එම ආශාවේ වස්තුව හමුවීමට සැලැස්වීමෙන් එම ආශාව දරා සිටින විෂය මරා දමයි. ඇය ඔබගේ ආශාව බවට පත්වේ. ඇය සරදමක් ය. මහා අනෙකා මෙන්ම සංකේතීය පියාගේ මරනයෙන් උපන් ඇය නූතන පිරිමියාට සරදම් කරයි. නූතන පිරිමිකම ඇය ඉදිරියේ කෝනංගියෙක්, බහුබූතෙයක් බවට රූපාන්තරණය වෙයි. ඇය ඔබ සමඟ සෙල්ලම් කරණ බව අපිට Velvet පවසයි.
වාණිජ ප්‍රාග්ධන අවකාශය තුල වියැකි යන පිරිමි ලෝකය හා නීතියේ බිඳවැටීම තුල මතුවන විපරිත ලිංගිකය හා ඒ හා බැඳුණ ස්ත්‍රීය හා වසඟකාරී, පරපීඩක සැඩෝමැචෝසටික අවකාශය නිර්සෞන්දර්යකරණය කිරීමක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. මත්ද්‍රව්‍ය අවකාශය තුල මෙම ගීතයට දැඩි අධි යථාර්ථවාදී බවක් එක් කළ ද මෙම ගීතය සමකාලීන සමාජ සංස්කෘතික හා ලිංගික යථාර්ථයන් පිළිඹිඹු කිරීමේ දැඩි පොහොසත්කමක් දක්වන ගීතයකි. සමාජය තුල පැවැති අඳුරු පාතාලමය ස්වරූපය හා විපරීත ෆැන්ටසිමය ස්වරූපය තුල නිමග්න වෙමින් වඩා යහපත් ලොවක් සඳහා වූ දැක්ම බීට්ල්ස් හි සියලුම ගී අබිභවා යන සුළුය.
අප විසින් මෙතෙක් සලකා බලන ලද බිටිල්ස් විසින් ගායනා කරන ලද 'Love Me Do' 'Hello Goodbye', 'Its a Hard Days Night' , 'Let It be' ගීත හතෙරහි සඳහන් ආදරය හා ආතතිය පදනම් කරගත් ගීත මීට සමකාලීන රොක් සංගීත කණ්ඩායමක් වු The Who නම් සංගීත කණ්ඩායෙම් 'Behind Blue Eyes' (නිල් පාට ඇස්වලට පිටුපසින් ) යන ගිතය හා සලකා බලමු.
The Who ගායක කණ්ඩාමේ 'Behind Blue Eyes' ගීතයේ පරිවර්තනය (අසන්න)
කිසිවෙක් නොදනී, නිල්පාට නෙත් පිටුපසින්
ඇති නරක මිනිසා කෙබදුදැයි කියා.
කිසිවෙක් නොදනී, වෛර කිරීමත් දෛවෝපගත වීමත් කෙබඳුදැයි කියා,
එසේ වූවත් මා සිහින ශූන්‍ය නොවේ,
මා සිහිය මෙන්.
ඇත මා හට හුදකලා පැය ගණන්
මා ආදරය වෛරයයි,
නොමිදුනු,
දැනීම මේ සිතුවිලි
මට මෙන් කෙබදුදැයි කියා
මා ඔබට දෝෂාරෝපනය කරමි.
තම කෝපය දෙස කිසිවෙක් නොබලා වි
මේ තරම් තදින්
මා ශෝකය හා වේදනාව කිසිවක් නොපෙන්විය හැකියි.
මා සිහින ශූන්‍ය නොවී
ඇත මා හට හුදකලා පැය....
මා අත මිටි කරනා විට
දිග හරින්න එය
මා කෝපවී පහර දීමට පෙර
මා හිනහෙන විට, කියන්න මට නපුරු දේ
මෝඩයෙක් සේ මා සැනසීමට පෙර
මා නපුරු දෙයක් ගිල දැමූ විට
ඔබ ඇඟිල්ල මා උගුරෙහි රුවන්න
මා වෙව්ලන විට , දෙන්න ඔබ බැලැන්කට්ටුව
උණුසුම් කරන්න මා, දෙන්න ඔබ කබාය.
(The Who ගායක කණ්ඩායමේ Who Are You, 1978 ඇල්බමයෙන්)
ආදරය වෙනුවට වෛරය ආදරය ලෙස සලකන මෙම ගීතය ඉතා උද්වේගකර, ගිණි ඇවිලෙන සුළු හා අරගලකාරී බවකින් යුක්තය. මෙම ගීතය තුලින් The Who මිනිසාගේ මතුපිට දෘෂ්යයට ඇතුලතින් ඇති වේදනාත්මක හුදකලාව හා වෛරය මතුපිටට ගෙනන අතරතුරේ ම මිනිස් විෂය තුල ඇති බලාපොරොත්තුව හා සිහින මරා නොදැමීමට වග බලා ගනී. තමා තුලම තමා පුපුරායෑම නිසා මනුෂ්‍ය විෂය මානව විරෝධීවීමට ප්‍රථම, තමාගෙන් බාහිර අනෙකාගේ මැදිහත් වීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමට තරම් මෙම ගීය බුද්ධිමත් ය. එමෙන්ම නපුර පිළිබදව ඇති ස්වයං සවිඥානවිකත්වය ද සියල්ල බිඳ වැටීමෙන් ගොඩනැගෙන ශූන්‍යභාවය හා මෝඩ තකතිරු බව තමා තුලම විනාශ කිරීමට ඇති ආශාවක් ද මෙම ගීතය ජනනය කරයි. තම ප්‍රේක්ෂකයා දෙසට මෙන්ම සමකාලීන සමාජයට ද දෝෂාරෝපණය කරන The Who තම ප්‍රේක්ෂකයා සතුටු කිරීමට, නිද්රාකරණය කිරීමට, ඔවුන් ස්වප්නමය මායා ලොවකට රැගෙන යනවා වෙනුවට මා 'ඔබට දෝෂාරෝපනය කරමි යි' කියමින් තම කෝපය හා බලාපොරොත්තු රහිත බව මහා සමාජය දෙසට විතැන් කරයි. The Rolling Stones, The Who මෙන්ම Velvet Underground යන 60 හා 70 දශකයේ කීර්තිමත් සියලු රොක් ගායක කණ්ඩායම් තම රසිකයින් ඔවුන් සමකාලීනව ගත කල මානසිකත්වයෙන් හා බුද්ධියෙන් ඔසවා තැබුවා විනා කිසිවිටක 'හුරතල්' කලේ නැත. මෙය බිට්ල්ස් හා අනෙකුත් රොක් කණ්ඩායම් අතර ඇති මූලිකම වෙනසකි.
Velvet තරම් දුරට නැතත් ඉහත කී ඉච්චාභංගත්වයෙන් සිටි පරම්පරාවට සෘජූවම ගීත ගායනා කල රොක් සංගීතයේ ද උරුමකරුවන් බවට බොහෝ විචාරකයින් එකඟතාවයට පලකරන Rolling Stone ද ඉහත කී මත්ද්‍රව්‍ය ලිංගික අවකාශය හා බොහෝ කොටම අනන්‍ය වූ ගායක කණ්ඩායමකි. ඔවුන් විසින් ගායනා කළ Satisfaction ගීතය එම පරම්පරාවේ අතෘප්තිමත් බව හා කෝපය වීර කාව්‍යමය ආකාරයකින්, දැඩි දැවෙන සුළු බවකින් හා ප්රචන්ඩ ආකාරයකින් සමකාලීන රසිකයින්ට සම්ප්‍රේෂණය කිරීමට සමත් වූ ගීතයකි. රොක් සංගීතය හා ඉලෙක්ට්‍රොනික ගිටාරය සත්‍ය ලෙසම ඒකිනෙකට බද්ධ කෙලේ ඔවුන්ය. කොතරම් උත්සාහ කළ ද එම පරම්පරාව සමාජීය හා ආත්මීය තෘප්තිමත් බවෙන් ඈත්වීමත්, සියලු මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටෙන සුළු බවකින් විෂයෙන් ඈත්වීමත්, ආදරය වෙනුවට වසඟය (seduction) තමා කරා පැමිණීමත්, නිෂ්පාදන අවකාශය තුල පරරෝපණකරණය මෙන්ම හුදකලාවත් සංයුක්තව ගත්විට එක් නමකින් හැඳින්විය හැකි ‘පරම්පරාමය ක්ෂිතිය’ (generational trauma) සැබැ ලෙසම නියෝජනය කළේ ඔව්හුය. ඔවුන් ගායනා කළ Paint it, Black, Get off of my Cloud, Dead Flowers, Under my Thumb, She's a Rainbow හා තවත් බොහෝ ගීත අමරණීය මෙන්ම රොක් සංගීතයේ මූලිකම (fundamental) ගීත ලෙස හදුනා ගත හැකිය. බීට්ල්ස් සරල, සුගම සංගීත තනු ගායනා කරන අවදියේම Rolling Stone ඒම සංගීත විශේෂය තුලම වෙනස් ලොවක් නිර්මාණය කල බව කලින් සඳහන් කල ස්කැරුෆි නම් විචාරකයා පවසියි. මීට අමතරව කලින් සඳහන් කල ටවුන්ෂෙඩ් නම් විචාරකයා පවසන්නේ, ‘වාණිජ සාර්ථකත්වය හා ජනප්‍රියතාවය මත ඇති වූ හදිසියත්, ඇස ගිණිකරණා වැටීමත්, හිස තෝන්තු වීමත් නිසා 'බිට්ල්ස්' තම ආරෝහනයේදී තමා විසින් රැගෙන යා යුතුව තිබූ ලෝකය හා ඔවුන්ගේ පරම්පරාව අවාසනාවන්ත ආකාරයෙන් හැර දමා ගියේය. ඔවුන් විසින් වංචනික ලෙස හැරදමා ගිය තරුණයා වත්තම් කර ගත්තේ Stone විසිනි’ යනුවෙනි.
එම විචාරකයාම නැවත පවසන්නේ 'Jagger (The Rolling Stones හි ප්‍රධාන ගායකයා) ගෙන් පසු තරුණයාගේ විප්ලවීයත්වයට තව යායුතුව තිබුණේ කෙටි දුරක් බවත් ඔවුන් (The Rolling Stones) වංශවතුන්ගේ සුමුදු, සුවපහසු සංවේදනයන්ට හා ස්වයං ප්‍රීති ප්රකාශකත්වයට මරු පහරක් ඒල්ල කෙලේය' යනුවෙන්ය.
ඔවුන්ට වෙනස් කල යුතුව තිබුණේ දේශපාලනයවත්, අදහස් වත් නොව වටිනාකම්ය. ඔවුන් ප්‍රශ්න කළේ ඉංග්‍රීසි සමාජය විසින් අධිනිශ්චය කර තිබූ (over –determined) සිවිල් මිනිසා පිළිබඳ රූපකයයි. තම පරම්පරාවේ වටිනාකම් සම්බන්ධෙයන් Rolling Stone කල වෙනස 'දැවැන්ත වෙනසක්' (momentous shift) ලෙස අද දවසේ දී අප පසු ආවර්තිතව බලන කල පෙනී යයි. කෙස් වුව ද අද දවසේ ඔබ දකින යුරෝපීය තරුණයා Rolling Stone හි විප්ලවීය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යුත්පන්න වූවකි. ඔවුන් සමාජ යටත්කරණය හා අනුරූපකරණය, ආයතනික සංස්ථාපනීකරණය තීරණාත්මක ලෙස ප්‍රශ්න කළ නමුත් එම උරුමය ඔවුන්ට පෙර සත්‍ය ලෙසම හිමිකර ගැනීමට ශක්‍යතාවය මෙන්ම අවකාශය තිබූ බිට්ල්ස්ට එය කිරීමට නොහැකි වූයේ ඔවුන් වාණිජ ප්රාග්ධනයට තමන් හැසිරවීමට කැමැත්තෙන් ම ඉඩ දී තිබීම නිසාවෙනි.
කෙසේ වුවද ඉහත සඳහන් කළ ගායක කණ්ඩාමේ ද මීට අමතරව Jefferson Airpalne හා Grateful Dead යන හිපි සංස්කෘතික අවකාශය හා ප්‍රති - සංස්කෘතික විරෝධාකල්පික අවකාශය සඳහා ගීත ගායනා කල ගායක කණ්ඩායම් ද වාණිජ අවකාශය තුල ගිලි යනු අපිට දැකගත හැකිය. Velvet හැර අනෙකුත් සියලු රොක් ගායකයින් විශාල ලෙස මුදල් ඒකරාශී කර ගනු අපට දැකගත හැකිය. Velvet පවා වාණිජ අවකාශය වෙත රැගෙන එන්නේ Andy Warhol විසිනි. රොක් සංගීතය තුල තිබූ විප්ලවීයත්වය සැබෑ ලෙසම පංති පරතරය අහෝසි කරන සුළු, පූර්ණ විප්ලවීය ගතිකයක් නොව වාණිජ ව්‍යාජ විප්ලවීයත්වයක් ද යන්න පිළිබඳව අපට කුකුස් උපදී. රොක් සංගීතයේ අවසානය දක්වා සමකාලීන රොක් ගායකයින් කොතරම් විප්ලවීය ජීව ගුණයකින් යුක්තව තම ගීත ගායනා කල ද ඔවුන් එම ගීත ගායනා කළේ තම පාරිභෝගකයින් හට මිස මිනිසුන්ට නොවේ. අද්‍යතන මිනිසා කවරෙක්ද (පොදුවේ මහජනයා) යන්න පිළිබඳව වඩා දාර්ශනික මානයක් බ්රෝද්රිලාද් අප වෙත ගෙන එයි.
"මහජනයා විසින් සියලු සමාජ ශක්තීන් තමා වෙතට උරාගන්නා නමුත් කිසිවක් ඔවුන් පරාවර්ථනය නොකරයි. ඔවුන් සෑම සංඥාවක්ම මෙන්ම සෑම අර්ථයක්ම අවශෝෂණය කරගනී, නමුත් කිසිවක් පරාවර්තනය නොකරයි. ඔවුන්ට ඉදිරිපත් කරන සෑම ප්‍රශ්නයකටම බහු අර්ථ ජනනය කරමින් චක්‍රිය, වෘත්තාකාර ප්‍රතිචාරයක් අප වෙත රැගෙන එයි".
රොක් සංගීතය තුලින් ජනනය කරන අර්ථ සමුදාය හා විරෝධය අප ඉහත සඳහන් කළ මහජන අවකාශයට මුදා හැරිය ද ඔවුන් කෙරෙන් සමස්ත ක්‍රමය වෙනස් කිරීම සදහා වූ රැඩිකල්, විප්ලවීය ප්‍රතිචාරයක් පෙරළා ලබා දුන්නේ නැත. පාරිභෝජනය කළා මිස සමාජයක් ලෙස, රොක් සංගීතය විසින් විදාරණය කළ සමාජ වටිනාකම් සමඟ සුසංවාදී වෙමින් පූර්ණ විප්ලවයක් සදහා ජවසම්පන්න ලෙස නැගී සිටීමක් 60, 70 හා 80 දශකයේ යුරෝපීය සමාජ ව්‍යුහයක් විසින් නොකළේ ය. එසේ වූයේ බොහෝ විට බ්රෝද්රිලාද් කියන පරිදි ;
"සමාජය නොපවතී. පවතින මිනිසුන් ද නිෂ්ක්‍රීය කරනු ලැබ ඇත. ඔවුන් මනුෂ්‍ය හෝ දේශපාලන නාමයකට වඩා පාපන්දු තරඟයක් සදහා උද්යෝගී වෙයි. ඔවුන් සතුන් තරම් බිහිරිය. ඔවුන්ගේ නිශ්ෂබ්දතාවය සතුන්ගේ නිශ්ෂබ්දතාවයට සමානය. "
සමාජය පාරිභෝගික ධනවාදය විසින් නිශ්ශබ්ද කරණු ලැබ තිබේ. පොදු සමාජීය ක්‍රියාවන් (common social acts) තවදුරටත් වලංගු නොවන තැනක රොක් සංගීතය කුමන විප්ලවීය ගුණයකින් යුතු වුවත් එහි සංඥා පද්ධතිය සමාජය විසින් විනෝදය සඳහා පමණක් අර්ථ සම්පාදනය (mean) කර ගන්නේ නම් එම සංඥා පාරිභෝගික යථාර්තය තුල වැලලී යයි. රොක් විසින් අපට උගන්වන පාඩම එයද?
නිර්වචනීය ලෙස ගතහොත් රොක් සංගීතය හා එහි මූලික පරාමිතීන්, ආචාරවාදී පරාමිතීන් පසෙක ලූ විට, අවශ්‍යයෙන්ම මනෝ විද්‍යාත්මක පසුබිමක් සහිත ආඛ්‍යාන (psycho-narrations), සංස්ථා විරෝධී උපහාසය, දේශපාලන ප්‍රතිශෝධනය, මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය, සංස්ථා විරෝධිත්වය සහ අනුරූපකරණ විරෝධීත්වය හා මරණය යන තේමා හා ව්‍යක්ත ලෙස සුසංවාදී වූ අතර සමකාලීන බොහෝ සංගීත කණ්ඩායම් 50, 60 හා 70 දශකයන් පුරාවට ඒම තේමා හා අනුගත වෙමින්, තම වානිජ සාර්ථකත්වය හා ජනප්‍රියත්වය පසෙක තබා තම ඓතිහාසික වගකීම තම පරම්පරාව වෙනුවෙන් ඉටු කරමින් සිටිය ද බිට්ල්ස් මේ එකඳු සංරචකයකට හෝ සවිඥාණික හෝ සංවේදී නොවෙමින් වාණිජ ප්රාග්ධනයේ විනෝද අවකාශය තුල සැරිසරමින් සිටියේය. එම යුගයේ තේමාවන් ඔවුන් අතින් යම් දුරකින් හෝ නිරූපනය වූයේ අනෙක් ගායක කණ්ඩායම් ඒවා ස්වකීය ගායකයන් තුල ප්‍රතිස්ථාපනය කළාට පසුව එය අනුකරණය කිරීමක් (එය ද අසාර්ථක ලෙස) ලෙස ය. බිට්ල්ස් තම කළමණාකාරීත්වයේ සිරකරුවෙක් බවට පත්වීමට සිදු වූයේ තමාගේම කියා අනන්‍යතාවක් හෝ දක්ෂතාවක් නොතිබූ නිසාවෙනි.
මෙහිදී ශ්‍රේෂ්ඨ සංගීතකරුවන් ලෙස බිට්ල්ස් නාමකරණය නොකලද, බිට්ල්ස් හා ඇතැම් විට බීච් බොයිස් (Beach Boys) විසින් ජනනය කල රොක් සංගීතය සතු ඉහල වාණිජ සාර්ථකත්වය හා එනිසාම ලොව මිලියන ගණනක් තරුණ තරුණයින් එයට කල ආදරය විශ්වසනීය කිරීමටත්, පසුව වඩා බැරෑරුම් තේමා සහිත සංගීත කණ්ඩායම් ඇති කිරීමට එම තරුණයින් තුල ජනනය කල අභ්‍යන්තර ප්රේරනයත් ගත් කළ ඔවුන්ට හිමිවන ඓතිහාසික ගරුත්වය නොසලකා හැරීමක් මෙහි දී සිදු නොවූවත්, බිට්ල්ස් සැබෑ ලෙසම තමා ජීවත් වූ ලෝකයේ ඓන්ද්‍රිය ගැටළු හා තත්වයන් (conditions) හා නැඹුරුවීම් (හිපින්, ශිෂ්‍ය දේශපාලනය හා නව වාමාංශික වැනි) වලට සිය සංගීතය තුල නිශ්චිත අවකාශයක් ලබා නොදුන් එම නිසාම භෞතික ලෝකයෙන් වියුක්තව වාණිජ ස්වප්න ලෝකයක සැරිසරූවන් බවට මා මෙම ලිපියේ නිගමනයේ සඳහන් කොට තබමි. එම සැරිසරිමට අමතරව තමා නිර්මානය කල ගීත මධ්‍ය පන්තික තරුණ තරුණියන් තාවකාලිකව සනසාලන නිද්රාකරණයක් ලෙස භාවිත කලා විනා ඓතිහාසිකව තම වගකීම ඉටුකිරිම වෙනුවෙන් කැප නොකලා පමණක් නොව සමකාලීන තරුණ පරපුර අත්විදි දුක්ඛදායක තත්වය ඇසීමට මැලිවු බුර්ෂුවා මධ්‍යම පන්තිකයන්ට ඇසීමට සුවපහසු යමක් තනා දී එය වෙළඳපලකරණයට ලක්කලවුවෝ ද බිට්ල්ස් ය.
1960 දශකයේ සොයා ගැනීම් හා බද්ධ වූ දේශපාලනික රැඩිකල් බව, අරගලකාරීත්වය, වාර්ගික ඡේදනය, ආතතිය, පරාරෝපනය කරණ කොට ගෙන වඩා විප්ලවිය ලෙස තරුණ පරම්පරාවන් සංයුක්ත අරගලකාරී මාවතකට රැගෙන ඒම පරක්කු කිරීමේ ඓතිහාසික කාර්යය දැනුවත්ව හෝ නොදැනුවත්ව බිට්ල්ස් අතින් සිදුවු අතර වාණිජ මිත්‍යාව ඉතිහාසය අවනිශ්චය කරන්නේ හා විකෘති කරන්නේ කෙසේද යන්නට පාඨ ග්රන්ථ උදාහරණයක් (text book example) සපයන්නේ කෙසේද යන්නත් බිට්ල්ස් හි සංගීත උරුමය විසින් අපට කියා දෙයි.