ආණ්ඩුව යුද්ධයක් කරගෙන යයි. ආණ්ඩුව සිතන ආකාරයට එය යුක්ති සහගත හා සාධාරණ යුද්ධයකි. එහි අරමුණ දමිළ ජනතාවට විමුක්තිය ගෙනදීම බවද ආණ්ඩුව කියයි. ඒ අර්ථයෙන් ගත් කල එල්ටීටීඊ සංවිධානය යනු ආණ්ඩුවේද දමිළ ජනතාවගේද‚රටේ බහුතරයක් වන සිංහල ජනතාවගේද සතුරාය. මේ පොදු සතුරාට විරුද්ධව කරන සටන සිය මුළු වැර යොදා ආණ්ඩුව කරගෙන යන්නා සේම රටේ සියලු භෞතික හා මානව සම්පත්ද‚ මතවාදයන්ද ඒ කේන්ද්‍රය වෙත යොමු කිරීම ආණ්ඩුවේ වුවමනාවයි. ඒ සඳහා අතිශය බලවත් විධායකයේ සියලු ශක්තීන් යොදවා තිබේ. ඒ හැරෙන්නට රාජ්‍යයේ සියලු මතවාදී හා මර්දන යාන්ත්‍රණයන්ද ඒ කෙරෙහි දිශානත කොට තිබේ. අන් කවර කාලයකටත් වඩා යුද්ධය සාධාරකරණය කැරෙන රණවීරත්වය උත්කර්ෂයට නැංවෙන දැවැන්ත මාධ්‍ය ක්‍රියාන්විතයක් රටේ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා යොදවා ඇති රාජ්‍ය මාධ්‍ය ජාලයට අමතරව පෞද්ගලික මාධ්‍ය ජාලයක්ද ස්වකැමැත්තෙන්ම යුද සාධාරණකරණ ක්‍රියාන්විතයේ යෙදී සිටිති.
ඊටත් අමතරව රටේ මතවාදී ආධිපත්‍යය දරන පූජ්‍ය පූජකයන් බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරීන් ලේබකයන් කලාකරුවන් මාධ්‍යවේදීන් ආදීන් ඇතුළත් පුද්ගල තීරුවෙන් අතිබහුතරයද ආණ්ඩුවේ ක්‍රියාන්විතයට ආශිර්වාද කරති. මේ සියලු තත්ත්වයන් යටතේ සමාජය මතවාදීමය වශයෙන් බරපතළ ධ්‍රැවීකරණයකට භාජනය කිරීමට ආණ්ඩුව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්වී තිබේ. ඒ අනුව 9/11 ප්‍රහාරයෙන් පසුව අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් "එක්කෝ අප. නැත්නම් ත්‍රස්තවාදය" තෝරාගන්නා ලෙස කී කියමනටත් වඩා බලවත්භාවයක් ගෝඨාභය රාජපක්ෂ මහතා බෝම්බ ප්‍රහාරයෙන් බේරුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා "එක්කෝ අප. නැත්නම් එල්ටීටීඊය" තෝරාගන්නා ලෙස කළ විධානයට ලැබී තිබේ.ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ පරිදිම සමාජය පැහැදිලි ධ්‍රැව දෙකකට බෙදිණි. එක් පාර්ශ්වයක් ජනාධිපතිවරයාගේ මග ම තෝරාගත්තේය. ඒ පිරිස අතිවිශාල බහුතරයකි.
අනෙක් පාර්ශ්වය මේ මොහොතේ අතිශය සුළුතරයකි. ඔවුන් ජනාධිපතිවරයාගේ මතයටත් වාර්ගික ගැටලුව යුද ක්‍රියාන්විතයක් හරහා විසඳනවාටත් ඉඳුරාම විරුද්ධ පිරිසකි. එල්ටීටීය වනාහී ලංකාවේ වාර්ගික ගැටලුව දිගු කලක් තිස්සේ විසඳීමට අවංක උත්සාහයක් නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ එහිම ඓන්ද්‍රීය සංඝඨකයක් ලෙසත් එල්ටීටීඊය සමූලඝාතනය වීම වූ කලි දමිළ ජනතාවගේ අයිතිවාසිකම් අරගළයේ එක්තරා පරාජයක් බවත් ඔවුහු අඩු වැඩි වශයෙන් කල්පනා කරති. මේ මතවාදී තීරුව තුළ එල්ටීටීයේ සකලවිධ ක්‍රියාවන් කොන්දේසි විරහිතව සාධාරූකරණය කරන්නන් සුළු පිරිසක් සිටිය හැකි නමුත් අතිශය බහුතරයක් එසේ නොවෙති. ඔවුහු එල්ටීටීය දමිළ අයිතිවාසිකම් අරගළය කෙරෙහි දක්වන දායකත්වය පිළිබඳව විමර්ශනාත්මක හා විවේචනාත්මක අදහසක් දරන්නෝ වෙති. එහෙත් මේ මොහොතේ එල්ටීටීයේ පැවැත්මේ අවශ්‍යතාව ධනාත්මක කෝණයකින් දකින්නෝද වෙති. එහි දීර්ඝ අර්ථයෙන් ඔවුන් එල්ටීටීඊයේ විනාශයක් ප්‍රාර්ථනා කරන්නේ නැත. (එහෙත් සියල්ල සිදුවන්නේ ප්‍රාර්ථනාවන් අනුව නොවේ. එල්ටීටීයේ පැවැත්ම තීරණය කරන්නේ එල්ටීටීය විසින්ම මිස අන් අය එල්ටීටීය ගැන සිතන හෝ ප්‍රාර්ථනා කරන ආකාරයට නොවේ. බොහෝ අයට එල්ටීටීය වචනයෙන් විස්තර කළ නොහැකි වන්නේද එහෙයිනි.) එසේම ඔවුහු ආණ්ඩුවේ හමුදා විසින් කරන නීති විරෝධී පැහැරගෙන යෑම් අතුරුදන් කිරීම් සිවිල් ජනයා වෙත අහසින් බෝම්බ හෙලීම් සිවිල් ජනයා ඝාතනය කිරීම් අනුමත නොකරන්නා සේම එල්ටීටීටීඊ සංවිධානය කරන එවැනි දේද අනුමත කරන්නේ නොකරන්නෝ වෙති. එසේම ආණ්ඩුවේ හමුදා විසින් එල්ටීටීඊ සාමාජිකයන් ඝාතනය අනුමත නොකරන්නා සේම එල්ටීටීය විසින් ආණ්ඩුවේ හමුදා සොල්දාදුවන් ඝාතනයද අනුමත නොකරන්නෝ වෙති. එසේ වන්නේ සමස්තයක් ලෙස ගත් කල බහුතරයකගේ පාලනය නිසා සුළුතරයක් මත ඇතිකරන පීඩනයට එරෙහිව අවි අතට ගන්නවුන් විනාශ කිරීමෙන් ඔවුන්ගේ 'ඉල්ලීම් විනාශ කිරීමේ' ක්‍රමවේදය යල් පැනගිය හා අසාධාරණ එකක් ලෙස ඔවුන් විශ්වාස කරන නිසාය.
එහෙත් ආණ්ඩුවේ සිතීමේ සහ ක්‍රියාකිරීමේ වපසරිය තුළ මේ සියල්ලෝමද එල්.ටී.ටී.ඊ. කාරයන් සේ හංවඩු ගැසෙන්නෝය. ඔවුන්ගේ අදහස්වලට මෙවැනි යුදකාමී මොහොතක සමාජයේ ඉඩක් නැත. ජනප්‍රිය මාධ්‍ය ඒවාට ඉඩදෙන්නේ ද නැත. ඒ සියල්ලටමත් වඩා එවැනි අදහස් දැරීම වූ කලි සැඟැවුණු මාරයෙකුට අතවැනීමක් වන තත්ත්වයකට රට පත්ව තිබේ.
රාජ්‍යයේ සියලු යාන්ත්‍රණයන් විසින් රට එක් දිශාවකට යොමුකර ඇති මොහොතක සියලු දෙනා කොන්දේසි විරහිතව රජය සමග සිටිය යුතුයැයි සිතන්නට රජයට අයිතියක් ඇති නමුත් එය එසේම සිදුවන්නේ නැත. එනිසා සුළුතරයක් නමුත් වෙනස් අදහසක් පළකරන්නන් සිටින බවත් ඔවුන්ට යුක්ති සහගත ඉඩක් තිබිය යුතු බවත් සලකා රජයක් කටයුතු කිරීම අවශ්‍යය. මේ මතවාදයන් අතුරෙන් නිවැරදි වන්නේ කුමක්දැයි තෝරන්නේ වර්තමානය විසින් නොව ඉතිහාසය විසින් නිසාය.
ප්‍රජාචන්ච්‍රවාදයේ නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හරය එයයි.
උපුටා ගැනිම Lanka Dissent වෙතිනි. මෙම මතයන්ට එකඟ වීම නොවිමට ඔබට අයිතියක් ඇති අතර යුද්ධය පිළිතුරක් මිස විසදුමක් නොවන බව මා විශ්වාස කරන බැවින් එයට එකඟ විම මට කළ නොහැක්කෙකි. මිනිසාගේ තුල තිබෙන ක්‍රෝධය වෛරය පිරිමසා ගැනිමක් මිස එය වෙන කිසිවෙක් නොවේ.
වෛරය අවෛරයෙන් සිසිඳේවා!