නුවර වැව් කෙම් කොණට
වසන්තය ඇවිතින්
රොබරෝසියා මල් තවම පිපෙනවා ඇති
මල් පෙති මතින් පිය නඟන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...
පිණි වැටෙනා හිමිදිර
මිඳුමෙන් පෙවෙන
හන්තාන තවම බැලුම්ලානවා ඇති
මං මාවත් සැරිසරන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...
රෑ අඳුරු අහසට
සිතුවම් රටා මවන
තරු මල් තවම පිපෙනවා ඇති
තරු ගැන කවි ගොතන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...
නුවර අහස් බිම යට
හෙලු මතක සුසුම් පෙළ
අපේ සමනළ වසන්තයැයි
සිතුවේ නෑ කවුරුත්
ඒත් නුවරට වසන්තය ඇවිත් ඇති
අපි දැන් නැතිමුත්
තවමත් ඉස්සර පුරුද්දට....
Comments (35)
9:24 PM, November 28, 2009
මේ කවියට නිමිත්ත වුණේ ජිවිතයක් වෙනස් කළ ඒ අරුමැසි ආදර කතාවක ඇරඹුමකට අවුරුදු තුනක් ගත වීම නිමෙත්තෙනුයි.
9:36 PM, November 28, 2009
නියමයි..උපරිමයි !
9:39 PM, November 28, 2009
කතාව අග ඉදලා මුලටම දන්න නිසා මොකක් කියන්නද ? කියලා හිතාගන්න බැ කොහොම උනත් මමනම් කියන්නේ අලුතින් ජිව්තය පටන් ගන්න කියලා මල්ලි
9:58 PM, November 28, 2009
හිත ඇතුලේ පරණ මතක ඒ විදිය ට ම තියාගන්න. නමුත් මේ මතක වලට පණ දීලා ඉන් රිද්ද ගන්න හදන්න එපා.., හරිම සංවේදීයි මේ කවිය..! ඒ වටිනා කමත් තියාගෙන ආපහු ජීවිතේ ට මූණ දෙන්න. ජීවත් වෙනවා කියන්නේ ඒක ට
9:58 PM, November 28, 2009
ම්...
සුන්දර මතක අවදි කරන්නක්...
10:30 PM, November 28, 2009
මාරයි බීන්කු . . . හරිම ලස්ස්නයි . . . ඒ වගේම සංවේදීයි . . . ආදරේ රසවිඳපු . . . ආදරෙන් වේදනා විඳපු ඕනෑම කෙනෙකුට මේ කවිය අපූරුවට හිතට වදීවි . . .
උඹට කවි ලියන්න හැකි බව දැං උන්නාට මෙච්චර ම සිරාවට ලියන්න පුලුවන් බව දන්නේ මේ කවිය දැක්කට පස්සේ . .. !!
අඩුවෙන් තක්සේරු කලා නෙමේ හොඳේ . . . .
10:57 PM, November 28, 2009
හිතට වදින්න ලියලා තියෙනවා. කතාව දුක් බරයි. ඒත් ඇත්ත එක නම් එකට මුහුණ දෙන්න වෙනවා. ජිවිතය කියන්නෙ දුක සැප දෙකේම එකතුවක්. කාලෙකදි හිතට සතුටක් වෙන දේම පස්සේ දුකක් වෙන්නත් පුලුවන්. ඒ හැම දේකටම අපිට මුහුණ දෙන්න වෙනවා.
11:49 PM, November 28, 2009
මොනා කරන්නද ඉතිං සහෝදරය!
11:49 PM, November 28, 2009
එළ නොවැ බිංකුවෝ..
හේ හේ , මේකා කවි කාරයෙක් කියලා මම අද නොවැ දන්නේ.....
1:16 AM, November 29, 2009
සිත් කාවදින සුළුයි.....! අතිශයින් හැඟුම්බරයි...!!!!
1:40 AM, November 29, 2009
ලස්සනට ලියලා තියෙනවා.. හිතට තදින්ම වැදුනා..
නුවර අහස යට ගෙවුණු සමණළ වසන්තය මතක් වුණා.
2:42 AM, November 29, 2009
මාරයි..
3:35 AM, November 29, 2009
හරිම සංවේදීයි මචෝ,ඒත් උඹ ආයේ ඕවා හිතලා හිත රිද්දා ගන්න එපා,උඹ එලටම වැඩ කරපන් මචෝ,
6:52 AM, November 29, 2009
පිස්සු හැදෙයි.. මේ කවිය නම් උපරිමට ලියලා තියනවා.. වචන එකතු කරලා තියන විදිය නම් උපරිමයි.
8:28 PM, November 29, 2009
ලස්සනයි.. හිතට වදින්න ලියලා තියෙනවා..
8:43 PM, November 29, 2009
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 'කහ' රොබරෝසියා පිපෙන තැන් දෙකක් ඇත. ඒ මාර්ස් කන්ද පා මුල හා කෘෂි-පශු පීඨ දෙක අතර බිම් තීරුවයි. අප පේරාදෙණියේ උන් කාලයේ අට වතාවක් මේ ගස් මලින් පිරී ගියේය. ඒ සෑම විටම මට සයිමා සිහිවෙයි. සයිමා තරම් සියුම් ව කහ රොබරෝසියා ගැන ලියූ කෙනෙක් නැත. ඒ ද එක වැකියකි. ඔබ මා අතීතයට කැඳවා යයි. ස්තුතිය් බින්කු!
9:47 PM, November 29, 2009
පරණ මතක අවදිවුනා!
රසික සූරියආරච්චි
9:48 PM, November 29, 2009
හසිත, සයිමා ලියූ වැකිය මොකක්ද?
10:24 PM, November 29, 2009
ඉස්සර දවසක ලස්සන සවසක
අත්වැල් බැඳගෙන අප දෙන්නා
මහවැලි අයිනේ නන්දන උයනේ
මතකයි හෙමිහිට පියමැන්නා
හන්තානේ කඳු පිසගෙන සුසිනිදු
සීතල මදනලා හමා ගියා
දෙසවන් මත්කල සිත සන්සුන් කල
සුන්දර ගී හඬ ගලා ගියා
නාදළු පහසක මල්පෙති රහසක
රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ ගිනිදැල් අතරේ
තවමත් ඒ සුව මතක තියේ
රසික සූරියආරච්චි
2:36 PM, November 30, 2009
රසික, ඔබේ පද පෙළ ඇත්තටම අපුරුයි! ඇත්තටම සතුටුයි මේ නිර්මාණය තව එකක්ට උදව් වුණා කියලා දැක්කාම.
එක තමා රසික!
ස්තුතියි හෂිත අයියා, මොකද්ද අප්පා සයිමා ඒ කියලා තිබ්බේ?
Hiranaya, ජනූක, මලී, LG, සචී, පිස්සා, ඉන්දරේ, හා මුචාලින්ද,
බොහොමත්ම ස්තුතියි!!!
දිසායියා, අයියා. දිලාන් හා දුකා අයියලාටට, බුද්ධික, බු(ද්)ධාජීව,
ඇත්ත, ඒකත් මම පිළි ගන්නවා, මම දන්නවා. ඒත් ඒක මගෙන් ඈත් වෙන්නේ නෑ, හුදෙක් මට "වේදනාව" එක්ක ඉන්න පුරුදු වෙනවා මිස. නමුත් දැන් මම වෙනස් කරන්න තැත් කරනවා වෙනදාට වැඩිය. මගේ අපිළිවෙලකාරී ජිවීත රටාව හදාගෙන මන්දගාමීව කෙරෙණු අධ්‍යාපනික කටයුතු තව හොදීන් කරගෙන යන්න උත්සහ කරනවා, ඒ එක්කම මම තව තව නිර්මාණ කටයුතු හා බිලොග්කරණ වගේම වෙනත් කටයුතු කරන්නට ගන්න බලන්නම්. ඒත් ඉතිං වලකට පැන්නාක් මෙන් නෙව ගොඩට එන්න අමාරු නිසා ඊට ප්‍රයන්තයක් දරනවා. කෙසේ වෙනත් බොහොම ස්තුතියි ඔයාලාගේ දිරි ගැන්වීම් වලට.
6:28 AM, December 01, 2009
6:29 AM, December 01, 2009
* අප තෝරාගත යුත්තේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදිය හැකි වෘත්තියකි. - මොන බම්බුවටද .. ?? *
6:30 AM, December 01, 2009
* අපගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන්ගේ උණු කඳුළු වැගිරෙනු ඇත. - කොච්චර නම්බුවක්ද .. ?? බම්බුව. *
6:39 AM, December 01, 2009
* අපේ සමනළ වසන්තයත් අයිති ලෝකෙට.අපිට නෙමෙයි.රොබරෝසිය මල් කවුරුහරි පාගයි, උඹල අපි නැතිවුනත්.හන්තානෙ ලස්සන කවුරුහරි විඳියි, උඹල අපි නැතිවුනත්.තරු ගැන කවුරුහරි කවි ලියයි, උඹල අපි නැතිවුනත්.සමනළ වසන්තය කවුරුහරි විඳියි, උඹල අපි නැතිවුනත් .. කිසිදෙයක් අපිට අයිති නැති නිසා ස්වාධීනත්වයක් කිසිමදාක නොලබපු වහල්ලු විදියට අපි මැරිල යයි.අපි මේ ලෝකෙන් ගියදාටත් මොක්කුහරි මේකෙ ඉඳියි. *
1:33 PM, December 01, 2009
Thilina, බොහොම ස්තුතියි ඔබේ ක්මෙන්ටුවට. මනුෂ්‍ය වංශයා වෙනුවෙන් සේවය කිරීම හා එසේ කළ පුද්ගලයින් ගැන ක්‍රෝධයෙන් යුතුව පෙම්වතුන්ගේ සොඳුරු මතක සටහන් ගැන ඔබේ ආකල්ප දැක්වීම ගැන ස්තුතියි.
ඔබ කී ලෙසින් ඒ සමනළ වසන්තයත් "අපේ"යැයි හදුන්වා ගත්තේ ඇයි? ලෝකයේ කිසි දෙයක් අපේ නෙමේ තමා, ඒත් ජිවිතයේදී අපිට හමුවෙන, දකින, ලැබෙන ඇතැම් බොහෝ දේවල් අපිට ආදේශ වෙනවා, නැත්තං සමීප වෙනවා. ඒ තුළින් ඇති වෙන බැඳිම නිසායි අපේයැයි හැදින්වන්නේ. මගේ කවියේ කිසිදු තැන මේ කිසිවක් අපේයැයි හදුන්වා ගත්තේ නෑ, එසේ හදුන්වා ගත්තේ රෝබරෝසියා මල් සුවදත් එක්ක සිත් සපර්ශ කළ, හන්තාන සුන්දරත්වය විදපු, අනන්තයක් වු අවකාශයේ සැරිසරපු ඒ සොදූරා කාළයට අපේ සමනළ වසන්තයැයි හදුන්වා ඒ කාලයත් එක්ක අපේ තිබුණු බැඳිම් පෙන්වීමයි මෙතන වුණේ. අපේම වගේ හෝ වෙනස් විදිහට හෝ ඒ වගේම සුන්දර හා අසුන්දර කාලයක් ගෙවාවී. ඉතින් ඒ කිම?
ලෝකයේ බොහෝ කවි, ගීත, පොත්, නාට්‍ය, වේදිකා හා චිත්‍රපටි නිපදවන්නේ මේ කවියට හේතු වුණු රසාස්වින්දනයමයි. ඔබ මොකක් කිව්වත් කැමති වුණත් මා හැරෙන්නට ලෝකයේ ගොඩාක් දෙනෙක් මෙවැනි නිර්මාණ කරාවි. කැමති වුණත් අතැමති වුණත් මනුෂ්‍ය සංහිත්‍යය වෙනුවෙන් බොහෝ දෙනෙක් වැඩ කරාවි.
9:53 PM, December 02, 2009
නුවර පමණක් නොවේ
වසන්තය හැමදාම
නුඹ ළඟම දැවටෙනවා
නොදුටුවේ ඇයිද ඔබ
නිධන් කතාව නොදැන මම මෙහෙම කියන එක හරිද මන්දා.
ඒත් මල්ලි ඔයාගෙ කවි පෙළ නම් හිතට ගොඩක් ලංඋනා.
හරිම ලස්සනයි.
4:41 AM, December 03, 2009
මහ නුවර වසන්ත සමය අප බොහෝ දෙනාගේ ජීවිත වල අමතක නොවන සිහිවටන තබා යයි. ඒ 1997 වසරයි. මා විඳි ඒ අත්දැකීම් හිතේ තෙරපෙමින් තිබී වසර 2 කට පමණ පසු කවියක් ලෙස එළියට පැන්නේ මෙසේයි.
හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න
මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද
මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
11:18 AM, December 04, 2009
* ස්තුති කිරීම පිළිබඳව ස්තූතියි.කතාවට ආරම්භයක් ලබාගැනීම උදෙසායි මම එහෙම කිව්වෙ.කවියේ කිසිම තැනක ඔබ කිසිවක් ඔබේ (අපේ) යැයි ගෙන නොතිබූ බව සත්‍යයක්.ඔබ එසේ කළ බවක් මමත් පැවසුවේ නැහැ නොවැ? ඔබ සමනළ වසන්තය අපේ යැයි ගෙන නැති වුණත්, ඔබ මේ ලෝකය අපේ යැයි ගෙන තිබෙනවා.ඔබ මාක්ස් වාදියෙක් වීමෙන් ඒ බව පෙනෙනවා.ඇත්ත.රොබරෝසියා මල්, හන්තාන, නුවර වසන්තය .. සමස්ථ විශ්වය අපි වටේ පවතිනවා.අපිට සමීප වෙනවා.අපිට ආදේශ වෙනවා.නමුත් ඒ එකක්වත් අපිට අයිති නෑ.මොකද අපි දන්නෑ ඒ එකක්වත් පවතිනවද කියලා.අපිට දැනෙන්නේ තමන්ව විතරයි.අවශේෂ කිසිම දෙයක් පවතිනවද නැද්ද කියලා අපිට දැනෙන්නෑ.ඉතින් අපිට නොදැනෙන, පවතින බව වත් පැහැදිලිව නොදන්න ලෝකෙකට ඇයි අපි ආදරේ කරන්නේ? අපිට දැනෙන "තමන්ව" තේරුම් ගන්න තරම්වත් කාලයක් නැති මේ කෙටි ජීවිතේ ඇයි අපි අතීත, අනාගත, වර්‍තමාන මනුශ්‍ය ස්කන්ධයන් කිහිපයක් වෙනුවෙන් අපේ කාලය කාදමන්නේ? මේ සුචරිතවත් සමාජයේ තවත් හොඳ මිනිහෙක් වෙන්නද? හික්... !! අපි අමරණීය නම් අපිට ඒ වගේ පිස්සු කෙළින්න තිබ්බා.මනුශ්‍යා කියන්නෙ ස්වභාවධර්‍මයාගේ තවත් එක කොටසක් නම්, මනුශ්‍යයින් උදෙසා සේවය කරනවා කියන්නෙ අපි ඒ අදිසි පාලනයට තවතවත් වහල්කම් කරනවා කියන එකයි.කාල් මාර්ක්ස් ලෝකෙට කොච්චර ආදරේ කළාද. ඒත් එහෙම කළා කියන කාල් මාර්ක්ස් අමරණීය වුණේ නැහැ."උතුම් මිනිසුන්ගේ උණු කඳුළු" තමන්ගෙ භෂ්මාවශේෂ මත වැගිරුණයි කියල මාර්ක්ස් වුණු සෙතේ මොකක්ද? තමන් කරපු දෙයින් ආත්ම තෟප්තියකට වඩා දෙයක් මාර්ක්ස්ට හම්බවුනාද? *
4:37 AM, December 22, 2009
ෆා අක්කී,
අක්කාගේ කවිය ලස්සනයි අක්කේ, නමුත් එවැනි එකක් මට ඒ දවස්වල හෝ ඒ අවාසනාවත්ත බේදජනක දෙය නොවුණා නම් කියන්න තිබ්බා. බොහොම ස්තුතියි ක්මෙන්ට්ටුවට
4:48 AM, December 22, 2009
ඔබේ තර්කයේ අරමුණ හෝ අර්ථය පැහැදිලි වන්නේ නෑ. ලෝකයේ කිසිදු දෙයක්ට හෝ කෙනෙකුට ආදරය කිරිම සදහා හේතුන් තිබිය යුතුයැයි කියා එසේ බැඳිම් ඇති කර ගැනීම නිශ්ඵලයැයි කියයන ඔබේ තර්කයේ ප්‍රායෝගිකභාවයක් මම දකින්නේ නෑ. හරයාත්මක අර්ධ සත්‍යාතාවයක් තිබුනත් පෘථස්ථන පුද්ගලයින්ට එසේ නොකළ හැකීසේම එවැන්නක් කරන්නයැයි කිසිදු ආගමික ගාස්තෘවරයෙක් දේශනා කර ඇතිබවක්ද මම අසා නැත්තෙමි. ලෝකය ගැනසේම තම තමාගැන මිනිසුන් අවබෝධ කර ගන්නා විදිහ වෙනස්, ඒ කෙසේ වුණත් තමාගේ පැවැත්මට උපකාරි කරන හා තම පැවැත්ම සුන්දර කරන දේවල්වලට මිනිසුන් එසේ ආදරය කරනවා. ඔබ මෙසේ කීවත් ඔබ පෘථස්ථන පුද්ගලයෙකු නම් එසේ බව මම ස්ථිරව කියනවා, ඔබ කුඩා කාලයේ සිට දෙමව්පියන්ගෙන් සිට දැන් වෙස් පොතේ ගිණුමක් හරහාද සැබෑ ජිවිතයේදී මේ බැඳිම් හා ආදරය ලබා ගන්නවා/ සොයනවා නේද?
මම මාක්ස්වාදීයෙක් නොවේ, එසේ වුවත් එහි මතවාද හා දාර්ශනික හරයන් අනුගමන කරනවා විතරයි. කාල් මාර්ක්ස්ට මදර් තේරේසාතුමියට මාටිං ලුතර් කිංට තම ආත්ම තෟප්තියට වඩා මනුෂ්‍ය වර්ගයාට සේවාවක් කරා.
9:28 PM, December 25, 2009
එලම එල.
මටත් පේරා සිහිඋනා...
ලේන් එකත් එක්කම...
/නිශාන්ත
4:02 PM, February 21, 2010
Nuwara nuwara nuwara
Mathak wenawa godak nuwara
Lassana padi pelak Binku..
3:10 AM, July 09, 2010
බිංකුවෝ...
අදනෙ මේක දැක්කෙ..
නියමයි, උපරිමයි..
සුපිරි..
දැන් මොකද ගල් ඉබ්බෝ ලියන්නෙ නැත්තෙ මෙච්චර ටැලන්ට් එකක් තියාගෙන?
7:13 PM, August 11, 2010
ස්තුතියි අක්කේ!
ඔන්න ගල් ඉබ්බා ආපහු මුහුදට එන්න හදන්නේ! ටිකක් ඉන්ඩකෝ!
3:03 PM, September 28, 2010
ලස්සනයි.. හිතට වදින්න ලියලා තියෙනවා..
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.