සිද්ධාර්ථ!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක
ඉරතුවෙන් ඉර්තුවට සත් මහල් ප්‍රසාද
රජ ඉසුරු අපට නැත
එබැවින් ඔබට මෙන්
ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණගානා නොදරුවෝය
උන්ට බොන්ඩ ටින් කිරි පිටි හොයා දෙන්ඩ
මා නැත්නම් කෙනෙක් නැති ය
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි
පිටි කොටනවා, කිරි හදනව,
කැඳ උයනවා, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි
දිළිඳු ගෙයක සාගතයක
උන් තනි කර යා නොහැකිය
සංසාරේ කලකිරිලා මං එන කොට
නිරංජලා හිටියා මුඩුක්කුවක
දරු පැටියෙකුත් එක්ක අතරමංව
කාගෙන් වත් හව්හරණක් නැතිව
ඇගෙ සැමියා මැරිලා බර ඇදලා
ඒ බර මම අර ගත්තේ
ඈ ගැන අනුකම්පාවෙන්
දෑතේ කරගැට සිබ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරැසා වී
කරල් බරින් පීදි වැගිරෙයි
අඩ සඳ මෝරන නිසසල අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි
දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇත මව් දෙරණේ
සත් රැවනින් තව නිදහන් මතු වී
පුතුගෙ සිනහවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුළැලි පිස දා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සැපතක් වෙයි මට
ඔබ දකිනා කල පුංචි පුතුන්
දෙදහස් පන්සිය වරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්
සිද්ධාර්ථ!
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව
මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපි ගොනු අතර මැද …
හාන පෝරු ගාන - වී වපුරන වෙල් යායක
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර-
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ සවස වැඩට යනෙන කොච්චියක
දෙනෝ දහක් සෙනඟ අතර
බුදු වීමට
තනියම නොව
දෙනෝ දහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම - එකට බුදු වීමට
අපේ ජිවිතේ සමාජයේ රජ යන දුක්ඛ් භාවය පීඩිත වුණ කෙනෙක්ගේ ඇසින් තමාගේ දැනිම හා ආගම තුලින් සැනසිම පතන හැටිත් දරුවා දැකිමෙන් හා තමාගේ යථාර්ථ ජිවිතය සිහි වීමෙන් චචල වන ඔහුගේ සිතත් පීඩනයත් මැනවට මහගම සේකරයන් සිය 'ප්‍රබුද්ධ' කෘතියෙන් කියාපායි.
Comments (5)
11:17 PM, March 22, 2009
මම ආසම පොතක්! ආයේ මතක් කලාට ස්තූතියි බිංකුවෝ..! සකරගේ කවි සදාකාලිකයි!
11:22 PM, March 22, 2009
ගොඩක් වටිනව! මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීම! එලියට ගන්න මෙවැනි ලිපි තව තවත්!
2:46 AM, March 23, 2009
මරු, කණගාටුවෙන් ආරංචියක් තියෙනවා කියන්න. ඒ තමා මහගමසේකර නිසා ප්‍රසිද්ධ වුනු රදාවානේ තුන්මන් හංදියේ සේකර ගේ ප්‍රතිමාවක් හදලා තියෙනවා. ඒ හරියටම තුන්මන් හංදියේ. ඒත් දොම්පෙ ඉන්න සාහිතකාමී ප්‍රාදේශීය සභාව තුන්මන් හංදියෙම කුනු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් හදලා. තව ටික දවසකින් තුන්මං හංදියත් බ්ලූමැන්ඩල් හරි නාවින්නේ වගේ කුනු කන්දක් වීමට නියමිතයි. ඔන්න සාහිත්‍යයේ නැගීම
8:00 PM, March 25, 2009
පණ්ඩිත් අමරදේවයන් සහ විමලාවෝ ගයන "දෑතේ කරගැට " නම් ගීතය සේකර ගේ කෘතියකින් උපුටා සැකසූ වක් බව අසා තිබුණා..නමුත් එය කියවා රසවිද තිබුනේ නෑ..
ස්තුතියි
රනිල් Gunasekara..
8:16 AM, March 26, 2009
අදහස් ලියු සියළු දෙනාටම ස්තුතිය. මම තවත් ලියන්නම් හැකි තරම්.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.